කඟවේනුන්ගේ කරළියෙන් බෝල්ට් බැස යයි | සිළුමිණ

කඟවේනුන්ගේ කරළියෙන් බෝල්ට් බැස යයි

බන්දුල ජයමාන්න

ලොව කඟවේනුන්ගේ දේශය ලෙස ප්‍රකට ජැමෙයිකාවෙන් බිහි වූ විශිෂ්ටම මලල ක්‍රීඩකයා යැයි විවාදයකින් තොරවම හැඳින් වූ යුසෙන් බෝල්ට් හෙවත් ලයිටිං බෝල්ට් ජැමෙයිකානු මලල ක්‍රීඩා කරළියෙන් සමු ගත්තේය. සිය උපන්බිමේදී අවසන් වරට මීටර 100 ඉසව්ව තරගයට එක් වූ බෝල්ට් එකී තරගය තත්. 10.03 ක කාලයක් වැය කරමින් ජය ගත් අතර, අනතුරුව ධාවන පථයට නැමී මහත් භක්ත්‍යාදරයෙන් එය සිප ගත්තේය.

හප්පා, ඇති යන්තම් ඒක ඉවරයි.

විශිෂ්ටයකුට ආචාරය යනුවෙන් හැඳින් වූ බෝල්ට්ගේ අවසන් මීටර් 100 තරගය පහසුවෙන් ජය ගත්ත ද, මීට පෙර මීටර් 100 ධාවන පථයේ මෙතරම් කැලඹීමකට පත් නොවූ බවද පිළිගත්තේය.

මීට කලින් නම් මෙතරම් චකිතයක් ඇති වෙලා නෑ. බෝල්ට් තරගයෙන් අනතුරුව පැවැසීය.

සිය අසහාය වීරයාගේ අවසන් මීටර් 100 රංගනය දැක බලා ගැනීමට තිස් දහසකට අධික පිරිසක් කිංග්ස්ටන් නුවර ක්‍රීඩාංගණයට එක් රැස් වූහ. මේ අවස්ථාවට ජැමෙයිකානු අගමැතිවරයා මෙන්ම අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ ද එක්ව සිටියහ.

බෝල්ට් ජැමෙයිකාවේ සිය මලල ක්‍රීඩා ගමනට නැවතීමේ තිත තැබුවේ මෙයින් දශක එකහමාරකට පමණ පෙර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට එක්වූ ක්‍රීඩාංගණයේදීමය. එය බෝල්ට්ගේ පළමු අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගයද විය.

මීටර් 100 - 200 සහ 100 සහාය දිවීමේ ඉසව්වල අඛණ්ඩව ඔලිම්පික් රන් පදක්කම් ත්‍රිත්ව ත්‍රිත්ව බැගින් දිනා ගත්තද 2008 බියිජිං ඔලිම්පික් උළෙලේ තම සගයකු වූ නෙස්ටර් කාටර් තහනම් උත්තේජක චෝදනාවට හසුවීම නිසා එකී පදක්කම් සංඛ්‍යාව අටකට සීමා විය. කෙසේ වෙතත් මීටර් 100 (තත්. 9.58) සහ මීටර් 200 (තත්. 19.19) ලෝක වාර්තාවන්හි හිමිකරුවාද බෝල්ට්ය.

ලබන අගෝස්තු මාසයේ ලන්ඩන්හි පැවැත්වෙන ලෝක ශූරතාවලියෙන් පසු සම්පූර්ණයෙන් තරග බිමෙන් සමු ගැනීමට බෝල්ට් සැලසුම්කර තිබේ.

Comments