ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි | සිළුමිණ

ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

 

ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂයෙන් එක්දින තරගාවලියේදී දඟපන්දු යවන්නන් වැඩි දෙනෙකු යොදා ගෙන තිබීම විශේෂත්වයකි.සමස්ත එක්දින තරගාවලියේ පන්දුවාර 165 පන්දු 3ක් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් විසින් යවා තිබුණී.

 ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වු අතර, සමස්ත තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

 

ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂයෙන් එක්දින තරගාවලියේදී දඟපන්දු යවන්නන් වැඩි දෙනෙකු යොදා ගෙන තිබීම විශේෂත්වයකි.සමස්ත එක්දින තරගාවලියේ පන්දුවාර 165 පන්දු 3ක් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් විසින් යවා තිබුණී. කෙසේ වෙතත් ශ්‍රී ලංකා තරගාවලිය ක්‍රීඩා කළ තණතීරු දඟපන්දු යවන්නන්ට සහය දෙන තණතීරු වන බවත්, එය ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමටම තර්ජනයක් විය හැකි බව සුපිරි ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පවසයි.

ඩේවිඩ් වෝනර් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය අතරතුර සූදානම් කර තිබෙන තණතීරු ශ්‍රී ලංකා කණ්ඩායමට ම ඉදිරියේ දී පරාවළල්ලක් විය හැකි බවය. එකී තණතීරු ඕස්ට්‍රේලියාවට ඉදිරි ටෙස්ට් තරගාවලිය සඳහා කදිම සූදානමක් ලබා දී ඇති බව ද ඩේවිඩ් වෝනර් කියයි.

සිව්වැනි එක්දින තරගයේ දී ඩේවිඩ් වෝනර්ට සිය 19 වැනි එක්දින ශතකයට එක් ලකුණක් අඩුව තිබිය දී ධනංජයගේ පන්දුවක් හමුවේ දික්වැල්ලගේ අතිවිශිෂ්ට ක්‍රියාත්මක වීමකින් දැවී ගිය අතර, ඔස්ට්‍රේලියාව අවසන් පන්දුවාරය දක්වා තරගය රැගෙන යාමට සමත් වු නමුත් තියුණු අවසානයක් හමුවේ ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් විය.

සිව්වැනි තරගය සඳහා යොදාගෙන තිබුණේ තුන්වැනි තරගය ක්‍රීඩා කළ තණතීරුවය. එහි දී ශ්‍රී ලංකාව තම සංචිතය දඟපන්දු යවන්නන් 6ක් යොදා ගෙන සමස්ත ඔස්ට්‍රේලියානු ඉනිමේ පන්දුවාර 50 න් 43ක් ම දඟ පන්දු යවන්නන් විසින් යවා තිබුණි. ඔස්ට්‍රේලියාව එක්දින තරගයක දී පන්දුවාර 40කට වැඩි සංඛ්‍යාවක් දඟපන්දු යවන්නන්ට මේ ආකාරයෙන් මුහුණ දී තිබුණේ ඔවුන්ගේ දශක පහකටත් අධික එක්දින ඉතිහාසයේ පස්වැනි වතාවට වීම ද බැහැර කළ නොහැකි කරුණකි.

ගාල්ලේ දී බදාදා ආරම්භ වු පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනය අදයි. දෙවැනි ටෙස්ට් තරගය ද ගාල්ලේ ම පැවැත්වෙන නිසා වැඩි දඟ කැවීමක් සහිත තණතීරුවක් තම කණ්ඩායම බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ උපක්‍රම ඔවුන්ට සැලසුම් කිරීමට පහසුවක් වූ බව ඩේවිඩ් වෝනර් පවසයි.

අපි හැම වෙලාවේ ම දඟ කැවීමක් සහිත කඩුල්ලක් බලාපොරොත්තු වෙනවා. එය අපට අපූරු සූදානමක් වගේ ම ටෙස්ට් තරගාවලියට පිවිසීම විශිෂ්ට පුහුණුවක්.

ඇත්තටම අපි කැමතියි ඔවුන් එකම තණතීරුව මත ක්‍රීඩා කරනවාට. අපට අවශ්‍ය වන්නේත් එයයි. අපට ඒ වගේ පුහුණුවීම් වෙන තැනකින් ලබා ගන්න බැහැ. අපිට ගාල්ලේ ටෙස්ට් තරගවලට මේ පුහුණුව උද්යෝගිමත් වේවි. මොකද අපි එතනට යන්නෙ තණතීරු මොනවද කියලා අපි දැනගෙන නිසා. එක්දින තරගාවලියට ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර්, මානේෂ් ලබුඡේන්, ට්‍රේවිස් හෙඩ් සහ කැමරන් ග්‍රීන් ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට නියමිත අතර ආබාධයකට ලක්වූ ස්ටීව් ස්මිත් ද ටෙස්ට් තරගාවලියට එක්වෙති. අවසන් වරට එනම් මීට වසර හයකට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වූ දෙරට අතර ටෙස්ට් තරග පිළිබඳ අදහස් දක්වමින් ඩේවිඩ් වෝනර් එකී තරගාවලියේ තණතීරු ඉතා දරුණු ඒවා ලෙස නම් කර තිබේ.

එකී තරගාවලියේ දී රංගන හේරත් තරග 3කින් සමන්විත තරගාවලියේ පන්දුවාර 145ක් යවමින් ලකුණු නොදුන් වාර 41ක් සමඟින් ලකුණු 357කට කඩුලු 28ක් දවා ගත්තේ සාමාන්‍ය 12.75ක් ලෙස රඳවා ගනිමින් සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම විමතියට පත් කරමින්ය. රංගනගේ විශිෂ්ට වමත් දඟපන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකාව එම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ඩේවිඩ් වෝනර් අවසන් වරට බංග්ලාදේශ සංචාරයේ දී ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පිතිකරුවා වූ අතර, මන්දගාමී පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයන් සහිත ඩකා හි පැවති තරගාවලියේ ආරම්භක තරගය ද ඇතුළත්ව ටෙස්ට් තරග දෙකක දී ම ශතක රැස් කිරීමට සමත්විය.

මෙය දඟපන්දු යවන්නන්ගේ තණතීරු. අපි සාමාන්‍යයෙන් මෙවැනි කඩුලු දකින්නේ නැහැ. ඒවා දකින්නේ මෙහෙදී විතරයි. ඉන්දියාවේදී සම්පූර්ණයෙන්ම වෙනස්. ඔවුන්ගේ තණතීරු ඇත්තටම හොඳ තණතීරු. ඒවා දඟ කැවෙන්නේ තුන්වැනි සහ හතරවැනි දිනයේ දී. මට මතකයි ඩකා හි ක්‍රීඩා කරපු ආකාරය. එය මම මෙතෙක් ක්‍රීඩා කර ඇති නරකම තණතීරුවලින් එකක්. ඒකෙදී මම ශතකයක් ලබා ගත්තා.

මේ තණතීරුවල සාර්ථක වෙන්න නම් කැපවීම, අවධානය සහ දිගු කාලයක් පන්දුවට පහර දෙන්න ඕනේ. ආසියානු තණතීරුවල දී එක් කුඩා අත්වැරදීමකින් ඔබට පාඩුවක් සිදු වෙනවා. අපි සැම විටම තරගයේ ඉන්න ඕනේ. ටෙස්ට් තරගාවලිය දුෂ්කර වේවි. විශේෂයෙන් රස්නයත් එක්ක.

 

Comments