පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී | සිළුමිණ

පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී

 

ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උලළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් F44 කාණ්ඩයේ හෙල්ල විසිකිරීම ඉසව්වේ මීටර් 66.29ක දස්කමක් දක්වමින් ඕස්ට්‍රේලියාවේ මිචෙල් බර්න් පිහිටුවා තිබූ ලෝක වාර්තාව අභිබවා යන දස්කමක් දැක්වීමට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැති 2022 ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වූ සමිත දුලාන් කොඩිතුවක්කු සමත්ව තිබේ.

 

F44 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීම අවසන් තරගයට එක් වෙමින් සමිත එහි දී මීටර් 66.60ක දුරකට හෙල්ල විසි කරමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වු අතර, ඔහු එහි දී දැක්වූ දස්කම 2021 පැරාලිම්පික් උළෙලේ දී F44 කාණ්ඩයේ හෙල්ල විසිකිරීම ඉසව්වේ මීටර් 66.29ක දස්කමක් දක්වමින් ඕස්ට්‍රේලියාවේ මිචෙල් බර්න් පිහිටුවා තිබූ ලෝක වාර්තාව අභිබවා යන දස්කමක් වීම විශේෂත්වයකී.

ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උලළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කල සමිත දුලාන් එහි F44 කාණ්ඩයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර, පැරා ක්‍රීඩාවට පැමිණ කෙටි කාලයකින් ම පැරාලිම්පික් වරම් දිනා ගත් ක්‍රීඩකයා මෙන්ම එකී වරම පදක්කමකින් සරසා ගත් මෙරට එකම ක්‍රීඩකයා ඔහු විය යුතුය.

කෙසේ නමුත් මෙම තරගාවලිය ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ වාර්තා යටතට නොගන්නා තරගාවලියක් නිසාවෙන් එය ලෝක වාර්තාවක් ලෙස නිල වශයෙන් පිළිනොගන්නා බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අප ජාතික පැරා කමිටුවේ ලේකම්වරයා ගෙන් කළ විමසීමේ දී හෙතෙම සඳහන් කර සිටියේ අපේ රටේ පවත්වන ජාතික තරගාවලි ජාත්‍යන්තරය පිළි ගන්නවා ද නැද්ද යන්න වෙනම ම හොයන්න ඕනෑ දෙයක්. අපේ හැම ජාතික තරගාවලියක් ම විනිශ්චය කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ පිළිගන්නා පළපුරුදු විනිසුරුවරුන් සහ අධීක්ෂණ නිලධාරීන් ,ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ අදාළ ශ්‍රේණී සමත්වෙලා උසස්වීම් ලබපු විනිසුරුවරුන් වගේ ම අධීක්ෂණය නිලධාරින්.පැරා ක්‍රීඩකයන් පිහිටුවන වාර්තා සලකා බලන්නේ ජාත්‍යන්තර තරගාවලිවල දී සහ ජාත්‍යන්තර විනිසුරුවරයන් විසින් අධීක්ෂණ ,නිරික්ෂණය කරන තරගවලදී විතරක් ද කියන එකත් සොයා බලන්න ඕනෑ දෙයක් යැයි සඳහන් කරන ජාතික පැරා කමිටුවේ ලේකම්වරයා අපේ ජාතික තරගාවලියේ බිහි කරපු වාර්තාවක් නිසා අපි සමිතගේ වාර්තාව ලෝක වාර්තාවක් විදියට පිළි ගන්නවා යැයි වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පැරා ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වන සමිත දුලාන් පසුගිය වසරේ පැවති පැරාලිම්පික් උළෙලේ දී F44 කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණේ මීටර් 65.61ක දස්කමක් දක්වමින්ය. F66 - F44 කාණ්ඩයේ එනම් එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ටෝකියෝ පැරාලිම්පික් උළලේ රන් පදක්කම දිනු (F66 කාණ්ඩයේ) සුමිත් අන්ටිල් විසිනි.දක්ෂතාව මීටර් 68.55කී.

යුද හමුදා පොලිස් සේවා බලකායෙන් පැරාලිම්පික් උලෙළක් නියෝජනය කල පළමුවැන්නා සමිත වන අතර වළලුකර අක්‍රීය තත්ත්වයේ සිටින සමිත තවමත් තිස්දෙවැනි වියේ පසුවෙයි.

Comments