බෞද්ධ ලෝකයම ලංකාව දුටු දවස | සිළුමිණ

බෞද්ධ ලෝකයම ලංකාව දුටු දවස

එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් කමිටුවේ උපසභාපති ආචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමි

 බුදුදහම තරම් සංහිඳියාවට යොමු වුණ තවත් ආගමක් නැති බවත්, ආගමික සංහිඳියාව ඇති කිරීමේදී අන්‍යෝන්‍ය අවබෝධයෙන් තොර වීම විශාල බාධාවක් වී තිබෙන බවත් පවසන එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතින වෙසක් කමිටුවේ උපසභාපති ආචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියෝ ජාතික හා අන්තර්ජාතික වශයෙන් ආගමික සංහිඳියාව ඇති කරගැනීමේදී අප කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙසේ ප්‍රකාශ කර සිටිති.

* ලෝක සාමය ඇති කරගැනීම සඳහා බුදුදහම භාවිත කළ හැක්කේ කුමන ආකාරයෙන්ද හාමුදුරුවනේ...?

ලෝකයේ බොහෝ ආගම් තිබුණත්, ඒ ආගම් විවිධ රටවල ප්‍රචාරය කිරීමට උත්සාහ කරන අවස්ථවල කෝලාහල ඇති කරගනිමින්, මිනීමරාගනිමින්, බලහත්කාරයෙන් ආගම් ප්‍රචාරය කරනු ලැබුවත්, ආගම් ප්‍රචාරය කිරීමෙන් කිසිම මනුෂ්‍ය ඝාතනයක් නොකරන එකම ධර්මය බුදුදහම පමණයි.

මුළු ලෝකය පුරා ආගම් කෝලාහල තිබෙන නිසාම පසුගිය කාලපරිච්ජේදයෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය ආගම් පිළිබඳ එතරම් වැදගත්කමක් දැක්වූවේ නැහැ. බුදුදහමෙහි පදනම වුණු සාමය, සාමූහිකත්වය, වගකීමෙන් ක්‍රියා කිරීම, ප්‍රඥාව දියුණු කරගැනීම, අනුන්ට හිරිහැර කිරීමෙන් වැළකීම යන 'අහිංසා සංකල්පය' දෙස කල්පනාකාරීව බැලූ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන බුදු දහම ලෝක සාමය ගොඩනැඟීමට පිටුවහල් වන එකම ධර්මය බවට කල්පනා කළා. එම වකවානුවෙහි විදේශ ඇමැතිව සිටි ලක්ෂ්මන් කදීර්ගාමර් ඇමැතිතුමා විසින් බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සම්බන්ධයෙන් පවත්වනු ලබන වෙසක් උත්සවය ලෝකය පිළිගත් දිනයක් ලෙස පත් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාව පිළිගැනීමට ලක් වීමෙන්ම ‍එය තහවුරු වනවා.

බුදු දහමෙහි උගන්වන "තමා තුළ සාමය ගොඩනැඟීම යනු ලෝක සාමය ඇතිකිරීමයි" යන 'සංහිඳියා පණිවිඩය' වර්තමාන ලෝකයෙහි බටහිර රටවල බොහෝ පිරිස් පිළිගෙන තිබෙනවා. බටහිර රටවල වෙසෙන ආගම් නොපිළිගන්නා පිරිස් පවා ආසියාතික රටවලට පැමිණ බුදු දහම හදාරමින් අවබෝධ කරගැනීමට උත්සාහ කරන්නේ බුදු දහමෙහි පවතින මේ සාම පණිවිඩය නිසයි.

* මෙහිදී අපට මුහුණ පෑමට සිදුව තිබෙන අභියෝග මොනවාද හාමුදුරුවනේ...?

සාම්ප්‍රදායික රටවල ආගමික සිංහිඳියාවට තිබෙන ප්‍රධානතම බාධාව ලෙස ආගම් පතුරුවාලීමේ තර්ජනය දැක්විය හැකියි. විශේෂයෙන්ම මේ රටවල පවතින දුප්පත්කම නිසාම බොහෝ රටවලින් පැමිණිලා බලහත්කාරයෙන්, තෑගිබෝග ලබාදෙමින් සාම්ප්‍රදායික බෞද්ධ ජනතාව වෙනත් ආගම්වලට හැරවීමේ ව්‍යාපාරයක් නැති බව කිසිවෙකුටත් ප්‍රකාශ කරන්න බැහැ. ශ්‍රී ලංකාවෙන් ආරම්භ වෙලා ජපානය දක්වාම එය ක්‍රියාත්මක වෙනවා. මෙහිදී විශේෂයෙන්ම ආසියාවේ සාම්ප්‍රදායික රටවල් අතිවිශාල තර්ජනයන්ට ලක් වෙලා තිබෙනවා. ආසියාවේ රටවල බෞද්ධ ප්‍රතිශතය දවසින් දවස අඩු වේගෙන යනවා. බෞද්ධයන්ගේ අනන්‍යතාව ක්‍රමයෙන් මැකීගෙන යන නිසා බෞද්ධයන්ට හිමිව තිබූ ප්‍රෞඪ ඉතිහාසය වැසීගෙන යන බවක් දක්නට ලැබෙනවා.

21වන ශතවර්ෂයේ පළමුවන කාරණාව නම්, තමන්ට කැමැති ආගමක් ඇදහීමට මනුෂ්‍යයකුට අයිතිය තිබිය යුතු බව. එනිසා බලහත්කාරයෙන් ආගම් පතුරුවාලීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි. එය මානසික අයිතිවාසිකම්වලට පවා පටහැනි ක්‍රියාවක්.

දෙවන කාරණාව ලෙස ආගම් අතර තිබෙන්නා වූ අවබෝධය අඩුකම නිසාම තමන්ගේ ආගම, තමන්ගේ ධර්මය, තමන්ගේ සම්ප්‍රදාය අනෙකුත් ආගම්වලට වඩා ඉහළ බව ඇතැමුන් සිතනවා. විශේෂයෙන්ම අන්‍යෝන්‍ය අවබෝධයෙන් තොර වීම සංහිඳියාවට විශාල බාධාවක් වෙලා තිබෙනවා.

* මෙහිදී අනුගමනය කළ යුතු පිළියම කුමක් ‍ලෙසද ඔබ වහන්සේ යෝජනා කරන්නේ...?

අන්‍ය ආගම් පිළිබඳව අවබෝධය ඇති කිරීම සංහිඳියාව ඇති කිරීමේ එක් කාරණාවක් ලෙස දකිනවා. අධ්‍යයන ආතනවල, පර්යේෂණ ආයතනවලදී අන්‍ය ආගම් උගන්වන යහපත් පණිවිඩය දැනගැනීමේ අවස්ථාව සලසා දිය යුතුයි. එකිනෙකා අතර ඇති වන වෛරය, පළි ගැනීම නැති කරගැනීමේ හැකියාවක් අප සතුව තිබිය යුතුයි.

ශ්‍රී ලංකාවේ බෞද්ධයන් අන්‍ය ආගමික පිරිස්වලට හානි කරමින් වෙනස්කම් කරනවාය යන මිථ්‍යා මතය බටහිර ලෝකයේ බොහෝ රටවල ප්‍රචාරය කර තිබෙනවා. අපේ රටේ බෞද්ධයන් වෙසක් උත්සවයේදී අන්‍ය ආගමිකයන් සමඟ සහසම්බන්ධ වෙමින්, අන්‍ය ආගමිකයන්ගේ ජාතික, ආගමික දින නිවාඩු දින බවට පත් කරමින්, ඒ උත්සව සඳහා ලංකාවේ රාජ්‍ය නායකයන් සහභාගි වුණත් බෞද්ධයන් අතර සංහිඳියාවක් නැහැ යනුවෙන් වැරැදි චිත්‍රයක් ලෝකයට ලබාදී තිබෙනවා.

එනිසාම ඒ වැරැදි අදහස් නැති කිරීමේ අරමුණ පෙරදැරිව එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සමඟ සාකච්ජා කරමින් මෙවර 14 වන අන්තර්ජාතික වෙසක් සමුළුවේදී සැසියක්ද කැඳවා තිබුණා. බෞද්ධයන් යනු ලෝකයේ අසමඟිය ඇති කරන පිරිසක් නො‍ව, සමඟිය ඇති කරන පිරිසක්ය, සාමය සඳහා කටයුතු කරන පිරිසක්ය, කාගේත් යහපත වෙනුවෙන් ක්‍රියා කරන පිරිසක්ය, සම්පුර්ණයෙන්ම හිංසාව පිටුදැකීම සඳහා වැඩ කටයුතු කරන ප්‍රතිපත්තියක් සහ ආගමක්, ධර්මයක්, සම්ප්‍රදායක් ඇති පිරිසක්ය යන බව එහිදී ලෝකයට ප්‍රකාශ කෙරුණා.

* එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය මෙරටදී පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවට අත් වූ වාසි විග්‍රහ කරගත යුත්තේ කොහොමද හාමුදුරුවනේ...?

මේ සඳහා රටවල් 85ක රාජ්‍යනායකයන් සහභාගි වුණා. එහිදී රටවල් 85ක බෞද්ධ නායකයන් සහ බෞද්ධ මිත්‍රයන් බවට පත් කරගැනීමේ හැකියාව ලැබුණා. එය පළමු වන වැදගත් කාරණාව ලෙස සැලකිය හැකියි.

ඒ වගේම අවුරුදු 30ක යුද්ධයකින් පසුව 'නව ශ්‍රී ලංකාවක්' ගොඩනැඟෙමින් පවතින අවස්ථාවක ලංකාව පිළිබඳව ලෝකයේ පවතින වැරදි අවබෝධ නැති කරගැනීමට මේ බෞද්ධ නායකයන්ගේ පැමිණීම වැදගත් වුණා. සංචාරක ව්‍යාපාරය දියුණු කරගැනීමටත්, බෞද්ධ සිද්ධස්ථාන දියුණු කරගැනීමටත්, අපේ බෞද්ධ සභ්‍යත්වය ලෝකයට ප්‍රකාශ කිරීමටත්, ලංකාව යනු විශේෂයෙන්ම විශාල ඓතිහාසික වැදගත්කමක් ඇති බෞද්ධ අනන්‍යතාවයක් ඇති රටක්ය යන කාරණාව ලෝකයට ප්‍රකාශ කිරීමටත් හැකි වුණා. ලංකාවේ ආර්ථිකයට සංචාරක කර්මාන්තයට යහපතක් වුණා.

අනෙක් අතට මෙහිදී ලෝකයේ සිටින මහායාන, වජ්‍රයාන, සෙන් බුද්ධාගමේ නායක ස්වාමීන් වහන්සේ අපේ රටට වැඩම කළා. ලංකාව වගේ රටකට අන්‍ය ආගම් සම්ප්‍රදායන් පැමිණීම ලංකාවට හානියක් සිදුවිය හැකි බවට අපේ බෞද්ධයන්ට ඇතැම් විට සිතෙන්නට ඇති. බුදු රජාණන් වහන්සේ ථේරවාදත් නොවෙයි; මහායානත් නොවෙයි. බෞද්ධයන් ලෙස ගත් විට මුළු ලෝකයම එකම බෞද්ධ සමූහයක්. වෙනස්කම් තිබුණත් බෞද්ධ සංකල්පයෙන් ගත් විට එකම බෞද්ධ පවුලක්. ශ්‍රී ලංකාව සැමදාම විවෘතව පවතින රටක් නිසා ලංකාව ථේරවාද බෞද්ධයන්ට පමණක් නොව, මුළු ලෝකයේම බෞද්ධයන්ට සම්බන්ධකම් දියුණු කරගැනීමටත් මේ රටේ වැඳුම් පිදුම් කිරීමටත් අවස්ථාව උදා කර දී තිබෙන රටක් බව මෙහිදී අපට ලෝකයට ප්‍රකාශ කළ හැකි වුණා.

මෙය බොහෝ කාලයකින් අප රටට ලැබුණු අනැගි අවස්ථාවක: 1956 බුද්ධ ජයන්තිය සැමරුවාට පසු මුළු බෞද්ධ ලෝකයම ලංකාවට පැමිනුණු, දැවැන්ත ලෙස ඉතිහාසගත වූ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. අපගේ රජයටත්, බෞද්ධ ජනතාවටත්, මේ අවස්ථාවට සහයෝගය දුන් මහානායක ස්වාමීන් වහන්සේලාටත් විශේෂයෙන්ම ගෞරවය දක්වනවා. මෙයට ක්‍රියාකාරිව දායක වන්නට ලැබීම ජීවිතයේ ලද විශේෂ භාග්‍යයක් ලෙස මා සලකනවා.

සංවාදය
හේමමාලා රන්දුනු 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.