ඔබේ ගෙදරින් අදම පටන් ගන්න | Page 2 | සිළුමිණ

ඔබේ ගෙදරින් අදම පටන් ගන්න

 අපද්‍රව්‍ය කියන්නේ අප සියලු දෙනාගේ වගකීමක් වෙනවා වගේම අපද්‍රව්‍ය නියමිතව බැහැර කිරීම සමාජීය යුතුකමක්. මෙහිදී පළමුව ඔබ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ඔබේ වගකීම වටහාගත යුතුයි. මේ ක්‍රියාදාමයේ පළමු පුරුක ඔබේ නිවෙසයි. ඒකපුද්ගල වගකීම ඉටු කිරීමෙන් සාමූහික නැතහොත් සමාජීය වගකීම ඉටු කරන්නට ඔබට නිතැතින්ම හැකියාව ලැබේවි. එවිට මේ වගකීමේ අනෙක් ජාතික කොටස්කරුවන් වන මධ්‍ය රජයත්, නගර සභාවත්, මාධ්‍යත් ඔවුන්ගේ දායකත්ව ලබා දෙමින් මෙහි ඉතිරිය සපුරාවි. අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ බොහෝ යෝජනා ඇතත් ඔබට ඔබේ ගෙදර තුළම ඉතා පහසුවෙන් අනුගමනය කිරීමට හැකි වෙනස්කම් කිහිපයක් පමණක් මේ ලිපියෙන් මා යෝජනා කරන්න කැමතියි.

අපද්‍රව්‍ය වර්ගීකරණය කරන්න

මොහොතකට මෙහෙම හිතන්න. අපි අපේ කිලුටු රෙදි සේදීමට පෙර වර්ග කරනවා නේද? ඒ වගේම ශීතකරණයේ ආහාර ඇසිරීමේදීත් කිසියම් ආකාරයකට වර්ග කරනවා නේද? එසේ කටයුතු කරන අපි පහසුවටත්, පුරුද්දක් නැතිකමටත් සිදු කරන වැරදි ක්‍රියාවක් වන්නේ සෑම අපද්‍රව්‍ය වර්ගයක්ම එක බඳුනකට බැහැර කිරීම. අපද්‍රව්‍ය පහත දැක්වෙන ආකාරයට කොටස් තුනකට වර්ග කීරීමට පුළුවන්.

දිරායන අප ද්‍රව්‍ය
නොදිරන අප ද්‍රව්‍ය
ප්‍රති චක්‍රීකරණය කළ හැකි අප ද්‍රව්‍ය

මේ ආකාරයට අපද්‍රව්‍ය වෙන් කර බැහැර කරන්නට කටයුතු කළොත් නිවෙසේ අපද්‍රව්‍ය තබාගැනීමට සිදු වන අපහසුතාවෙන් මිදෙන්නට ඔබට හැකි‍ වේවි. එයිනුත් ඔබේ දිරන කසළ එකතුවෙන් කළමනාකරණය කිරීමට වඩාත් අපහසුම කොටස වන මුළුතැන්ගෙයින් ඉවත දමන දේ වෙනම බැහැර කළ හොත් ඔබට අවබෝධ වේවි එය සාපේක්ෂව කුඩා ප්‍රමාණයක් බව. සැබෑවටම නාගරික පරිසරයේ නිවෙස්වල ගැටලුව වෙන්නේ ඉවත දමන ආහාර කොටස් පමණයි. එය දෛනික කසළ එකතුවෙන් එය 1/20ක වගේ ප්‍රමාණයක්. ඉතිරි වන ආහාර කුරුල්ලන්ට කෑමට දෙන්නත් පුළුවන්. ඒකෙන් කසළ ප්‍රමාණය තවත් අඩු කරගන්න හැකියාව තිබෙනවා. මේ විදිහට ඉවත දමන දේ වෙන් කිරීමෙන් තමන්ගේ නිවෙසින් ඉවත දමන කෑම ප්‍රමාණය කොච්චරක්ද කියලා ගෘහිණියකට හොඳ අවබෝධයක් ලැබෙන නිසා ආහාර නාස්තිය අවම කරගන්න පියවර ගන්න පුළුවන්. දෛනිකව නිවෙසින් බැහැර කිරීමට සිදු වෙන්නේ මේ අපද්‍රව්‍ය ප්‍රමාණය විතරයි.

ඒ වගේම අනෙකුත් වර්ගීකරණය කළ අපද්‍රව්‍ය නිතර බැහැර කිරීමේ අවශ්‍යතාවක් මේ මගින් ඔබට ඇති නොවේවි. මේකේ තවත් වාසි සහගත පැත්තක් පෙන්නලා දෙන්න පුළුවන්. අතපසු වීමකින් අපද්‍රව්‍ය බඳුනට දමන වැදගත් ලියවිල්ලක් නගර සභාවේ කුණු ගොඩට ක්ෂණිකව එකතු නොවී ඔබේ නිවෙසේ අදාළ ‍බඳුනේ සාපේක්ෂව වැඩි කාලයක් රැ‍ඳෙමින් ඔබට එය සොයාගැනීමට අවස්ථාවක් ලබාදෙනවා. මේ ප්‍රායෝගික සත්‍යයට මුහුණු දුන් පුද්ගලයන් මා කියන දේ පහසුවෙන් වටහාගනීවි.

ඒ වගේම වර්ග කරන ලද අපද්‍රව්‍ය. ඒවා රැගෙන යන නගර සභා සේවකයන්ටත් විශාල පහසුවක් ගෙන දෙන බව අවබෝධ කරගන්න. එක ධනාත්මක කාරණයක් විදිහට මට පෙන්නලා දෙන්න පුළුවන් මේ වන විට ඔබ බොහෝ දෙනා අපද්‍රව්‍ය වර්ගීකරණය කොට බැහැර කිරී‍මේ කටයුත්තට නැමියාවක් දැක්වීම. මේ අපද්‍රව්‍ය ඔබ බලාපොරොත්තු වුණ ආකාරයටම ක්‍රමානුකූලව එකතු කර රැගෙන යෑමට නගර සභාව සතු සම්පත් ප්‍රමාණවත් නොවුණු අවස්ථා තිබෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක මාර්ග අයි‍නේ එම අපද්‍රව්‍ය මලු තැබීමට නගර සභාව කිසි ලෙසකින්වත් ඔබට අවසර දී නැහැ.

මල්ලක් ගෙනියන්න

මෙය වර්තමාන සමාජයේ ශීඝ්‍රයෙන් ඉවත් වෙලා යන පුරුද්දක්. මීට අවුරුදු කිහිපයකට පෙර කඩයට ගියත්, පොළට ගියත් බඩු ටික දාගෙන එන්න වෙනම බෑගයක්, වේවැල් කූඩයක් අපි ගෙනියනවා. ගෙදර ඒ බෑග් එක වෙන් කරලා තියෙන්නෙත් ඒ සඳහාමයි. ඒත් අද සුපිරි වෙළෙඳසල්වලින් ඔබ මිල දී ගන්නා අයිතම ප්‍රමාණයට සමානවම සිලි බෑග් ප්‍රමාණයක් ඔබ ගෙදර ගේනවා. ඒ සඳහා අමතර මිලක් ඔබට ගෙවන්න නොවන නිසා හෝ පහසුව නිසා හෝ ඔබ ඒ ගැන තැකීමක් නොකරනවා ඇති.

අනවශ්‍ය දේ ප්‍රතික්ෂේප කරන්න

ඒ අනවශ්‍ය දේ ඉවත් කරලා අදාළ භාණ්ඩය පමණක් මිල දී ගන්න ඔබ මෙතෙක් කල්පනා නොකළා වෙන්න ඉඩ තිබෙනවා. සමහර විට එය භාණ්ඩයේ ආරක්ෂාව සඳහා තිබෙන ඇසුරුමක් වෙන්නත් පුළුවන්. උදාහරණක් විදිහට ඔබ යම්කිසි ගෘහ භාණ්ඩක් හෝ විදුලි උපකරණය ඇණවුම් කර ගෙන්වාගන්නවා නම් ඒ සමග පැමිණෙන රිජිෆෝම් පෙට්ටි, පොලිතීන් බෑග් සහ කාඩ්බෝඩ් පෙට්ටි ඔබට විශාල කරදරයක්. ඒ සියල්ල රැගෙන ආ වාහනයේම එම ආයතනය වෙත යවන්න උපක්‍රමශීලී වෙන්න ඔබට පුළුවන්. එය එක් අතකට එම ආයතනයට පහසුවක්. ඔවුන්ට තවත් පාරිභෝගිකයකු වෙනුවෙන් ඒවා යොදාගන්න පුළුවන්

නැවත නැවත පාව්ච්චි කරන්න

නිවෙසින් රැ‍ගෙන යන දවල් කෑම පාර්සලය කෙසෙල්කොළේක දවටපු කාලයක් තිබුණා. දැන් ඒ කටයුත්ත පහසුව ගැන හිතලා සෙලෝෆේන් කොළයකට බාර දීලා. දවසකට එක ගෙදරකින් සෙලෝෆේන් කොළ කීයක් විවිධ කාර්යාලවල කුණු කූඩවලට යවනවද කියන එක හිතලා බලමු. අප පිටතින් කෑම මිල දී ගැනීමේදී ඒ සඳහා ගෙදරින් සුදුසු භාජන රැගෙන යෑමේ අදහස ගැන ඔබට හිතෙන්නේ මොකද්ද?

ප්ලාස්ටික් භාවිතය අවම කරන්න

අපේ රටේ සිසිල් බීම අලෙවි කළේ වීදුරු බෝතලවල. සුළු ගණනක තැම්පතුවක් තියලා බීම ‍බෝතලේ ගෙදර ගේන්නත් පුළුවන්. බෝතලේ නැවත දුන්නම ඒ තැන්පත් කරපු මුදල ආපහු ලැබෙනවා. මේ වීදුරු බෝතල් නැවත නැවත පුරවා පාවිච්චි කිරීම ඉතා ක්‍රමවත් විදිහට සිද්ධ වුණා දශක ගණනාවක් තිස්සේම. මෑතක ලංකාවේ අපේ සාමාන්‍ය ජනතාව අතරේ බෝතල් කළ වතුර ජනප්‍රිය වෙනවාත් එක්කම සිද්ධ වුණ දෙයක් තමා අනවශ්‍ය ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් කසළ විදිහට එකතු වෙන ප්‍රවණතාව වැඩි වුණ එක. ඒත් එක්කම වීදුරු සිසිල් බීම බෝතලේ මාරු වුණා ප්ලාස්ටික් බෝතලේට. වීදුරු බෝතල් ක්‍රමය ආපහු ලංකාවේ ඇති කරන්න නියමිත කාලය ඇවිල්ලා කියලයි මගේ වැටහීම නම්.

විද්යුත් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහාත් නගරයේ තැන් කිහිපයක බහාලුම් තැබීම‍ ඉතා සුදුසු පියවරක්. බැර ලෝහ මගින් පරිසරයට සිදු වන හානිය අවම කරගැනීමට එයින් විශාල පිටුවහලක් ලැබේවි.

පළමුව, ඔබ ඔබේ ගෙදරින් අපද්‍රව්‍ය කළමනාකරණය පටන් ගන්න. මෙහිදී මා යෝජනා කළේ ඉතා සරල පියවර කිහිපයක් විතරයි. පරිසර සංවේදිතාව ඇති කරගැනීම සහ පුද්ගල ආකල්ප වෙනස් කරගැනීමෙන් සමාජමය ආකල්ප වෙනස් කිරීමේ ක්‍රියාදාමයේ පළමු ප්‍රතිලාභියා ඔබයි. අසීමිතව, අතිශය අනර්ථකාරීව අප පරිසරයට බැහැර කරන දේ හේතුවෙන් විනාශ වන්නේ අප මෙන්ම අ‍පගේ ඉදිරි පරම්පරා ගණනාවක පැවැත්ම තීරණය කරන ජෛව විවිධත්වයයි. සොබාදහම ඔබේ නොසැලකිලිමත්කම පිළිබඳ පිළිතුරු දෙන දිනක් එන තෙක් බලා නොසිට අපි අදම මේ සමාජීය වගකීම ඉටු කිරීමට අදිටන් කරගනිමු.

කුසල් පෙරේරා

Comments