දෙමළ ඊලාම් හි අන්තර්ජාතික රජය බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ අරමුදල් වලට ඇස ගසයි | සිළුමිණ

දෙමළ ඊලාම් හි අන්තර්ජාතික රජය බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ අරමුදල් වලට ඇස ගසයි

සුගිය සතියේ දියේස්පෝරාවට තරමක් අසතුටු දායක ආරංචියක් අසන්නට ලැබුණි. මහා බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන අභියාචනා කොමිෂන් සභාව (පී.ඕ.ඒ.සී.) ඉදිරියේ විභාග වුණු "අරුමුගම් සහ වෙනත් අය එදිරිව ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්" නමැති අභියාචනයේ තීන්දුව එම සභාව මගින් ලබා දෙනු ලැබූ අතර, එමගින් මහා බ්‍රිතාන්‍යයේ තහනම් කරන ලද සංවිධාන ලැයිස්තුවේ තවදුරටත් එල්ටීටීඊය පවත්වාගෙන යාමට එවකට ස්වදේශ කටයුතු ලේකම්වරයා විසින් තීරණය කිරීමේදී ඔහු වෙත ඒකාබද්ධ ත්‍රස්තවාදී විශ්ලේෂණ මධ්‍යස්ථානය (JTAC) මගින් ඉදිරිපත් කරන ලද තොරතුරු “වැරදි ලෙස අර්ථකථනය” කර ඇති බවට අභියාචනා කොමිෂන් සභාව සිය විවෘත තීන්දුවෙන් ප්‍රකාශ කර තිබුණි.

එල්ටීටීඊය තවදුරටත් “ත්‍රස්තවාදය ගැන සැලකිලිමත්” (concerned in terrorism) සංවිධානයක්ද යන්න සොයා බැලීම සදහා පත් කරනු ලැබූ ව්‍යවස්ථාපිත පරීක්ෂණය සඳහා මෙහිදී මූලිකත්වය ලබාදී තිබුණු අතර, මේ සම්බන්ධයෙන් “ලෝඩ් ඇල්ටන්” ( A v. Secretary of State for the Home Department (No 2) [2005] 1 WLR 414) නම් නඩුවේදී අවශ්‍ය නිර්ණායක හඳුන්වා දී තිබුණි.

ඒ අනුව “ත්‍රස්තවාදය ගැන සැලකිලිමත්” ලෙස කටයුතු කරනවා ය යනු “එලෙස විය හැකිය” යනුවෙන් පවතින “බිය” හෝ “සැකයට” එහා ගිය තත්ත්වයක් බවට අධිකරණය මගින් පෙන්වාදී තිබුණි.

සාමාන්‍යයෙන් පවතින ක්‍රියාදාමය වන්නේ යම් ත්‍රස්ත සංවිධානයක් තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර අදාළ ත්‍රස්ත සංවිධානය සම්බන්ධයෙන් එහි “වර්තමාන ත්‍රස්ත ක්‍රියාකාරකම්” පිළිබඳ තොරතුරු වාර්තාවක් ලබා දෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධ ත්‍රස්තවාදී විශ්ලේෂණ මධ්‍යස්ථානයෙන් ඉල්ලා සිටීමයි.

විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයෙන් (එෆ්. සී. ඕ) සහ ප්‍රජා බලපෑම් තක්සේරු කිරීම් (සී අයි ඒ) වැනි විවිධ සංවිධාන වලින් ලැබෙන තොරතුරු මත පදනම්ව, විශ්ලේෂණ මධ්‍යස්ථානයේ සමාලෝචන කණ්ඩායම විසින් තමන්ගේම රැස්වීමක් පවත්වා එය තවදුරටත් සාකච්ඡා කරන ලබයි.

ඒකාබද්ධ ත්‍රස්තවාදී විශ්ලේෂණ මධ්‍යස්ථානය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත සිය වාර්තාව ලබාදෙන්නේ ඉන් අනතුරුවය.

එහෙත් එම වාර්තාවට සමාලෝචන කණ්ඩායම් රැස්වීමේ සටහන් ඉදිරිපත් කර නොතිබුණු අතර රාජ්‍ය ලේකම්වරයා විසින් "එල්ටීටීඊය තහනම් සංවිධානයක් ලෙස තවදුරටත් පවත්වා ගැනීමට එකඟ විය යුතු” බව පමණක් ප්‍රකාශ කොට තිබුණි.

ත්‍රස්තවාදී විශ්ලේෂණ මධ්‍යස්ථානය ඉදිරිපත් කල වාර්තාව මගින් කරුණු “වැරදි ලෙස අර්ථකථනය” කර ඇති බවට අභියාචනා කොමිෂන් සභාව සිය විවෘත තීන්දුවෙන් ප්‍රකාශ කර තිබුණේ මේ කරුණයි.

මේ අනුව ප්‍රතිකර්ම පිළිබඳ ඉදිරිපත් කිරීම් සදහා දැනට කල් ලබා දී ඇති අතර එහිදී 2011 ත්‍රස්තවාදී පනතේ ප්‍රතිපාදන අනුව ස්වදේශ කටයුතු ලේකම් වරයා විසින් අදාළ ලැයිස්තුවට යම් සංශෝධනයක් හෝ වෙන යම් ප්‍රතිකර්මයක් ඉදිරිපත් කළ යුතුව තිබේ. එහිදී බ්‍රිතාන්‍යයේ තහනම් ත්‍රස්ත ලැයිස්තුවෙන් එල්ටීටීඊය ඉවත්වීමටද ඉඩ තිබේ.

මෙය බ්‍රිතාන්‍යයට පමණක් නොව ශ්‍රී ලංකාවටද මහත් හිසරදයක් ගෙන එන කටයුත්තක් විය හැකිය. එහෙත් ඒ සඳහා කළ යුතු නීතිමය ප්‍රතිපාදන තවදුරටත් ඉතිරිව ඇති අතර ඒ පිළිබඳව අපි පසුව කතා කරමු.

වඩා වැදගත් වන්නේ මේ අභියාචනය පසුපසින් සිටින්නේ කවුද සහ ඔවුන් මේ මගින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නයි.

2018 දෙසැම්බර් මස එල්ටීටීඊය ත්‍රස්තවාදය පිළිබඳව සැලකිලිමත් නොවන බව පවසමින් එය ඉවත් කරන ලෙස ඉල්ලා දෙමළ ඊලාම් හි අන්තර්ජාතික රජය (TGTE) එවකට ස්වදේශ කටයුතු ලේකම් සජිඩ් ජාවිඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ලිපියක් යවා තිබේ.

2019 මාර්තු මාසයේදී ස්වදේශ ලේකම් විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. අනතුරුව ටී.ජී.ටී.ඊ. හි එක්සත් රාජධානියේ සාමාජිකයන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

ටිජිටියට අනුව දැන් එල්ටීටීඊය "ත්‍රස්තවාදයට කැමැත්තක් නොදක්වන" සංවිධානයක් නම් එය මහා බ්‍රිතාන්‍ය තුළ එය යළි පණ පොවා ගැනීමට ටී.ජී.ටී.ඊ. ය මෙතරම් උත්සාහ ගන්නේ ඇයි? යම් ත්‍රස්ත සංවිධානයක් මහා බ්‍රිතාන්‍ය තුළ තහනම් සංවිධානයක් බවට පත්වීමත් සමඟම එම සංවිධානය සතුව තිබුණු සියලු වත්කම් තහනම් වන්නේය. ඒ අනුව එල්ටීටීඊය (තහනම් සංවිධාන අංක 7126) සතුව තිබු විශාල වත්කම් ප්‍රමාණයක් "ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය" යටතේ වසර 2001 සිට අත්හිටුවා තිබේ.

යම් හෙයකින් එල්ටීටීඊ තහනම ඉවත් කළහොත් ටී.ජී.ටී.ඊ. යට මහත් නිධානයක් පහළ වනු ඇත. මෙම මුදල් ටී.ජී.ටී.ඊ. ය සිය නායකයන්ගේ පුද්ගලික සුඛවිහරණය සදහා පමණක් නොව ශ්‍රී ලංකාවට එරෙහි බෙදුම්වාදී කුමන්ත්‍රණ සඳහාද යොදවනු ඇත.

එය නිසැකවම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට එරෙහි තර්ජනයකි.

එසේනම් අප කළ යුත්තේ කුමක්ද? වඩා පහසුම කාරණය නම් නැවතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තහනම් ලැයිස්තුවට එල්ටීටීඊය, ටී.ජි.ටි.ය සහ එහි නායකයන් ඇතුළත් කිරීමයි.

එවිට බ්‍රිතන්‍යයේ තහනම ඉවත් වුවද එක්සත් ජාතීන්ගේ තහනම් ලැයිස්තුව ක්‍රියාත්මක කිරීමට සාමාජික රටවල් නීතියෙන්ම බැඳී සිටින නිසා වක්‍රාකාරයෙන් තහනම ක්‍රියාත්මක කරවීමට අපට හැකිවනු ඇත. ඊට පළමුව එක්සත් රාජධානියේ අදාළ ආයතනයන්ට එල්ටීටීඊයේ ක්‍රියාකාරකම් වාර්තාවක් සැපයීම අත්‍යාවශ්‍ය වනු ඇත.

පසුගිය 23 වෙනිදා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව දැනටමත් ඔවුන් එලෙස ක්‍රියාත්මක වී ඇති බව පෙනී යයි.

ඔබේ අදහස් යොමුකරන්න:

[email protected]

Comments