දියෙස්පෝරාවට පරාජයක් | සිළුමිණ

දියෙස්පෝරාවට පරාජයක්

මැතිවරණයට පෙර එක්තරා කැනේඩියානු පුරවැසියෙක් ශ්‍රී ලංකාවේ මැතිවරණයට ඉදිරිපත්වන බව අප ඔබට සඳහන් කළෙමු. දැන් ප්‍රතිඵල ලැබී තිබේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සංවිධානයේ අපේක්ෂකයකු වූ එම දියෙස්පෝරා නියෝජිතයා ද්‍රවිඩ ජනතාව විසින් අන්ත ලෙස පරාජයට පත් කර තිබේ. මේ ද්‍රවිඩ දියෙස්පොරා නියෝජිතයා එසේ මෙසේ පුද්ගලයකු නොවේ.

දියේස්පෝරාවේ ද්‍රවිඩ සංවිධාන රාශියකම යම් හෝ නිලයක් ඔහු විසින් හොබවයි. මතුපිටින් සාමාන්‍ය වැසියන් විසින් පාලනය කරනු ලබන සංවිධානයන් ලෙස පෙනන මෙම සංවිධාන සෑම එකකම මේ පුද්ගලයා නිලධාරි මණ්ඩලයේ සිටී. මේ සඳහා කිසියම් හේතුවක් තිබිය යුතුය. එම හේතුව කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීමට මම දියෙස්පෝරාවේ මගේ ද්‍රවිඩ ජාතික මිත්‍රයකු ඇමතුවෙමි. ඔහුගේ පිළිතුර වූයේ මේ සෑම ද්‍රවිඩ දියෙස්පෝරා සංවිධානයකම සිංහයාගේ කොටස (lion’s share) සහතික කිරීම සඳහා එල්ටීටීඊ දියේස්පෝරාව විසින් යම් පුද්ගලයකු සෑම ද්‍රවිඩ දියෙස්පෝරා සංවිධාන නිලධාරී මණ්ඩලයකටම අනුයුක්ත කර ඇති අතර මොහු එවැනි එක පුද්ගලයකු විය හැකි බවයි.

එසේනම් මේ එල්ටීටීඊ දියේස්පෝරාව යනුවෙන් හඳුන්වන්නේ කවුද කුමක්ද යන්න බොහෝ දෙනාට ඇති ප්‍රශ්නයකි. එය එල්ටීටීඊය විසින් පාලනය කරනු ලබන්නක් ද නැතහොත් දියේස්පෝරාව විසින් එල්ටීටීඊය පාලනය කරනු ලැබුවේද? එයට යම් පිළිතුරක් එල්ටීටීඊය සමඟ සබඳකම් දක්වන නෝර්වේජියානු ජාතික එරික් සොල්හයිම් විසින් මෑතකදී ඉංග්‍රීසි පුවත්පතකට කරන ලද ප්‍රකාශයක දැක්වෙයි. ඔහුට අනුව ප්‍රභාකරන්ගේ විනාශය සිදුවුයේ ඇන්ටන් බාලසිංහම් වෙනුවට දියෙස්පෝරාවට ඇහුම්කම් දීමට ඔහු පුරුදු වූ නිසා නිසා බවයි.

එල්ටීටීඊය විසින් දියෙස්පෝරාව ශක්තිමත් කරනු ලැබුවේ විශාල යුද්ධයක් කිරීම සඳහා උතුරෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම හේතුවෙනි. ඒ සඳහා එල්ටීටීඊය විවිධ පුද්ගලයන් දියෙස්පො­්රාවට ඒවා තිබුණි. ඒ පුද්ගලයන් විසින් විවිධ සංවිධාන අටවා තිබුණි. ඒවායේ අරමුණ මුදල් එකතු කිරීම පමණක්ම නොවේ; අයුධ එක්රැස් කිරීමද එක කාර්යයකි. මුදල් එකතු කිරීම සඳහා ඔවුන් යොදාගන්නේ සාමාජික ගාස්තු ලබා ගැනීම පමණක්ම නොවේ. ඔවුන් මුදල් ඉපයීම සඳහා ක්‍රෙඩිට් කාඩ් වංචා, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම්, ආදී ඔවුනට කළ හැකි සියලු අපරාධවල නියුක්තව සිටිති. එක සංවිධානයක් ආරක්ෂක අංශවල අවධානයට ලක්වෙද්දී ඔවුන් එය අත්හැර තවත් සංවිධානයක් ගොඩනගති. එලෙස ඉපයූ මුදල් වලින් කොටසක් ආයුධ මිලට ගැනීම සඳහා කේ.පී.ට දෙනු ලැබූ බව කියවෙන අතර ඉතිරි මුදල් විවිධ පුද්ගලයින්ගේ නම් වලින් දියෙස්පෝරාවේම ආයෝජනය කරනු ලැබීය. එම ආයෝජන අතර නිවෙස්, ව්‍යාපාර, විශාල ව්‍යාපාරික සහ මහල් නිවාස ගොඩනැගිලි අදිය විය. එල්ටීටීඊය සන්නද්ධ අංශය ලංකාවේදී විනාශ වන විට, මෙම මුදල් එකතු කරන්නන් විශාල ධන කුවේරයන් බවට පත්වී සිටියේය. ඔවුන්ගේ නමට ලියා තිබූ විශාල දේපළ වල උරුමකරුවන් ඔවුන්ම බවට පත්විය. ශෝල්හයිම්ට අනුව එල්ටීටීඊයට දියේස්පෝරාවේ සිට උපදෙස් දෙනු ලැබුවේ මෙම ධන කුවේරයන්ය. මෙම ධන කුවෙරයන්ගේ එකමුතුව දෙමළ ඊලාම් මාෆියාව ලෙස හැඳින්වුවද වරදක් නොවේ.

දෙමළ ඊලාම් යුද්ධයෙන් යමකු ගොඩ ගියේ නම් ඒ මෙම දියෙස්පෝරා ධනකුවෙරයන්ය. ජිවිතයේ කිසිම දිනෙක රැකියාවක් නොකළ මෙම පිරිස තම ජනතාව උතුරේ දුක් විදිත්දී ඒ දිහා ඇස නොහැර තම පවුල් නඩත්තුවේම යෙදිණි. ඔවුන් ගේ දරුවන් ඉහළ ගනයේ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබූ අතර ඔවුන් දියේස්පෝරාවේ රටවල ඉහළ රැකියාවල යෙදෙති. දැන් ඔවුනට අවශ්‍යව ඇත්තේ බලයයි. ඒ අනුව ඉන් සමහරක් දියේස්පෝරාවේ රටවල දේශපාලකයෝ වී සිටිති. දියෙස්පොරාවේ විවිධ දෙස්පාලන පක්ෂ වෙනුවෙන් ඔවුන් ඇත දිගහැර වියදම් කරති. දැන් ඔවුන්ගේ ඍජු නියෝජිතයකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට එවීමටද ඔවුන් උත්සාහ ගනිමින් සිටිති. එහි ප්‍රථම වෑයම මෙවර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාව විසින් පරාජයට පත් කර තිබේ. එහෙත් ඉදිරියේදී පැවැත්විය හැකි පළාත්සභා මැතිවරණයකදී මෙම පුද්ගලයන් සාර්ථක වීමට ඉඩ තිබේ.

මේ අතර කතිරවේලූ ෂන්මුගම් කුගතාසන් නම් පුද්ගලයෙකු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සංවිධානයේ අපේක්‍ෂක ලැයිස්තුවේ නායක සම්බන්දන්ට පහළින් දිස්වෙයි. ඔහු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය යටතේ නැගෙනහිර පළාත් සංවර්ධන කටයුතු පිළිබඳ හිටපු සම්බන්ධීකාරක ලෙස කටයුතු කර ඇති බව ඔහු කියයි. එම පුද්ගලයාම දීර්ග කාලයක් තිස්සේ ටෝරන්ටෝවේ තමිල් ඊලාම් සොසයිටි නමැති සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත. කතිරවේලූ ෂන්මුගම් කුගතාසන් ටොරන්ටෝ නුවරදී පිහිටුවාගත් ත්‍රිකුණාමල සුබසාධක සංවිධානය නම් සංවිධානයක සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. තවත් දියේස්පෝරාවේ ද්‍රවිඩ සංවිධාන ගණනාවක ඔහු විවිධ නිලතල හොබවයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ලැබූ මනාප ප්‍රමාණය ඉතා සොච්චමකි.

ඔබේ යෝජනා සහ අදහස් යොමුකරන්න;
[email protected]

Comments