බටහිර අධ්‍යාත්මයේ නොගැඹුර වටහාගැනීමට කියැවිය යුතුම පොතක් | Page 2 | සිළුමිණ

බටහිර අධ්‍යාත්මයේ නොගැඹුර වටහාගැනීමට කියැවිය යුතුම පොතක්

ප්‍රකාශනය: සරසවි ප්‍රකාශනය

අනුවර්තක: ආනන්ද හේරත්

මිල: 450

‘සරු ජීවිතයකට මඟ’ නමැති කෘතිය ප්‍රවීණ භාෂා පරිවර්තකයකු වූ ආනන්ද හේරත් මහතා විසින් 'Changers: Becoming the Best You can Be' යන කෘතිය සිංහලට පරිවර්තනය කරනු ලැබූවකි. මේ කෘතිය මනෝ සමාජ උපදේශන සේවාවන් කෙරෙහි උනන්දුවක් දක්වන විද්වතුන් අට දෙනකු විසින් ලියන ලද සාමූහික කෘතියක් වෙයි. මෙහි මුඛ්‍ය අර්ථය විමසන විට පෙනී යන්නේ, ඇමෙරිකානු සමාජයේ පවත්නා සදාචාරාත්මක දුගී බව අභ්‍යවකාශය ජය ගනිමින් සිටින ඔවුන්ට තවමත් ජය ගත නොහැකි වූ බව යි. අද අමෙරිකානු සමාජයේ පවත්නා සදාචාරාත්මක පරිහානියට බුදුන් වහන්සේ අංග සම්පූර්ණ උපදේශනයක් කළේ මීට වසර දෙදහස් හය සියයකට පෙර සිගාලෝවාද සූත්‍රයෙනි; පරාභව සූත්‍රයෙනි; ධම්මපදයෙනි.

‘සරු ජීවිතයකට මඟ’ යන කෘතිය සම්පාදනය කළ සාමූහික කර්තෘ මණ්ඩලය සහමුලින්ම පෙන්වා දීමට උත්සාහ කළේ, “මා හොඳාකාරව ඉතා සාර්ථක කෙනකු වන්නේ කොහොම ද?” යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ය. මේ කෘතියේ සමස්ත හරය ගෙන විමසා බලන විට, ඉන් පැහැදිලි වන්නේ බෞද්ධ සදාචාරයේ මූලධර්ම ගැන නොදත්තත් සමාජ ව්‍යවහාරය තුළින් ඒවායින් තරමක හෝ යථාර්ථමය උපදේශනයන් සොයාගැනීමට ඒ කර්තෘ මණ්ඩලය දරා ඇති උත්සාහය යි. මේ කෘතියේ කර්තෘවරුන් අට දෙනා සිය උත්සාහයෙන් හෙළි කරගැනීමට උත්සාහ ගත් ප්‍රධාන මනෝ සමාජ උපදේශන හතක් මෙසේ පෙන්වා දෙයි.

1. ඔබේ කය හා සිත හොඳින් තේරුම් ගෙන නිරෝගීව සිටීම පතා ඔබ ම කටයුතු කළ යුතු ආකාරයට හික්මෙන්න, හැසිරෙන්න.

2. ආත්ම විශ්වාසය ගොඩනඟාගත හැකි වන පරිදි ඔබ පිළිබඳ ව ම ධනාත්මක (ගුණ ගරුක) ප්‍රතිරූපයක් ගොඩනඟාගන්න.

3. ඔබේ සිත තුළ පහළ වන හැඟීම් තේරුම් ගෙන, ඒවා පාලනය කරගැනීමට ඉගෙනගන්න වෑයම් කරන්න.

4. ප්‍රබල කලණ මිතුරුදම් ගොඩනඟාගනිමින් අවැඩදායක නිහීන බලපෑම්වලට යටත් නොවී නැගිටින්න.

5. ඔබේ පවුලේ අය සමඟ වඩාත් සුහදව ඇයිහොඳයිකම් පවත්වාගෙන යන්න.

6. නැණවත් තීරණ ගන්නා අයුරු ඉගෙනගන්න.

7. ඔබේ අරමුණු සටහන් කරගන්නා පිළිවෙළ උගෙන, ඒවා මුදුන්පත් කරගැනීම පතා අධිෂ්ඨානයෙන් යුතුව වීර්යවන්තව කටයුතු කරන්න.

මේ කෘතියේ කර්තෘ මණ්ඩලය මනෝ සමාජ උපදේශකවරුන් ලෙස ඉහත සඳහන් මූලෝපායික උපදේශන සමාජයට පවත්නා බරපතළ අභියෝගාත්මක ප්‍රශ්න ලෙස යි. විශේෂයෙන් ම අමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයෙහි සමාජ පද්ධතිය සහමුලින් ම බිඳවැටී ඇත්තේ සමාජ සදාචාරය සහමුලින් ම බිඳවැටීම නිසා ය. වසර එක්දහස් පන්සියයකට වඩාත් වර්තමානයේත් බයිබලයෙන් සමාජය හසු වන කිතුනුවාදය අද සහමුලින් ම බිඳවැටී ඇත. අද බටහිර සමාජය කෑමොරගා ඉල්ලන සදාචාරවාදය බුදුන් වහන්සේ දේශනා කළේ මීට වසර දෙදහසකට පෙරදී ය. එදා උන් වහන්සේ දේශනා කළ ‘සිගාලෝවාද සූත්‍රය’ සහමුලින් මනෝ සමාජ උපදේසවලින් පිරී ඇත. මේ සූත්‍රයෙහි ලා දුරු කළ යුතු තුදුස් ලාමකධර්ම හා නමස්කාර කළ යුතු ෂඩ් දිසා මනාව පැහැදිලි කරයි.

මේ කෘතියේ ලේඛකයන් පිළිගෙන ඇති අන්දමට මිනිසා විසින් ම මිනිසාගේ ප්‍රශ්න අවබෝධ කරගත යුතු ය. ඒ අනුව ක්‍රියා කළ යුතු ය. බුදුන් වහන්සේ ධම්මපදයෙහි 160 වන ගාථාවේ මෙසේ සඳහන් කරයි:

“අත්තාහි අත්ත නෝ නාථෝ - කෝ හි නාථෝ පරෝසියා?

අන්නනාව සුදුස්තේන - නාථාං ලබති දුල්ලභං”

‘තමාට පිහිට තමා ය. වෙන කවරෙක් තමාට පිහිට වේ ද? තමා මනාව දැමුණු කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේ ය.’

ධම්මපදයේ එන මේ ගාථාව පමණක් වුව ගැඹුරු ධර්මය අනුව මේ කෘතිය අනාවරණය කිරීමට ප්‍රමාණවත් ය. මුළු බුදුදහමම පිරී ඇත්තේ බෞද්ධ සමාජ විද්‍යාත්මක උපදේශනවලිනි.

වසර එක්දහස් පන්සීයකට වඩා කාලයක් බයිබල් පාඩම්වලින් හැසිරවූ බටහිර සමාජයට අද ඒ බයිබල් සදාචාර ප්‍රමාණවත් නොවී ඇති බව මේ කෘතිය විමසා බලන විට පෙනේ. ඒ අදහස මනාව වටහාගැනීමට ‘බෞද්ධ සදාචාර්යේ මූලධර්ම’ ග්‍රන්ථයේ පෙරවදනෙහි ලා මහාචාර්ය ගුණපාල ධර්මසිරි මෙසේ පෙන්වා දෙයි:

“මූලික බෞද්ධ සදාචාර මූලධර්මයන් බටහිර දර්ශනයේ ඇති පටු චින්තන පදාර්ථයන්ට කිසි සේත් ම හසු වන්නේ නැත. එයට හේතුව නම්, බෞද්ධ සදාචාරය හුදු සදාචාරවාදයක් පමණක් නො ව, බටහිර සම්ප්‍රදායේ කිසි දිනෙක අසා නැති, යථාභූතය පිළිබඳ ගැඹුරු දෘෂ්ටියක් මත පදනම් කළ ඉගැන්වීමක් වන නිසා ය.”

මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතාට අනුව බුදු දහමේ සමාජ හර පද්ධතිය බටහිර දර්ශනය සම්පාතව විෂය වන්නාක් නො වේ. එය ඊට වඩා යථාර්ථ ගැඹුරකින් යුතු ය.

ආනන්ද හේරත් මහතා විසින් පරිවර්තනය කර ඇති මේ කෘතිය ඉතා සරල බසකින් සකස් කර ඇති නිසා මෙය ඕනෑ ම අයකුට කියවා පහසුවෙන් වටහාගත හැකි ය. මේ කෘතිය අපේ සිංහල බෞද්ධයන්ට පෙන්වා දීමට පැහැදිලි කර දීමට උත්සාහ කරන්නේ බටහිර සමාජ උපදේශන සේවාව තුළ පවත්නා කිතුනු සදාචාරයේ පවත්නා දුගී බව ය. එහෙයින් ම අද බටහිර සමාජ උපදේශන සේවාවන් උත්සාහ ගන්නේ මේ රටවලට දැන හෝ නොදැන හෝ බුදු දහමේ ප්‍රාථමික ඉගැන්වීම්වලින් පටන් ගැනීමට ය.

මේ අනුව ‘සරා ජීවිතයකට මඟ’ කෘතිය ලෝකයේ බටහිර රටවල ජනතාවගේ අධ්‍යාත්මයේ නොගැඹුර අවබෝධ කරගැනීමට කවුරුත් කියවිය යුතු ග්‍රන්ථයකැයි මම කල්පනා කරමි.

Comments

වසර එක්දහස් පන්සියයකට වඩාත් වර්තමානයේත් බයිබලයෙන් සමාජය හසු වන කිතුනුවාදය අද සහමුලින් ම බිඳවැටී ඇත--- ලිපියේ සඳහන් කොටසකි. කිතු දහම බටහිර දහමක් නොවේ. එය ලංකාව ඇතුළු මුළු ලොව පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරෙමින් ජීවිතයේ අරුත සපයමින් පවතී. එහි ගරා වැටීමක් කිසිදා සිදු නොවන අතර ලාංකික කිතුනු ජනතාවගේ යහපැවැත්ම ඊට සාක්ෂි දරයි. තමුන්ගේ ධර්මයක් උසස් කර හුවා දැක්වීමට වෙනත් ආගමක් හා ලොව පුරා වැඩිම ජනතාවක් අදත් කියවන ආගමික ග්‍රන්ථය වන ශුද්ධ වූ බයිබලය හෑල්ලු කර දැක්වීම ආගමික සහජීවනයට බාධාවකි. එවන් පොතක සඳහන් වූවක් ශීර්ෂ පාඨවලින් මතු කර දැක්වීම සිළුමිණ වැනි පුවත්පතකට තරම් නොවේ.

පිටු