ඒ මහා­චා­ර්ය­ව­රයා ජෝති ගැන කීවේ මෙහෙ­මයි | සිළුමිණ

ඒ මහා­චා­ර්ය­ව­රයා ජෝති ගැන කීවේ මෙහෙ­මයි

රිදී තිරයේ රත්රන් චරිත ගැන කතා කරන මාලනි ෆොන්සේකා ඉකුත් සතියේ එච්.ආර්. ජෝතිපාල ගැන කරුණු ඉදිරිපත් කළ ලිපියට ඌණපූරණයකි.

2017 සැප්. 10 ‍වැනිදා ඉරිදා සිළුමිණ රිදී තීරයේ රත්තරන් චරිත ලිපි මාලාවේ ලිපියක රසික කොටුදුරගේ ලේඛකයා හට මාලිනී ෆොන්සේකා නැසීගිය එච්.ආර්. ජෝතිපාලයන් ගැන දැක්වූ අදහස් පළ වී තිබුණි. එහි සදොස් තැන් කීපයක් නිදොස් කිරීමේ අරමුණෙන් මෙය ලියමි.

“ඔහු උපතින් කතෝලිකයෙකු වුණත් බුදු දහමේ හරය වන සියල්ල අතහැර අපිස් ජීවිතයක් ගෙවූ අහිංසක මනුෂ්‍යයෙක්...” යනුවෙන් කර තිබූ සඳහනේ ආගම ගැන කොටස සපුරාම වැරදිය. එච්.ආර්. ජෝතිපාල උපතින් ම බෞද්ධ‍ෙයකු වූ අතර ඔහු මිය යන තුරුම සිය ආගම වෙනස් කළේ නැත. මාලිගාවත්ත ඇතුළු විවිධ ප්‍රදේශවල පන්සල් සමඟ සමීපව සිටි ඔහු ඒවායේ පින්කම්වලට ද එක් විය. මිය යන්නට කෙටි කලකට පෙර අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය ළඟ විශාල ප‍ූජාවකට ද සහභාගි විය.

ජෝති බෞද්ධයෙකු වූවාට සියලු ආගම්වලට ගරු කළ අතර ඔහුගේ අසීමිත මිතුරු පිරිස අතර කිතුණුවෝ රැසක් ව‍ූහ.‍ ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කතෝලික දේවස්ථාන ආශ්‍රිත මංගල්‍ය ආදියේදී ජෝති ගෙවීම් ගැන නොසිතා ගී ගැයූ වාර ඇත්තේ එකක් දෙකක් නොවේ. එමෙන් ම ඔහු බටහිර තනුවක් අනුව නත්තල් ගීයක් ද ගායනා කළේ ය‍. එහෙත් ඔහු මරණය දක්වා බෞද්ධ‍ෙයකු මිස කතෝලිකයෙකු නොවීය.

ජෝතිගේ පරිපූර්ණ තිර කටහඬ ගැන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් කී කතා දෙකක් සඳහන් කර “එම දේවල් ඒ විදිහටම නොකිව්වා වෙන්න පුළුවන්” යනුවෙන් මාලිනී කියා තිබුණත් එම ප්‍රකාශයන් ඒ අයුරින් ම ප්‍රසිද්ධ මාධ්‍යවලට මාස්ටර් කළ ඒවා ය. ආනන්ද ජයරත්න වෙනුවෙන් ‘සිරියමෙ සාරා’ ගයමින් ‘සුරතලී’ තුළින් පටන්ගත් පසුබිම් ගායන දිවිය ජෝති නිම කළේ තිලක් කුමාර රත්නායකගෙනි. කඳපොල කුමාරතුංගගේ ‘බදුලු කෝච්චිය’ එම චිත්‍රපටයයි. ජෝති මිය ගිය පසුව ඔහු කලින් චිත්‍රපටවලට ගයා එම නිෂ්පාදන ඇණහිටීම නිසා ඉතිරිව තිබූ ගීතත්, ඔහු කැසට්පටවලට ගැයූ ගීතත් චිත්‍රපටවලට යොදන ලදී. ලකී ඩයස් - රන්ජන් රාමනායක - දමිත් ෆොන්සේකා - ලාල් වීරසිංහ වැනි නළුවන්ට ඒ හඬ යෙදුණේ ඒ අනුවය. මුල සිට ජෝති පසුබිම් ගී ගැයූ නළුවන් අතරට දමිත් ඇතුළත් කළ නොහැක්කේ මරණින් පසු පැරණි ගී යෙදීමේ ක්‍රමය තුළ දමිත් ඒ අවස්ථාව ලද නිසා ය.

ජෝති ගයා මාලිනී රඟපෑ චිත්‍රපට ගීත ලැයිස්තුවක් ගැන මාලිනී කියා තිබුණි. ඒ අතරින් ඇතැම් ගීත ඇය රඟපෑ ගීත නොවේ. ‘සිතුම් පැතුම් සඳ ආදරේ’ ගීතය විජය කුමාරතුංගයන් සමඟ ස්වරණා කහවිට ලෙනින් මොරායස්ගේ ‘අබිරහස’ චිත්‍රපටයේ රඟපෑ ගීතයකි. මාලිනී ‍ජෝති සමඟ එහි රඟපෑවේ ‘සුසුදු රැල්ල’ ගීතයට අනුව ය. ‘ආදර මල් පවනේ’ ගීතය අඩංගු ‘දුලීකා’ චිත්‍රපටයේ මාලිනී රඟපෑවේවත් නැත. එහි විජය රඟපෑවේ බියුලා ඩයස් කරුණාරත්නක සමඟයි. එම ගීත ජවනිකාවේ විජය හා බියුලා රඟපෑහ. එමෙන් ‘ළසඳා’ චිත්‍රපටයේ ‘මා ප්‍රාර්ථනා ආශාවෝ’ ගීතයට අනුව තබා චිත්‍රපටයේවත් මාලිනී රඟපෑවේ නැත. ‘ළසඳා’ ප්‍රධාන නිළිය වූ ශිරාණි කුරුකුලසූරිය තිස්ස ‍විජේසුරේන්ද්‍ර සමඟ එම ගීතයට අනුව රඟපෑවා ය.

ලිපියේ මුල් කොටසේ ලේඛකයා විසින් කර ඇති සඳහනක් ගැන ද අවධානය යොමු කරමි. උසස් වින්දන ශක්තියක් ඇති බුද්ධිමතෙකුට ඔහුගේ ගායනා කිසිසේත් ඉවසා සිටිය නොහැකි බවක් මෙරට ගේය පද රචනා කරන මහාචාර්යවරයෙකු වරක් පැවසූ බව ලේඛකයා කියයි.

ජෝති මිය ගිය පසුව ‘බිඳ වැටුණු සංස්කෘතික බලකණුව’ නමින් ආචාර්ය සරත් අමුණුගම ලියූ ලිපියට එරෙහිව අවි අමෝරා ගත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර තම ලිපියකින් විමසුවේ ‘අමුණුගමට ජෝතිපාලගේ එකම ගීතයක් හෝ අවසන් වනතුරු අසා සිටින්නට හැකිද ‘යන’ අසාධාරණ ප්‍රශ්නයයි. ඔහුටත්, ඔහු සමඟ එක්ව තම ලිපියට හා ජෝතිට පහරදුන් අයටත් ආචාර්ය අමුණුගම පැහැදිලි පිළිතුරු දුන් අතර ‘ජනප්‍රිය සංස්කෘතිය’ යන වදන පවා මාධ්‍ය තුළට ආවේ එතැනිනි. එමෙන් ම ඒ මහැදුරාට අනුව ඔහු පීචං ගායකයෙකු වේ’ යන සඳහන ද අවධානයට යොමු කරමි.

ජෝති ජීවත්ව සිටියදී සීමිත විචාරක හා ප්‍රබුද්ධ යයි කියාගත් පිරිසක් ඔහුව නොතකා හැරියත් අසීමිත බහුතරය ආදරයෙන් ඔහුගේ ගායනා වැලඳගත්හ. ඔහු ගී ලොවේ සිටි තිස් පස් වසර පුරාත්, මිය ගොස් ගෙවුණු තිස් වසර පුරාත් වාර්තාගත ලෙස අඛණ්ඩ ජනප්‍රියත්වයක් උරුමකරන්නේ එබැවිනි.

ඔහුට ගැරහූ ‘සුළුතරය’ හෝ ‘පීචං’ යන වදන කිසිදා යොදා නැත.

Comments