ශ්‍රී ලංකාවේ ඉරණම විසඳෙන එක්දින තරගාවලිය ඇරැඹේ | සිළුමිණ

ශ්‍රී ලංකාවේ ඉරණම විසඳෙන එක්දින තරගාවලිය ඇරැඹේ

මීළඟ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිතරග ගමන තීරණය කෙරෙන තීරණාත්මක බටහිර ඉන්දීය කොදෙව් - එංගලන්ත එක්දින තරගාවලියේ දෙවැනි තරගය 21 දා පැවැත්විණි. මෙම තරගාවලිය ආරම්භ වනවිට එංගලන්ත කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවන අතර බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රේණිගත කිරීම්වල නවවැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 78 ක් හිමිකර ගනිමින්ය. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 86 ක් හිමිකර ගනිමින් අටවැනි ස්ථානයේ පසුවෙයි.

2019 එංගලන්තයේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රේණිගත කිරීම්වල මුල් අට දෙනා නිතරගයෙන් තරගාවලියට සුදුසුකම් ලබන අතර, සෙසු රටවල් සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වී ලකුණු සටහනේ පෙරමුණගත යුතුව තිබේ. එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති පළමු තරගයේදී එංගලන්තය (කොදෙව් 204/9 එංගලන්තය 210/3) ජයගත්තේය.

දෙපිල අතර මෙතෙක් තරග 91 ක් පවත්වා ඇති අතර එහිදී එංගලන්තය තරග 45 ක් සහ කොදෙව්වන් තරග 42 ක් ජය ගෙන තිබේ. විසඳුමක් රහිත තරග සංඛ්‍යාව 4 කි. අවසන් වරට දෙපිල අතර පසුගිය වසරේ කොදෙව්හි පැවැති එක්දින තරගාවලිය 3 - 0 ක් ලෙස එංගලන්තය ජය ගෙන තිබේ. කොදෙව්වන් අවසන් වරට එංගලන්තයේදී එක්දින තරගාවලියකට ක්‍රීඩාකර ඇත්තේ 2012 දීය. තරග තුනකින් සමන්විත වූ එකී තරගාවලිය 2 - 0 ක් ලෙස ජය ගෙන ඇත්තේ ද එංගලන්තයයි. කොදෙව්වන් එංගලන්තයේදී අවසන් වරට තරගාවලියක් ජය ගෙන ඇත්තේ 2007 දීය. තරග තුනකින් සමන්විත වූ තරගාවලිය 2 - 1 ක් ලෙස කොදෙව්වන් ජය ගැනීමට සමත්ව තිබේ. එහිදී කොදෙව්වන් මෙහෙයවා ඇත්තේ ක්‍රිස් ගේල්ය.

මේ වනවිට එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානයන්හි පසුවන දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය සහ බංග්ලාදේශය නිතරගයෙන්ම මීළඟ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ඇති අතර, ශ්‍රී ලංකාව අටවැනි සහ කොදෙව්වන් නවවැනි ස්ථානවල පසුවේ. එංගලන්ත - කොදෙව් තරගාවලිය අවසානයේ අටවැනියා තීරණය වෙයි. නිතරගයෙන් සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හෝ කොදෙව්වන්ට නොහැකි වුවහොත් සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවේ. එම තරගාවලියේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි. මීළඟ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට රටවල් 10 ක් එක්වන අතර එකී තරගාවලිය 2019 මැයි 30 දා සිට ජූලි 15 දා දක්වා එංගලන්තය සහ වේල්සයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙයි.

  

තරග කාල සටහන

24 - තෙවැනි තරගය

27 - සිවුවැනි තරගය

29 - පස්වැනි තරගය

Comments