හොඳම නාසය සුනඛයාගේ ද? | සිළුමිණ

හොඳම නාසය සුනඛයාගේ ද?

එදිනෙදා ජීවි‍තයේ විවිධ අභිරහස් සිදුවීම්වල සුලමුල සොයා ගැනීමට පොලිස් සුනඛයින් දායක වන බව අපි කවුරුත් අසා ඇත්තෙමු. මෙලෙස සුනඛයින් යොදා ගන්නේ උන් දක්වන එක් හැකියාවක් හේතුවෙනි. එනම් ආඝ්‍රාණ සංජානන හැකියාවයි. ආඝ්‍රාහනය යනු ගඳ, සුවඳ විඳ ගැනීමයි. සංජානනය යනු පෙර ගබඩා කර ගත් මතක ආවර්ජනය කිරීමයි. ඒ අනුව කාලයකට පෙර මතකයේ රඳවා ගත් ගන්ධයන් යළිත් වරක් ආඝ්‍රාහනය කළ පසු පෙර මතකය ඔස්සේ හඳුනා ගැනීමේ සූක්ෂ්ම හැකියාව සුනඛයින්ට පවතී. මෙම හැකියාව සඳහා පොලිස් සුනඛයින් විශේෂඥතාවක් දක්වන්නේ ඔවුන් ඒ සඳහා පුහුණු කරනු ලැබීම හේතුවෙනි.

නමුත් ජීවි ලෝකය ගත් විට ඉතාමත් සූක්ෂ්ම ආඝ්‍රාණ සංජානන හැකියාව පවතින්නේ අලියන්ටය. සුනඛයෝ ඔවුන් දෙවැනි වෙති. එසේ වීමට ප්‍රධාන හේතුව නම්, ජීවී ලෝකයේ විශාලම නාසයට අලියා උරුමකම් දැරීමයි. අලියාගේ නාසය යනු හොඬවැලයි. සූක්ෂම ආඝ්‍රාණ හැකියාවක් අලියන්ට හිමි වුවද, “පොලිස් සුනඛයින්” ලෙසට, “පොලිස් අලියන්” අප කවුරුත් අසා ඇත්තේ හෝ දැක හෝ නැත්තේ ප්‍රායෝගිකව අලියන් දෛනික කටයුතුවලට යොදා ගැනීම අපහසු බැවිනි.

සියලු සත්ත්වයන්ගේ නාසය, මොළය හා ස්නායු පද්ධතිය ඔස්සේ ව්‍යුහමය හා කෘත්‍යමය වශයෙන් සම්බන්ධ කරන ආඝ්‍රාණ අපිච්ඡේදය නම් ව්‍යුහයක් නාසය ආශ්‍රිතව පිහිටා ඇත. විශේෂණය වූ සෛල වලින් සෑදී ඇති මෙමඟින් විවිධ ගන්ධයන් හඳුනා ගන්නා අතර ඒවා මොළයේ මතකයන් ලෙස ගබඩා කර තබා ගනී. නාසයේ ප්‍රමාණය විශාල වීමත් සමඟ මෙලෙස ගබඩා කර ගත හැකි ගන්ධයන් පිළිබඳ මතක ගබඩාවේ ප්‍රමාණය ද විශාල වේ. තවද මෙම මතකයන් ඉතා දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට ද හැකිය.

‍බොහෝ හේන් ගොවියෝ තම වගා, අලියන්ගෙන් රැක ගැනීමට ඉතා කෲර ක්‍රියාමාර්ගවලට පෙලඹෙති. රාත්‍රියේ තම හේනට පැමිණෙන අලියන්ට ගස් අතු පතරේ තනා ගත් පැලක සිට රත් කළ පොලිතීන් වත් කරන්නට තරම් මිනිසා අමානුෂිකය. ඉතාමත් වේදනාවට පත් වන අලි එතැනින් පලා යන අතර නැවත බොහෝ කාලයකට ඒ මායිමේ පස් පාගන්නට හෝ නොපැමිණෙති. තමා පිළිබඳ මතකයක් අලියාට නැතැයි කියා ගොවින් සිතුව ද එම පුද්ගලයාගේ ගන්ධය තම මතක ගබඩාවේ තැන්පත් කර ගැනීමට අලියා අමතක නොකරයි.

අවුරුදු තිහ, හතළිහකට පමණ පසු හෝ ඔහුගේ ගන්ධය යළි ආඝ්‍රාණයට වැටුණු විට පෙර මතකයන් ආවර්ජනය වන අලියාගේ ලේ කෝප වී එම ගන්ධය හඹා යයි. සමහර අවස්ථාවල ඔහුගේ මායි‍මෙන් බොහෝ දුර සිට වුවද සුළඟින් හමා එන ගන්ධය ඉතා ඉක්මනින් අලියා ආඝ්‍රාණය කර ගනී. මිනිසුන් රැසක් සිටි තැනක වුවද, සෑම මිනිසකුගේ ම ගන්ධයන් වෙන වෙන ම හඳුනාගෙන නිවැරැදිම පුද්ගලයාට ප්‍රහාර එල්ල කිරීමට වුවද අලියා සමත්ය.

අලින්ගේ ආඝ්‍රාණ සංජානන විශේෂඥතාව ඉතා විශිෂ්ටය. දේහ ප්‍රමාණයේ විශාලත්වය නිසා ප්‍රායෝගික කටයුතුවලට අලි යොදා ගත නොහැකි වූවා මිස ලෝකයේ සූක්ෂ­්තම නාසය ඇත්තේ අලියාට බව අපි වටහා ගත යුතු වෙමු.

එරන්දි සෞභාග්‍යා
13 ශ්‍රේණිය,
දේවි බාලිකා විද්‍යාලය,
කොළඹ.

Comments