ක්‍රීඩා විස්තර විචා­රයට සජීව ලෙස පිටි­යට අා ප්‍රේමසර ඈපාසිංහ | සිළුමිණ

ක්‍රීඩා විස්තර විචා­රයට සජීව ලෙස පිටි­යට අා ප්‍රේමසර ඈපාසිංහ

ශ්‍රී ලංකා‍ෙව් ක්‍රිකට් පිළිබඳ කතා කරනවිට ක්‍රීඩා පිටියෙන් පරිබාහිරව කතා නොකරම බැරි චරිත කීපයක් අපිට හමු වෙයිි. මේ චරිත අතුරින් ගුවන් විදුලි තරංග ඔස්සේ මේ රටේ ක්‍රීඩාලෝලීන්ට ක්‍රිකට් බලන්නට සැලැස්සූ ඒ සොඳුරු සන්නිවේදකයාණෝ අද අපි ‘පැහැසර හමුව’ ට කැඳවන්නෙමු. සිව් දශකයකට අධික කාලයක් මහ මැදුරේ සිට ඈත ගම්දනව්වේ කෝපි කඩය තෙක් ක්‍රිකට් ගෙන ගිය ඒ සොඳුරු සන්නිවේදකයාණෝ ප්‍රේමසර ඈපාසිංහයෝ ය.

උපන් දිනය?

1937 නොවැම්බර් 05

උපන් ගම?

කොළඹ

දෙමව්පියෝ?

ඩී.ආර්. ඈපාසිංහ මගේ පියා. මව එච්.පී. පීරිස්.

සහෝදර සහෝදරියන්

මට වැඩිමල් අයියලා හතර දෙනෙක් ඉඳල තියෙනවා. ඒ අය ඉපදිලා අවුරුද්දක් ඇතුළත නැතිවෙලා.

මුලින් ම අකුරු කළේ?

කොළඹ විශාඛා විද්‍යාලයේ

පසුව?

කොළඹ නාලන්දාවේ.

ඔබ ක්‍රිකට් ක්ෂේත්‍රයට අත්පොත් තබන්නේ?

කුඩා කාලයේ! මා පවුලේ එකම දරුවා. විකට් එකට පොල්පිත්තක් තියලා රබර් බෝලයකින් ක්‍රිකට් ගැසීම මගේ එක ම විනෝදාංශය වී තිබුණා.

කුඩා අවදියේ පටන් ක්‍රිකට්වලට ඇලුම් කළා?

ඔව්! කොටින් ම කියනව නම් මම ක්‍රිකට් පිස්සෙක්.

ඔබ නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට එක් වෙන්නේ?

1957 වසරෙයි. මගේ පළමු තරගය වුණේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිවයි.

කණ්ඩායමේ ඔබේ ස්ථානය?

මා ආරම්භක පිතිකරු මෙන් ම විකට් කීපර්.

පළමු තරගයේ මතකය අවධි කළොත්?

වත්මන් කැබිනට් ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මගේ කණ්ඩ­ාය‍ෙම් පන්දු යවන්නෙක් හැටියට ක්‍රීඩා කළා.

ගාමිණි ජයවික්‍රම ඇමැතිතුමා දක්ෂ පන්දු යවන්නෙක්?

අපෝ ඔව්! ඒ තරගයේදී ඔහු ගත් පළමු විකට්ටුව වුණේ ඇන්ටන් රඹුක්පොතයි. උඩපන්දුව ගත්තේ මම.

එතකොට ඔබේ ප්‍රථම ආනන්ද - නාලන්දා තරගය?

ඒත් 1957. එදා මා උඩපන්දු දෙකක් හා ‘ස්ටම්ප්’ කිරීම් දෙකක් ගත්තා. ගාමිණි ජයවික්‍රම ලකුණු 55 ට විකට් 5 යි.

නාලන්දාවේ අධ්‍යාපනයෙන් පසුව?

ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට කටයුතු කළා.

කොහේද?

මහානාම විදුහලේ! කොල්ලුපිටියේ වාලුකාරාමාධිපති මාවිත්තර ශ්‍රි රේවත හාමුදුරුවෝ මගේ මහප්පා. උන්වහන්සේ තමයි මාව මහානාම විදුහලට ගන්නේ.

ඉන් පසුව?‍

ඔය කාලයේ ‘ලේක්හවුස්’ ආයතනයට වාර්තාකරුවන් බඳවා ගන්නවා කියලා පත්තරේ දැන්වීමක් තිබුණා.

ඔබට එයට ඉල්ලුම් කළා?

ඔව්! සම්මුඛ පරීක්ෂණය කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්මයා.

සම්මුඛ පරීක්ෂණයෙන් ඔබ සමත් වෙනවා?

ඔව්! මමත් සමඟ එවන්ස් කුරේත් (පසුව ජනාධිපති මාධ්‍ය ලේකම්) සමත් වුණා. මට ලැබුණේ ක්‍රීඩා වාර්තාකරණය.

පසුව?

1963 වසරේ මා විද්‍යොදය සරසවියට ඇතුළු වෙනවා! මා මෙහිදී විශේෂ සඳහනක් කළ යුතුයි.

කුමක්ද?

අද මා සමාජයේ කිසියම් තැනක සිටිනවා නම් එහි සම්පූර්ණ ගෞරවය ලේක්හවුසියට හිමිවිය යුතුයි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව?

1966 වසරේ මා බී.ඒ. උපාධිය ලැබුවා. මේ අතරතුර මා කොළඹ නාලන්දාවේ ගුරුවරයකු ලෙස බඳවා ගැනීමට විදුහල්පති ගුණපාල වික්‍රමරත්න මහතා (මාධ්‍යවේදි ධර්මන් වික්‍රමරත්නගේ පියා) වෙහෙසුණා.

එය හරි ගියේ නෑ?

ඔව්! අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල මහතා ඒකට එකඟ වුණේ නෑ.

මොකක්ද හේතුව?

මගේ දේශපාලන මතවාද එතුමට ගැලපුණේ නෑ.

ඉන් පසුව?

මාව සීගිරිය මහ විදුහලට දැම්මා. එතකොට එය පොල්අතු මඩුවක්. එහිදී මා ජීවිතයේ සුවිශේෂ අත්දැකීමක් ලැබුවා.

මොකක්ද ඒ?

කිසියම් අයෙක් සීගිරි අප්සරාවක් විනාශ කළ පුවත මමයි මුලින් ම ලේක්හවුසියට වාර්තා කළේ. එදා ඒ ඛේදවාචකය අදත් ‍මගේ හදවත පාරනවා.

දිනය?

1967 ඔක්තෝබර් 14 දිනයයි ඒ. පසුදා ‘දිනමිණ’ ප්‍රධාන පුවත ලෙස ලොකු අකුරින් පළ කළේ ‘සීගිරිය විනාශයි’ කියලා.

ඔබ පසුව ‍නාලන්දාවට එනවා?

ඔව් ඒ 1968 වසරේ. වික්‍රමරත්න මහත්තයා මාව නාලන්දාවට ගන්නවා.

මේ වසරෙ ම ජීවිතයේ තවත් සුවිශේෂි සිදුවීමක්?

ඔව්! මගේ විවාහය සිද්ධවෙනවා. ඇය ස්වර්ණා සමරරත්න. ස්ටැපඩ් විදුහලේ ආචාරිණියක්. ගම දැරණියගල.

ප්‍රේම සබඳතාවක්?

නෑ! යෝජිත විවාහයක්! විවාහයෙන් පසුව මා ගුරු වෘත්තියෙන් ඉවත්ව ලංකා බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක් විදිහට සේවයට සම්බන්ධ වෙනවා.

දැන් අපි ඔබේ ක්‍රිකට් විස්තර විචාරක දිවිය දෙසට හැරෙමු?.

මා ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ 1970 වසරේදි නන්දා ජයමාන්න මහත්මියගේ මඟ පෙන්වීමෙන්. එහිදි මා මුලින් ම ඉදිරිපත් කළේ ක්‍රීඩා තොරතුරු වැඩසටහනයි.

ඔබ මුලින් ම සජීවී විස්තර විචාරයක් ඉදිරිපත් කරන්නේ?

‍රෝයල් - තෝමියන් තරගයක්. එහිදි විනාඩි පහක කාලයක් මට වෙන් කැර තිබුණා. ඒ විනාඩි පහ අවසන් වෙනවිට ගුවන් විදුලියේ සභාපතිතුමා මට තව විනාඩි විස්සක් දෙන්න කියලා නිෂ්පාදක මඩුල්ලට උපදෙස් දුන්නා.

කවුද ඒ සභාපතිතුමා.

ලිව් විජේමාන්න මහතා.

ඔබේ ක්‍රිකට් විස්තර විචාරක දිවියේ අමතක නොවන තරගය?

නිසැකයෙන් ම එකයි. 1996 පාකිස්තානයේ කඩාපි ක්‍රීඩාංගණයේ සිට කළ ලෝක කුසලානය දිනූ තරගයයි.

මේ වෙන විට ජාත්‍යන්තර තරග කොපමණ ප්‍රමාණයක් විස්තර විචාරය කැර ඇතිද?

අනේ සංඛ්‍යාව මතක නෑ! මෙහේම ලියන්න පළමු ටෙස්ට් තරගය වගෙ ම පනහ, සියය, එකසිය පනහ දෙසීය යන තරග ඒ අතර තියෙනවා කියලා.

අපේ කණ්ඩායමේ එදා සිට අද දක්වා සිටි දක්ෂතම නායකයා කවුද කියා ඇසුවොත්?

දෙකක් නෑ! මගේ පිළිතුර අර්ජුන රණතුංගයි.

විශේෂත්වය?

බොහෝම අපූරු තීන්දු - තීරණ ගත්ත නායකයා ඔහුයි.

අපට සිටි හොඳ ම කණ්ඩායම?

අර්ජුනගේ කණ්ඩායමයි. එවැනි කණ්ඩායමක් මේ කපේදී අපට ලැබෙයි කියලා හිතන්න බෑ.

ඇයි ඔබ එසේ කියන්නේ?

බලන්න 1996 ට පසුව අප කී වතාවක් තරගවලදී අවසන් වටයට එන්න ඇත්ද? නමුත් අප සාර්ථක වුණා ද?

ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරද්දී ක්‍රීඩකයන්ට අමතර වෙනත් චරිත එහෙම තියෙනවද?

ඔව්! එහිදිත් දෙකක් නෑ! ඒ ගාමිණි දිසානායක නාමයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යුග පුරුෂයා ඔහුයි.

පසු කාලයේ ක්‍රිකට් විස්තර විචාරය සඳහා පැමිණි අයගෙන් ඔබට විශේෂිත නම් සඳහන් කළ හැකිද?

ඇයි! බන්දුල සමන් වතුරේගම. ඔහු දක්ෂයෙක්.

අද ක්‍රිකට් විස්තර විචාරය ගැන යමක් කියන්න?

ඒ පැනයට නම් පිළිතුරු දිය නොහැකියි.

ගුවන් විදුලියක කොරිඩෝවේ රූපවාහිනියක් බලාගෙන විස්තර විචාරය කිරීම පිළිබඳව ඔබේ ආකල්පය?

එය අසාර්ථකයි! විස්තර විචාරය සඳහා සජීව ලෙස ක්‍රීඩා පිටියට යා යුතුයි.

අද අපේ ක්‍රිකට් කිසියම් පසු බැසීමකට ලක්වෙලා?

ක්‍රිකට් හරියට අපේ ජීවිත වගේ එක් කලෙක නැගීම් තවත් කාලෙක වැටීම් තිබෙනවා.

නෑ! ඊට එහා ගිය මහ වැටීමක් තිබෙන පාටයි?

ඔබ එසේ කියනව නම් එයට ප්‍රධාන හේතුවක් හැටියට මා දකින්නේ පාසල්වල අවුරුදු 13 න් පහළ 15 න් පහළ 17 න් පහළ ඉඳලා ක්‍රිකට් හැදිය යුතුයි.

ඔබ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ චරිතයක්. ඒ වෙනුවෙන් ඔබට ලැබුණු දෑ?

ජනතාවගේ ආදරය පමණයි. ආ... 1998 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ක්‍රිකට්වලට කළ මෙහෙවර වෙනුවෙන් උපහාර පිදුවා.

එය පාසලකින් කළ උපහාරයක්! මම අහන්නේ...?

ඔව්! මට තේරෙනවා ඔබ අහන්න යන දේ! මේ රටේ සම්මාන උපහාර ලබන්න තමන් කළ කී දේවල් ලියලා අයැදුම්පත් යැවිය යුතුයි. එය මොන විළිිලජ්ජා නැති වැඩක් ද?

මේ සාකච්ඡාව අවසන් කිරීමට පෙර ඔබේ දරුවන් ගැනත් දැන ගැනීමට කැමතියි?

අපට ඉන්නේ දුවයි පුතයි. පුතා භාග්‍ය ඕස්ට්‍රේලියාවේ ගණකාධිකාරිවරයෙක්. දුව අප්සරා එන්ගලන්තයේ පදිංචියි. දෙදෙනා ම විවාහ වෙලා බබාලා ඉන්නවා.

අද ඔබේ දවස ගෙවෙන්නේ?

ආගමට නැඹුරු ජීවිතයක් ගත කරනවා. අපි හැම පෝයකට ම සිල් ගන්නවා. ඊට අමතරව ඉංග්‍රීසි බසින් බෞද්ධාගමික ලිපි ලේඛන ලියනවා. 

Comments