පරපුරක නර්තන මහැදුරු | සිළුමිණ

පරපුරක නර්තන මහැදුරු

• උපන් දිනය ?

1950 මැයි 06

• උපන් ගම ?

අරණායක ගැවිලිපිටිය.

• උප්පැන්නයේ නම ?

බුදවත්තේ යක්දෙස්සලා කුලිසිරි බුදවත්ත.

• දෙමවුපියෝ?

පියා පුංචිගුරු බුදවත්ත

මව ඇල්පිනෝනා

• සහෝදර සහෝදරියෝ?

අයියා, අක්කා සහ මල්ලි

• මුලින්ම අකුරු කළේ ?

උස්සාපිටිය මධ්‍ය මහ විදුහල

• පසුව ?

සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පැමිණියා

• උපාධිය අවසන් කළාට පසුව ?

නෑ ! උපාධිය අවසන් කරන්න ලැබෙන්නේ නෑ

• එහෙනම් ?

ඊට කලින් මට ගුරුපත්වීමක් ලැබෙනවා

• ඒ කොහ‍ාටද ?

මා ඉගෙන ගත් පාසලටම මෙහි විශේෂයක් තියෙනවා

• මොකක්ද විශේෂය ?

මගේ පියත් නැටුම් ගුරුවරයෙක් ලෙස සේවය කළේ මේ පාසලෙයි

• ඔබේ පාසල් කාලයේ ඔබ කොයි වගේ චරිතයක් ද ?

ටිකක් මුරණ්ඩු ගතිත් තිබුණා හැබැයි 9 – 10 ශ්‍රේණිවලට එන ‍ෙකාට ඒවා තිබුණේ නෑ!

• නැටුම,ගැයුම, වැයුම, ඇඹුම ආදී සකල විධ කලාවන්ගෙන් පරතෙරට ගිය පරපුරක් බුදවත්ත පරපුර.

අපේ පරම්පරාව යුගයෙන් යුගයට ඒ කලාවන් රැකගෙන ආවා

• ඔබේ මුතුන් මිත්තන් පිළිබඳ මතක් කළොත් ?

බුදවත්තේ පුංචිකිරා ගුරු ගණිතා ගුරු, පුංචිගුරු සහ ඩිංගිත්තා ගුරු පරපුරේ මගේ පියා පස්වෙනියා එයත් බුදවත්ත පුංචිගුරු

• ඔබේ පරපුරෙන් විදේශවල පවා ප්‍රචලිත වෙන්නේ ඔබ ?

නෑ මගේ පියා වසර තුනක් පමණ ජර්මනියේ ගත කර තිබෙනවා.

• ඒ කොහොමද ?

ඒ කාලයේ ජර්මනියේ නැටුම් සර්කස් කණ්ඩායමක් ලංකාවට ඇවිත් තිබෙනවා මගේ පියාත් ඒ අය සමඟ සම්බන්ධ වී රට වටේ ප්‍රසංග සඳහා ගොස් තිබෙනවා.

• ඒ අය සමඟ ද පියා ජර්මනියට යන්නේ ?

ඔව් ! ඒ අය ජර්මනියේ ප්‍රසංග සඳහා පියාත් රැගෙන ගොස් තිබෙනවා.

• නර්තනය ඔබට ලේ වලින් ආ දෙයක්

ඔව් ! මා කුඩා අවධියේ අම්මගේ හැට්ට ඇඳගෙන තාත්තගේ බඳ පටියක් බැඳගෙන නටන හැටි මගේ මතකයේ තිබෙනවා.

• උස්සාපිටිය විදුහලේ නර්තන ආචාර්යවරයා වෙන ඔබ ජාත්‍යන්තරය දක්වා ගිය ගමන කියන්න ?

ගාලු මුවදොර පිටියේ ඒ දවස්වල වාර්ෂික ප්‍රසංගයක් පැවැත්වුණා එහිදි මමත් මගේ අක්කත් යුගළ නර්තනයක් ඉදිරිපත් කළා

• ඉතිං?

ඒ ප්‍රසංගය බලන්න ආපු එවකට ජාතික තරුණ සේවා සභාවේ සභාපති චරිත රත්වත්තේ මහතා මගේ නර්තන දැක මට තරුණ සේවා සභාවට බැඳීමට ආරාධනා කළා.

• කවුරු හැටියටද ?

අපි හොඳ නැටුම් කණ්ඩායමක් හැදීමට අදහස් කරගෙන ඉන්නවා එය බාරගෙන ඒ කටයුත්ත කැර දෙන්න කිව්වා.

• ඔබ ඒ අභියෝගය බාර ගත්තා !

ඔව් ! මා ගුරු වෘත්තියේ සිටියදීම තරුණ සේවා සභාවට අනුයුත්තව ඉතා දක්ෂ සිසුන් පිරිසක් බඳවාගෙන හොඳ නැටුම් කණ්ඩායමක් හැඳුවා.

• විදේශ සංචාර ?

ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක සංචාරය කළා හරියට ගණන මතකනම් නෑ. රුසියාවට පමණක් සිවු වතාවක් ගියා.

• මේ සංචාරවලදී රසවත් සිදුවීම් බොහෝ ඇති ?

අ‍පෝ ඔව් !

• එකක් කියන්න ?

මේක රුසි‍යාවේ දී වුණ වැඩක් කොහොඹ යක්කංකාරි ප්‍රදර්ශනය කැර ඒ එක්කම ජසයා, ලෙන්චිනා කෝලම පෙන්වීමට තිබුණා. ඉතිං ඒ සඳහා අප ඉක්මනින් ඇඳුම් මාරු කැර ගත යුතුයි.

• ඔබ මොකක්ද මේ කෝලමේ කළ චරිතය ?

මා විදානෙගේ චරිතය කළා. සේන එලමල්දෙණිය මිතුරා හෙංචගේ චරිතය කළා.

• ඉතිං ?

කවුද අපේ මිතුරෙක් හෙංචගේ හා විදානගේ වෙස් මුහුණු මාරු කරලා අපිට මුහුණු දිහා බල බලා අදින්න වෙලාවක් නෑනේ.

• හරි ජංජාලයක් ?

ජංජාලයක්ද කියන්නේ දැන් අපි දෙන්නා වේදිකාවේ . මට මගේ වෙස් මුහුණ අස්සෙන් පෙනෙනවා හෙංචා දාගෙන ඉන්නේ විදානගේ මුහුණ කියලා. ෂුවර් එකට මට හිතුණා මා දාගෙන ඇත්තේ හෙංචගේ මුහුණ කියල.

• ඔබ මොකද කළේ ?

මා එක්වරම මගේ මුහුණ ගලවා අතට අරගෙන හෙංචෙ ගලවපිය තොගේ මුහුණත් කිව්වා!

• ඔහු මුහුණ ගැලෙව්වද ?

ඔව් ! ඊට පස‍්සේ මා කිව්වා දීපිය ඔය මුහුණ මට මෙන්න මේක උඹ දා ගනිං කියා මා අත තිබුණ මුහුණ දුන්නා. කොහොම හරි නාට්‍යානු සාරයෙන්ම වැඩේ ගොඩ දා ගත්තා.

• රුසියාවේ සිද්ධ වූ නිසා මෙය ඒ අයට තේරෙන්න නැතිව ඇති ?

නෑ ! ලුමුම්බා සරසවියේ ඉගෙනු ලබන ලංක‍ාවේ සිසුන් විශාල පිරිසක් එහි ඇවිත් සිටියා. ඔය වගේ සිදුවීම් වෙනවා. (සිනා)

• ඔබ තරුණ සේවා සභාවෙන් ඉවත් වෙනවා ?

ඔව් මා කල්පනා කළා රජයේ සේවයේ ඉදිමෙන් ඵලක් නෑ මගේ ම දෙයක් පටන් ගන්න ඕනෑ කියලා ඒ අනුව මා සව්සිරිපායේ බුදවත්ත රංගායතනය පටන් ගන්නවා.

• සිසුන් කොපමණ සිටියද ?

හැටක් හිටියා ! එහි ප්‍රථම ශිෂ්‍යාව වූණේ ප්‍රවීණ නිළි මාලනි ෆොන්සේකා.

• ඔබ රාජ්‍ය නැටුම් කණ්ඩායමටත් සම්බන්ධ වෙනවා එහි ප්‍රධානියා විදිහට.

මා ඔබට එහිදි සිදු වූ කතාවක් කිව යුතුයි.

• කියන්න ?

රාජ්‍ය නැටුම් කණ්ඩායමේ 19 දෙනෙකුට විදේශ ප්‍රසංගයක් සඳහා යා යුතුව තිබුණා. පසුව මේ පිරිස 15 ක් වෙලා ඒ වෙනුවට රජයේ නිලධාරීන් හතරක් ආදේශ වෙලා.

• ඉතිං ?

මා තදබල ලෙස විරෝධය පළ කළා මා කිව්වා ඒ හතර දෙනාට ගිහින් මේ ප්‍රසංගය කරලා එන්න මා යන්නේ නෑ කියා.

• ඊට පස්සේ මොකද වුණේ ?

මා මගේ විරෝධය ඇමතිතුමා දක්වා රැගෙන ගියා.ඇමතිතුමා ඒ පිරිස නැවැත්තුවා.

ඔන්න නිලධාරින් කරන දේවල් නැටුම් ශිල්පීන් හතර දෙනකුගේ අවස්ථාව කූඨ ලෙස පැහැර ගන්න ගියා.

• අප අසා ඇති පරිදි ඔබ එවැනි අකටයුතුකම් වෙනුවෙන් නිර්භිතව පෙනි සිටි තිබෙනවා.

මා එසේ කළා නම් කළේ මේ රටේ නර්තන කලාව වෙනුවෙන් හා නර්තන ශිල්පියා රැක ගැනිම සඳහායි.

• ඔබේ සිනමා සම්ප්‍ර‍ාප්තිය පිළිබඳවත් මතක් කරන්න ?

මා චිත්‍රපට කිහිපයක නර්තනයන් ඉදිරිපත් කර තිබෙනවා.

• නැ ! නැටුම් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ?

හැත්තෑ පහකට අධිකයි.

• කිපයක් මතක් කළොත් ?

කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, මුවන් පැලැස්ස.

• ඔබේ ප්‍රථම විදේශ සංචාරය ආරම්භ කෙරෙන්නේ ඔබ හිරිමල් යෞවනයකුව සිටි අවධියෙයි ?

ඔව් ! ඒ 1974 සැප්තැම්බර් මාසයේ.

• ප්‍රථම සංචාරයම සුවිශේෂි වෙනවා ?

ඔව් ! අප කණ්ඩායම ඉදිරිපත් කළ ප්‍රසංගය නැරඹීමට පකිස්ථාන අගමැති අලි භූ‍තෝ මහතා සහ ශ්‍රී ලංකා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පැමිණියා. ප්‍රසංගය පැවතියේ රාවල් පිණ්ඩි නුවරයි. මේ ප්‍රසංගය ඔවුනගේ ඇගැයුමට ලක් වුණා.

• වයස අවුරුදු හතේදී සිය පියා වෙතින් නැටුම් කලාවට අත් පොත් තබන ඔබට පසු කාලයෙත්හොඳ ගුරු පිරිස‍කගේ ඇසුර ලැබෙනවා ?

ඔව් !

• කවුද ඒ ගුරුවරු ?

ඩබ්.බී මකුලොලුව,චිත්‍රසේන,පණීභාරත, ශේෂා පලිහක්කාර වැනි ප්‍රවීණයන්

• ඔබ පැමිණි ගමන් මඟ ආපසු හැරී බැලුවොත්

ඉතාමත් සතුටුයි මගෙන් ඉගෙනගත් දරුවන් නර්තනයෙන් ඉහළ තැන්වල සිටිනවා.

• නම් කිහිපයක් සඳහන් කරන්න ?

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් වෙන කරුණාරත්න බණ්ඩාර, රංජිත් ජයසිංහ ඒ වගේම ප්‍රකට නර්තනවේදි චන්දන වික්‍රමසිංහ වැනි අය.

• අද නර්තනය ගැන යමක් කියන්න ?

ඇතැම් අයගේ ක්‍රියා කලාපයන් ගැන කියන්න කනගාටුයි.

• ඇයි ඒ ?

නැටුම ‘මොඩර්න්’ කළ යුතුයි කියා අපේ ජීවය බඳු නර්තන කලාව විනාශ කරනවා.

• ඔබ කියන්නේ නැටුම නවීකරණය විය යුතු නෑ කියලද ?

නෑ ! එය විය යුත්තේ අපේ කම ඇතුළෙයි.

• ඒ කියන්නේ ?

නැටුම නවීකරණය කළ යුතුයි කියා අද කරන්නේ අපරදිග සංස්කෘතික ලක්ෂණ අපේ නැටුමට එක් කරන එකයි. ඒක ජාතියට කරන මහ අපරාධයක්

• ඔබට වේදනාවක් තිබෙනවා ?

ඔව් ! බරපතළ වේදනාවක් තිබෙනවා කෙටියෙන් ම කියනවානම් නැටුම නවීකරණය කරනවා කියා. නැටුමෙන් හිඟාකන පිරිසක් බිහි වෙලා.

• මේ පිරිසට ඔබට කියන්න යමක් ඇති ?

ඔව් ! මා ඔය කිව්ව තත්ත්වයට පත් නොවි අපේ සංස්කෘතිය ලෝකය තුළ සලකුණු කිරීමට උත්සුක වෙන්න කියන එකයි මා ඉතාමත් ඕනෑකමින් කියන්නේ.

• අවසන් වශයෙන් මා ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ටිකක් දැනගන්න කැමතියි ?

මා විවාහ වෙන්නේ 1986 දී . ඇය නේමාලි බුදවත්ත

• ප්‍රේම සම්බන්ධතාවක් ?

මා තුළ උපන් ප්‍රේමයක්

• ඒ කතාව කියන්න ?

පණිභාරත මහත්ත‍යගේ “ගම්මානේ මල් පිපිලා” නාට්‍යයෙදී තමයි මා ඇය මුලින්ම දකින්නේ ඒ දුටුව දවසේම මට හිතුණා මට ගැළපෙන කෙනා මෙයා තමයි කියලා.

• ඇයි එහෙම හිතුණේ ?

කඩිසරයි - පිළිවෙළයි, දක්ෂකමයි මේ සියල්ල මා ඇය තුළින් දුටුවා.

• ඔබේ අදහස කිව්වා ?

ඔව් ! එයා කිව්වා දෙමවුපියන්ගෙන් අහන්න කියලා මා ඇසුවා ඉන් පසුව දෙපැත්තේ ආශිර්වාදය මැද ඉක්මනින් අප විවාහ වුණා.

• දරුවෝ ?

අපට ඉන්නේ එක පුතයි ඔහු රංගන රන්සිළු බුදවත්ත ඔහු විවාහ වී සිටින්නේ අශිනි දියණිය සමඟයි.

• පුතත් ඔබේ අඩි පාරේ යයිද ?

ඔහු තමයි රංගායතනයේ කළමනාකරණ කටයුතු කරන්නේ හැබැයි ඔහු ගුවන් නියමුවරයෙක් හැටියට අධ්‍යාපනය ලබා තිබෙනවා.

බිරිය ?

ඇය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නර්තනාචාර්ය වරියයි.

Comments