උතුරු කොරියානු සුරූපිනියෝ දකුණට ගෙනා පණිවිඩය | සිළුමිණ

උතුරු කොරියානු සුරූපිනියෝ දකුණට ගෙනා පණිවිඩය

වෙනදාට දකුණ පමණක් නොව ලොවම උණුසුම් කරන පුවත් මැවූ උතුරේ නියෝජිතයින් ශීත ඔලිම්පික් උළෙලට පෙර දකුණට නෑ ගමන් ආවේය. කිසිවකුත් නොසිතූ ලෙස දීගය හරි යන ළකුණු පහළ වින. ඒ අනුව මෙම උළෙල සඳහා උතුරේ ඉහළම මට්ටමේ නිලධාරියකු දකුණට එන බව නිවේදනය කෙරිණ. ඒ අතර උතුරත් දකුණත් එක ධජයක් යට තරග වදින්නට එකඟතාවයක් සිදු වුණි. මේ සියල්ල සිදු වන්නේ දින කිහිපයක් තුළ වීම විශේෂත්වයකි.

වෙනදාටත් වඩා ජාත්‍යන්තර අවධානය ශීත සෘතු ඔලිම්පික් උළෙල වෙත යොමු වන්නට පටන් ගත්තේ එය ආරම්භ වීමට දින කිහිපයකට පෙර සිටය. දකුණු කොරියාවේ දී ශීත සෘතු ඔලිම්පික් උළෙල ඇරඹුණේ පසුගිය 09 වැනි දාය. එහෙත් ඒ සුපුරුදු පරිදි නොවේ.

වෙනදාට දකුණ පමණක් නොව ලොවම උණුසුම් කරන පුවත් මැවූ උතුරේ නියෝජිතයින් ශීත ඔලිම්පික් උළෙලට පෙර දකුණට නෑ ගමන් ආවේය.

කිසිවකුත් නොසිතූ ලෙස දීගය හරි යන ළකුණු පහළ වින. ඒ අනුව මෙම උළෙල සඳහා උතුරේ ඉහළම මට්ටමේ නිලධාරියකු දකුණට එන බව නිවේදනය කෙරිණ. ඒ අතර උතුරත් දකුණත් එක ධජයක් යට තරග වදින්නට එකඟතාවයක් සිදු වුණි.

මේ සියල්ල සිදු වන්නේ දින කිහිපයක් තුළ වීම විශේෂත්වයකි.

නින්දෙන් අවදි වුවාක් මෙන් උතුරේ දඩබ්බරයා ගන්නා තීන්දු තීරණ දෙස ලොවම මවිතව බලා සිටින්නට විය. දඩබ්බර කිම් ජොන්-අන් සිය සුරූපි නැගණිය දකුණට පිටත් කර යවන්නේ තව දුරටත් ලොව මවිත කරවමිනි. ඇය කිම් යො- ජොන්ග් ය.

ක්‍රීඩකයින් විසිදෙදෙනෙකුට අමතරව ජයඝෝෂා නගන්නන් හා වාද්‍ය වෘන්දයක් ද ඇතුළත් නියෝජිතයින් 400 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද සමග ඇය දකුණේ මිතු දම සොයා පැමි‍ණියේ එලෙසිනි.

සිය සහෝදරයාට ඉතාමත් සමීපයැයි පැවසෙන කිම්, පසුගිය වසරේදී එරට බලසම්පන්න දේශපාලන මණ්ඩලයට උසස් කෙරිණි. උතුරු කොරියාවේ මානව හිමිකම් උල්ලංඝනයට අදාළව ඇය ඇමෙරිකාවේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර සිටී. ශ්‍රමිකයින්ගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක සිට පසුගිය වසරේදී දේශපාලන මණ්ඩලයට උසස්වීම් ලද කිම් යෝ-ජොන්ග්, දේශසීමාව හරහා දකුණට යන කිම් පවුලේ පළමු සමීපතම සාමාජිකයා වේ.

කොරියානු රාජ්‍ය දෙක අතර සබඳතාව වර්ධනය වෙමින් පවතින අවස්ථාවක මෙම ක්‍රීඩාමය රාජ්‍යතාන්ත්‍රිකභාවය මතුවුව ද එය කලාපය තුළ පවතින නොසන්සුන් තත්ත්වය අවසානයක් කරා යොමු නොකරන බවට මත පළ වන අතර අමෙරිකාවේ, ජපානයේ මෙන්ම අනෙකුත් පාර්ශ්ව මෙම තත්ත්වය දකින්නේ උතුරු කොරියාව 'ප්‍රචාරණ වැඩපිළිවෙලක්' උදෙසා ක්‍රීඩා උළෙල යොදාගන්නා ආකාරයකි.

1987 වසරේ උපත ලබන්නට ඇතැයි විශ්වාස කෙරෙන ඇය නැසී ගිය නායක කිම් ජොන්ග්-ඉල් ගේ බාල ම දියණිය මෙන්ම එරට වත්මන් නායක කිම් ජොන්ග්-අන් ගේ ම සොයුරිය වන්නීය.

සිය සොයුරාට වඩා වසර හතරක් පමණ බාල වූ ඇය ඔහුට වඩාත් සමීප බව කියැවේ. ඇය, චෝර් යොන්ග්-හේ නම් වූ පක්ෂයේ බලසම්පන්න ලේකම්වරයාගේ පුතු සමග විවාහ වී සිටින්නේ යැයි වාර්තා වේ.

මෑත වසර කිහිපයක සිට කිම් යෝ-ජොන්ග්, වරින් වර අවධානයට ලක්වූ තැනැත්තියකි. පක්ෂයේ ප්‍රචාරණ අංශය තුළ දරනු ලබන භූමිකාව හරහා සිය සොයුරාගේ ප්‍රතිරූපය නංවාලීම ඇයගේ ප්‍රධාන රාජකාරිය වී ඇත.

දකුණු කොරියාවට පැමිණි කිම් ජොන්ග්- අන් ගේ නැගණියට දකුණේ දී හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි. දකුණු කොරියානු ජනාධිපතිවරයාට උතුරු කොරියාවේ සංචාරය කරන ලෙසට කිම් ජොන්ග්-අන් ගේ අත් අකුරින් ලියන ලද ආරාධනා පත්‍රය සෝල් නුවර ජනපති නිල නිවසේදී ජනපති මූන් ජේ-ඉන් වෙත බාර දෙනු ලැබුවේ ඇය විසිනි.

ඇ‍යගේ දකුණේ සංචාරය පිළිබඳව මත පළ කරනවුන් ප්‍රකාශ කරන්නේ කිම් යෝ-ජොන්ග් යනු උතුරේ මහජන සම්බන්ධතා රැජිණ බවයි. මෙම ගමනේ දී ඇය උත්සාහ කළේ දකුණේ මිතු දම් තර කිරීමටත් වඩා මාධ්‍ය අවධානය උතුරට යොමු කර ගැනීම බව තවත් අදහසක් විය. ඔවුන් ඉතා පියකරු යුවතියන් දකුණට එව්වේ ද ඒ අරමුණෙන් ම බව උඩින් බලන අයකුට පෙනේ. ‘ඔබ උතුරට පැමිණිය හොත් මීටත් වැඩිය දේ ඇත‘යන්නට ඔවුන් සාක්ෂි දරයි. එහෙත් ඒ සුරූපිණියන් දෙස විමසිලිමත් වන අයකුට ඔවුන් හැසිරෙන්නේ ස්වාධිනව ද යන පැනය මතුවේ. ඔවුන් නිරන්තරයෙන් තවක් අයෙකුගේ නිරීක්ෂණය යටතේ පසුවන බව ඒ දෙනෙත් සැඟවීමට උත්සාහ කරයි.

"ජයඝෝෂා නගන්නන් දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේ ඇති වූ වැස්සෙන් ප්‍රධාන ධජයේ තිබූ කිම් ජොන්-ඉල් ගේ ඡායා රූපය තෙමෙන්න ගත්තා. මුළු කණ්ඩායමම එක වර බියට පත් වෙලා බස් රථයෙන් එළියට ආවා. වට වෙලා ඒ ඡායාරූපය වැස්සෙන් ආරක්ෂා කරන්න උත්සාහ කළා. ඇත්තෙන්ම දකුණු කොරියානුවන් මවිතයට පත් වුණා. ඒක හරියට ආගමක නීතියක් ව‍ගේ"

ඔවුන් ගේ ක්‍රියාකාරීත්වය පිටතින් සිට බලන්නකු මවිත කරයි. මේ වගක් සඳහන් නොකරන දේශපාලන විද්‍යාඥයකු වන ඉයන් බ්‍රෙමර් ට්විටර් හි සටහනක් තබමින් කියා සිටින්නේ " උතුරු කොරියානු ජය ඝෝෂා නගන්නන් කණ්ඩායම සැබැවින්ම සුරූපියි. එහෙත් ඔවුන් අපරාධ රෙජීමයක ප්‍රාණ ඇපකරුවන්. ඔලිම්පික් හිදී අප දකින ශෝකජනකම දේ එයයි"

උතුරට ගිය තම නැගණිය ආපසු පැමිණි අවස්ථාවේ කිම් ජොන්ග්- අන් ඇයව පිළිගත්තේ දැඩි උද්යෝගයකිනි. ඔහුගේ ඒ උද්යෝගයේ තිබුණේ සිය බලාපොරොත්තු ඉටු වූ බවකි. ඒ බලාපොරොත්තුව කුමක්ද? එය දන්නේ ද කිම් ජොන්ග්- අන් මය. කෙසේ වුවත් කිම් යො- ජොන්ග් උතුර බලා නැවත පැමිණියාට ඇය සමග සංචාරයට එක් වූ අනෙක් සුරූපිණියන් තවමත් දකුණේය. ශීත ඔලිම්පික් උළෙළ අවසන් වන්නේ පෙබරවාරි 25 වැනිදා බැවින් බොහෝ විට ඔවුන් ඒ දක්වා එහි රැඳී සිටිනු ඇත. එසේ නොමැති නම් ඊටත් වැඩි කලක් එහි රැඳෙනු ඇත. එසේත් නැති නම් සිය නායකයාගේ අණ අකුරටම ඉටු කළ පිරිසක් ලෙස නැවත උතුරට ගාල් කෙරෙණු ඇත. ඒ දකුණේ බොහෝ රහස් තොරතුරු ද සමගින් වනිය හැකිය.

 

Comments