ශීත සෘතු ඔලි­ම්පික් සිසි­ලෙන් යට­පත් වූ කොරි­යානු ගින්න | සිළුමිණ

ශීත සෘතු ඔලි­ම්පික් සිසි­ලෙන් යට­පත් වූ කොරි­යානු ගින්න

“දේශපාලනය ක්‍රීඩාවට මැදිහත් වීම් නොකළ යුතුයි. එහෙත් ක්‍රිඩාව දේශපාලනයට බලපෑම් සිදුකරයි“. - ව්ලැදිමීර් පුටින්

අන්තර්ජාතික සබදතාවලදී ක්‍රීඩාව යනු වැදගත් කාර්යභාරයක් ඉටුකරන ක්ෂේත්‍රයකි. දෙරටක් අතර මානව සබදතා නැංවීම, තාක්ෂණික සහයෝගීතාව, ව්‍යාපාරික අරමු ණු හා හුදෙක් විනෝදාස්වාදය තුළින් උණුසුම් තත්ත්වයන් සමනය කිරීම යන කරුණු අන්තර්ජාතික සබදතා ක්ෂේත්‍රය තුළදී ක්‍රීඩාව මගින් ඉටුකෙරේ. මෑත ඉතිහාසයේ වඩාත්ම සුප්‍රකට ක්‍රීඩා හා අන්තර්ජාතික දේශපාලනික සබඳතා සදඳහා වඩාත්ම ප්‍රශස්ත උදාහරණය වන්නේ 1970 දශකයේ අමෙරිකා එක්සත් ජනපදය හා මහජන චීනය අතර ඇතිවු “පිං පොං රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයි (ping pong diplomacy). 1971 දී අමෙරිකානු හා චීන මේසපන්දු ක්‍රිඩා කණ්ඩායම් අතර ජපානයේ පැවති ලෝක ශූරතා තරගාවලියේදි සබඳතාවක් ගොඩනැගිනි. ඒ අමෙරිකාව හා කමියුනිස්ට් මහජන චීනය එකිනෙකා කෙරෙහි දැඩි සැකමුසු එදිරිවාදි ආකල්පයකින් පසුවු හා චීනයට එරෙහිව අමෙරිකානු සම්බාධක ක්‍රියාත්මක වු හා අන්තර්ජාතික තලයේදී අමෙරිකාව කිසිදු විටෙක මහජන චීනය පිළිනොගෙන තායිවානය නියම චීන සමුහාණ්ඩුව ලෙස පිළිගත් යුගයකි. ජපානයේදී ඇතිකරගත් සබදතා මුහුකුරා යාමක් ලෙසින් එම වසරේදීම අමෙරිකානු මේස පන්දු කණ්ඩායමක් මහජන චීනයේ චාරිකා කළේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ චීනයට එරෙහිව 1949 සිට ක්‍රියාත්මක වු අමෙරිකානු සම්බාධක ඉවත්කිරීම, මහජන චීනයේ අන්තර්ජාතික හුදෙකලා බව( බටහිර ලෝකය විසින් ක්‍රියාත්මක කරන ලද) අවසන් වීම හා අමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් චීනයේ චාරිකා කරමින් ඓතිහාසික සබදතාවලියක් ඇරඹීමයි. බටහිර ලෝකය විසින් එතෙක් චීනය ලෙස තායිවානයට ලබාදී තිබු පිළිගැනීම අවසන් කිරීමේ සංසිද්ධියටද පිං පොං රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියෙන් ලැබුනේ ඉමහත් පිටිවහලකි.

මේ පූර්විකාව තුළින් මෙවර විදෙස් සටහන යොමුවන්නේද ක්‍රීඩාව පදනම් කරගත් අපූරු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලියක් දෙසටයි. 2017 වසරේ මැද සහ අග භාගයන්හිදි ලෝකයේ නැගෙනහිර දෙසින් මහා යුද තර්ජනයක් ඉස්මතු වූයේ එය තුන්වැනි ලෝක යුද්ධය බවට පරිවර්තනය වෙතැයි ඇතැම් පාර්ශව ඉස්මතුකළ බිය ජනක තර්ක විතර්ක මාලාවයි. ඊට සාධාරණ හේතු පැවතුනේ උතුරු කොරියාව දිගින් දිගටම යුද අභ්‍යාසවල නිරත විම, මිසයිල අත්හදා බැලීම හා සිය ඉතිහාසයේ වඩාත්ම සාර්ථක න්‍යෂ්ටික අත්හදාබැලීම සිදු කිරීමයි. පසුගාමී හුදෙකලා ස්ටාලින්වාදී දේශපාලනික ව්‍යුහයකින් යුත් රාජ්‍යයක් ලෙස සැලකෙන උතුරු කොරියාව ඉතා දියුණු මිසයිල පද්ධතියක් තමන් විසින්ම නිපදවා ගැනීමට සමත්වීම, ඔවුන්ගේ දිගු දුර මිසයිල අමෙරිකා එක්සත් ජනපදයේ සෑම නගරයකට ලඟා විය හැකි ආකාරයේ සාර්ථක භාවයක් අත්කරගැනීම, ප්‍රබල භූමිකම්පාවකට සමාන බලපෑමක් ඇති න්‍යෂ්ටික අත්හදාබැලීමක් සාර්ථකව සිදුකිරීමට තරම් තාක්ෂණයක් අත්පත් කරගැනීම හා අන්තර්ජාතික ක්‍රියාමාර්ග හමුවේ ඉතා දැඩි - අත්තනෝමතික ආකාරයෙන් ක්‍රියා කිරීම නිසා එරටින් එල්ල වන ආරක්ෂක තර්ජනය කෙරෙහි ආසියානු බලවතුන් පමණක් නොව අමෙරිකාවද දැඩි විමසිල්ලෙන් පසුවිය. 2017 සැප්තැම්බර් මාසය වනවිට උතුරු කොරියානු නායක කිම් ජොං අන් හා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඉතා බරපතල වාග් යුද්ධයක් හටගත්තේද ආරක්ෂක තර්ජන මුල්කරගනිමින් එකිනෙකාට එරෙහිව සිදුකළ ප්‍රකාශ දරුණු අතට හැරීම හේතුවෙනි. රොකට් මිනිසා, අවිචාරවත් මහල්ලා හා ගින්නෙන් පිළිතුරු දීම වැනි වචන ඊතල මෙන් දෙපාර්ශවය අතර හුවමාරු වුයේ ලෝකයම යුද බියක් පිළිබඳ දැඩි කුකුසකට පත්කරමිනි. ඉන් නොනැවතුනු උතුරු කොරියාව තමන් සතු බැලස්ටික මිසයිල දකුණු කොරියාවට හා ජපානයට ඉහලින් පියාසර කරවා එම රටවල දැඩි භීතියක් ජනිත කරවීය. යුද තර්ජනවලට අමතරව අමෙරිකාව හා සෙසු බලවත් රටවල් උතුරු කොරියාව සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ දැඩි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබිණ. 2017 වසර අවසන් වෙද්දී උතුරු කොරියාවේ සියලු ක්ෂේත්‍ර හා ප්‍රබල පුද්ගලයන් ඉලක්ක කරගත් සම්බාධක මාලාවක් එළිදැක්වුයේ උතුරු කොරියාව පමණක් නොව එරට සමග ගණුදෙනු කරන රටවල් බොහොමයක්ද බරපතල අපහසුතාවකට පත්කරමිනි. සම්බාධක ඉතා දැඩිවූ අතර විශේෂයෙන් ඛණිජ තෙල් සහ සෙසු බලශක්ති ප්‍රභව ආනයනය තහනම් කරමින් පනවා ඇති අන්තර්ජාතික සම්බාධක ක්‍රියාවලිය උතුරු කොරියාවේ ආර්ථිකයට ඉතා අහිතකර බලපෑමක් එල්ල කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ක්‍රියාත්මක වූ සම්බාධක නිසා උතුරු කොරියාව සමග ඉතා සමීපව ගණුදෙනු කළ චීනය වැඩි රටවලට දැඩි අපහසුතා වලට මුහුණ පෑමට සිදුවූයේ එක්සත් ජාතීන්ගේ රෙගුලාසි වලට පටහැනි විය නොහැකි නිසාවෙනි.

සම්බාධක හා යුද තර්ජන පැවතියද උතුරු කොරියානු නායකයා 2018 වසර උදාව වෙනුවෙන් කළ දේශනයේදී කියා සිටියේ දකුණු කොරියාව සමග සාමයට තමන් සුදානම් බවයි. මෙය දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ගේ කණට මී පැණි වත්කලා හා සමාන තත්ත්වයකි. අප කතාකිරිමට අපේක්ෂා කරන ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය ඇරඹෙන්නේ රාජ්‍ය නායකයන් අතර ඇතිවූ නව සාමකාමී ස්ථාවරයත් සමගයි. එය මෑත කාලීනව අන්තර්ජාතික තලයේ දුටු සංහිදියාව පිළිබඳ හොඳම උදාහරණයයි. ඊට පදනම් වූයේ දකුණු කොරියාවේ පියොං චෙං හි පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් තරගාවලියයි. ඊට උතුරු කොරියාවට වහා ඇරයුම් කිරිමට දකුණු කොරියාව පියවර ගත්තේ හොඳ හිත ඵල කිරීමේ පියවරක් වශයෙනි. උතුරු කොරියාවද වහා එම ඇරයුම පිළිගෙන ඉහල පෙළේ නිරික්ෂණ කණ්ඩායමක් දකුණු කොරියාවට එවීය. මේ සම්බන්ධතාව කොතරම් දුරදිග ගියාදැයි කිවහොත් දෙරට ඔලිම්පික් සමාරම්භක උත්සවයේ ගමන් කළේ එකම කණ්ඩායමක් ලෙස එකම විශේෂ ධජයක් යටතේය. එමෙන්ම විවිධ තරග සඳහා දෙරට ඒකාබද්ධ කණ්ඩායම් ඉදිරිපත් කළේය. උදාහරණයක් වශයෙන් අයිස් හොකී ක්‍රීඩාව සඳහා උතුරු දකුණු කොරියා ඒකාබද්ධ කාන්තා කණ්ඩායමක් ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් ජපානය හා තරග වැදුණු අවස්ථාව කොරියානුවන් උතුරු දකුණු බේදය නොතකා එක්සත් කළ අවස්ථාවක් විය. ඒ මන්ද ඉතිහාසයේ පටන් කොරියානුවන් හා ජපාන ජාතිකයන් අතර පැවති එදිරිවාදි ආකල්පයයි. ජපාන කණ්ඩායමට එරෙහිව ඔවුන් ගෝල 4-1ක් වශයෙන් පරාජයක් ලැබුවද ක්‍රිඩිකාවන් රැස් කළ එකම ගෝලයද ඉතා විශිෂ්ට දස්කමක් සේ සලකා උතුරු මෙන්ම දකුණු කොරියානු ජාතිකයන්ද එකම හැඟීමෙන් ජයගෝසා කරනු දක්නට හැකිවිය. එය උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන ගැන නිරන්තර විමසිල්ලෙන් හා කණස්සල්ලෙන් පසුවන ජපානයට සිත් තැවුලක් ගෙන දුන් සිදුවීමක් සේ සැළකේ.

ඊට අමතරව උතුරු කොරියාව ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය සඳහා ඉහළම රාජ්‍ය නියෝජනයක් සිදු කළේය. එරට නාමික රාජ්‍ය ප්‍රධානියා හෙවත් පාර්ලිමේන්තු ප්‍රධානියා වන කිම් යොං නාම් හා උතුරු කොරියානු නායක කිම් ජොං අන් ගේ බාල සහෝදරිය වන කිම් යෝ ජොං සමාරම්භක උළෙලේ අමුත්තන් ලෙස සහබාගි වූහ. උතුරු කොරියානු පාලක පවුලේ සාමාජිකයෙක් දකුණු කොරියාවේ චාරිකාවක යෙදුණු ප්‍රථම වතාව මෙයයි. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් උතුරු කොරියානු අමුත්තන් ඉතා ඉහළින් පිළිගත් අතර උත්සවයට සහබාගි වූ අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් උතුරු කොරියානු අමුත්තන් මගහැර යාමට උත්සුක විය.

මේ සියලු සිද්ධි දාමය විශ්ලේෂණය කිරීමේදි අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් වෙයි. ප්‍රධාන වශයෙන් උතුරු කොරියාව යුද බෙර වයමින් සිට හදිසියේ සාමය කරා යොමුවූයේ ඇයි. සැබැවින්ම ඔවුන්ට යුද්ධයක් මේ අවස්ථාවේ අවශ්‍ය නොවන නිසාය. න්‍යෂ්ටික අවි බලය තරකරගත් පසු උතුරු කොරියාව සෙසු ලෝකය සමග සමතයකට එළැඹීමට උත්සාහ දරන බවක් පෙනේ. එමෙන්ම අමෙරිකාවෙන් එල්ල වන යුද තර්ජනයක් වළක්වා ගැනීමටද උතුරු කොරියානු නායක කිම් ජොං අන් ට අවශ්‍යව ඇති බව පෙනේ. ඒ සඳහා ඔහු යොදාගන්නා හොදම අවිය දකුණු කොරියාව හා සම්බන්ධතා නැංවීමයි. එය පහසු කරුණකි මන්ද 1953 සිට යුදමය වශයෙන් සටන් විරාම සම්මුතියක් හෝ නොමැතිව මේ බෙදී සිටින්නේ එකම ජාතියක් නිසාය. උතුරේ වැසියන්ගේ ඥාතිහු දකුණේ ජිවත් වෙති. දකුණේ වැසියන්ගේ ඥාතීහු උතුරේ ජීවත් වෙති. මේ ලේ සබඳකම යම් සම්මුතියකට එලඹීමට පහසුවක් ගෙන දෙයි. එමෙන්ම ඉතිහාසය පුරාම උතුරු කොරියාව රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රම ශීලී මෙහෙයුම් සදහා ප්‍රසිද්ධියක් උසුලයි. අවශ්‍ය විටක ලං වීමටත් අනවශ්‍ය වු විට තර්ජනාංගුලිය ඔසවා ඈත්වීමටත් උතුරු කොරියාව දක්ෂතාවක් පෙන්නුම් කරන අතර ඒ සඳහා වන කාල වකවානු ගැනද හොඳ අවබෝධයකින් පසුවෙයි. අන්තර්ජාතික සම්බාධක වලින් එල්ල වන බලපෑම අවම කරගැනීමද තවත් අපේක්ෂාවකි. ඛණිජතෙල් තහනම වැනි බරපතල සම්බාධක නිසා උතුරු කොරියානු ආර්ථිකය දැනටමත් අහිතකර ප්‍රතිඵල අත්විදිමින් සිටී. මෙය අවම කරගැනීමට නම් දකුණු කොරියාව ලවා අමෙරිකාව මෙහෙයවා ගැනීමට උතුරු කොරියාව අපේක්ෂා කරයි. එමෙන්ම දකුණු කොරියාවට ලංවන විට එහි අතුරු ඵලයක් ලෙස එරට හා අමෙරිකාව හා ජපානය අතර පවතින සබඳතා යම් තාක් දුරකට දුරස් කිරිමද උතුරු කොරියාවේ අපේක්ෂාවක් බව පෙනී යයි. එවැනි පලුද්දක් අතරට රිංගා ගැනීම උතුරු කොරියාවනුවන්ට පහසු කටයුත්තකි.

මෙහිදි දකුණු කොරියාව පෙර වැරදි අමතක කර සෑම විටකම උතුර වැළඳ ගැනීමට හේතු සාධක පවතී. උතුර සම්බන්ධ කරගැනිමේ කෙටිකාලීන පියවරක් ලෙස ශීත සෘතු ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තහවුරු කරගැනිමට දකුණට හැකිවිය. ඒ උතුරු කොරියානු රහස් හමුදා ඒකක ඔලිම්පික් උළෙල කඩාකප්පල් කිරීමට නොඑන බව තහවුරු කරගැනීමෙනි. දෙවැනුව යුද තත්ත්වයක් වළක්වා ගැනීමයි. යම්කිසි ආකාරයෙන් යුද්ධයක් ඇතිවුවහොත් දේශසීමා කලාපයේ ඇති කාලතුවක්කු, රොකට් හා මිසයිල ලක්ෂ ගණනක් දකුණු කොරියාවට එල්ල කෙරෙනු ඇත. දස ලක්ෂ ගණනින් සිදුවිය හැකි ජීවිත විනාශය වළක්වා ලීම දකුණු කොරියාවේ අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

මෙහිදි අමෙරිකාවේ භූමිකාව කුමක්ද? වත්මන් සංහිඳියාව ගැන අමෙරිකාව විශ්වාසය නොතබයි. මෙය උතුරු කොරියාවේ තවත් උපක්‍රමයක් බව අමෙරිකාවේ පිළිගැනීමයි. ඒ නිසා උතුරට එරෙහි රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙල පමණක් දැනට ඉදිරියට ගෙනයාමට අමෙරිකාව උත්සුක වෙයි. යම් හෙයකින් උතුරු කොරියාව නිෂ්ක්‍රිය වුවද එය අමෙරිකාවට අවාසියකි. ඒ මන්ද යත් උතුරු කොරියානු තර්ජනයක් නොමැති බැවින් දකුණු කොරියාවේ හා ජපානයේ හමුදා බලය නැංවීමට අමෙරිකාවට අවශ්‍ය වාතාවරණයක් බිහි නොවන බැවිනි.

 

Comments