ගැහැනුන් නොවී ගැහැනුන් වන පිරිමි චරිත | සිළුමිණ

ගැහැනුන් නොවී ගැහැනුන් වන පිරිමි චරිත

අතීතයේ දී අපේ රටේ නූර්ති, නාඩගම් ආදී නාට්‍යවල ගැහැණු රඟපෑවේ නැත. ගැහැණු චරි රඟපානු ලැබුවේ පිරිමින් විසිනි. රුක්මණී දේවී ආදී නිළියන් නාට්‍ය වේදිකාවට පැමිණෙන තුරු ම පාහේ මේ තත්ත්වය පැවතිණි. එහෙත් අද ගැහැනු චරිත පිරිමින් විසින් රඟපානු ලැබීම සලකනු ලබන්නේ නොදියුණු නාට්‍ය ක්‍රමයක් වශයෙනි. නූතන වේදිකා නාට්‍යවල ගැහැණු චරිත පිරිමින් විසින් රඟපෑමක් ගැන හිතන්නේවත් නැති තරම්ය. සුරූපී නිළියන් ම එම චරිතවවලට සුදුසු සේ සැලකේ.

කෙසේවුවත් මේ නොදියුණු යැයි කියන නාට්‍ය ක්‍රමය තවමත් ගම්මඩු, දහඅට සන්නිය, සොකරි, කෝලම් ආදී සාම්ප්‍රදායික ජන නාට්‍ය හා ශාන්ති කර්ම තුළ අදත් දැකිය හැකිය. එසේම ප්‍රධාන වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ, ආනමඩුව, ගල්ගමුව ආදී ප්‍රදේශවල ශිල්පීන් විසින් රඟ දක්වනු ලබන දෙබස් කථන මුද්‍රා නාට්‍යවල ද සමහර අවස්ථාවන්හි දී ගැහැනු චරිත පිරිමින් විසින් රඟදක්වනු ලැබීම දැකිය හැකිය. එහෙත් එම නාට්‍යවල පවා නූතන නාගරික නාට්‍ය සම්ප්‍රදාය අනුව යමින් ගැහැනු චරිත නිළියන් විසින් ම රඟපෑම දැකිය හැකිය.

නිළි රැජින මාලිනී ෆොන්සේකාගේ සීයා ප්‍රසිද්ධ ප්‍රවීණ නූර්ති නාට්‍ය ශිල්පියකු වූ බව ද එම නූර්ති නාට්‍යවල ගැහැණුන් රඟපෑමක් නොවුණු බව ද රංගනය ගැහැනුන්ට නුසුදුසු යැයි සලකා ඇගේ සීයා ඈ රංගනයට පිවිසීම ගැන අමනාපයෙන් සිටි බව ද මාලිනී ෆොන්සේකා විසින් පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබෙනු ද මම දුටුවෙමි. කෙසේවුවත් ගැහැනු චරිත පිරිමින් විසින් රඟපෑම එතරම් නොදියුණු නාට්‍ය ක්‍රමයක් යැයි නොසිතමි.

ගැහැනු චරිතයක් පිරිමියකු විසින් රඟපෑම නිසා ම ඉතා ම ජනප්‍රිය වූ නාට්‍යයක පසුගිය යුගයේ පැවතිණි. එය ජයසේකර අපොන්සුගේ තටු නාට්‍යයයි. එය එතරම් නරක නාට්‍යයක් නොවේ. මගේ මතකයේ තරමට එය රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසාන වටයට ද තෝරාගනු ලැබූ නාට්‍යයකි (මෙහි නිවැරදි යැයි ද හරියටම කීමට නොහැක.)

ගම්මඩු ශාන්ති කර්මයේ පත්තිනි අම්මාවරුන් ලෙස නැටුම් දක්වන්නේ පිරිමි නර්තන ශිල්පීන් විසිනි. දහඅට සන්නියේ සන්නි අතරට ගැහැනු සන්නි ද පැමිණේ. කෝලම් නාට්‍යවල ද ගැහැනු චරිත සාමාන්‍යයෙන් රඟ දක්වනු ලබන්නේ ගැහැනු වෙස් මුහුණු පැළඳගත් පිරිමින් විසිනි.

ගැහැණියක විසින් ගැහැණු චරිතයක් නිරූපණය කරන විට එය රඟපෑමක් නොවේ. එනම් ගැහැනියක ලෙසින් අමුතුවෙන් රඟපෑමට ඇයට අවශ්‍ය නොවන බැවිනි. එහෙත් පිරිමියකු විසින් ගැහැනු චරිතයක් නිරූපණය කරන විට ම එය රඟපෑමක් වේ. එනම් ගැහැනියකු ලෙසින් ඔහු රඟපෑ යුතු බැවිනි. ඔහු ගැහැනියක විය යුත්තේ රඟපෑමෙන් වන බැවිනි. දහඅට සන්නිය, සොකරි, ගම්මඩු ආදී ශාන්තිකර්මවල ආකර්ෂණිය තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මේ ගැහැනු චරිතයට පිරිමින් විසින් පණ දීමය. එම ජනනාට්‍ය හා ශාන්ති කර්ම තුළ නිර්මාණශීලීත්වය ප්‍රකට වන ප්‍රධාන අංශයක් වන්නේ මේ ගැහැනු චරිතයට, කාන්තා හාව භාව ලීලාවන්ට, කතාවට, ගමනට, නැටුමට පිරිමි රංගන නර්තන ශිල්පීන් විසින් පණ දෙනු ලබන ආකාරයයි. සැබවින්ම මේ තත්ත්වය පහතරට නැටුම තුළ ද දැකිය හැකිය. පහතරට නැටුමේ ඇතැම් ගමන් තාල අඩව් කස්තිරම් ආදිය ගැහැණු ලාලිත්‍යය පිරිමින් විසින් අනුකරණය කිරීමට යාම තුළින් නිර්මාණය වූ දේ යැයි සිතෙයි.

මෙහි ඇත්තේ එක්තරා ආකාරයකට පිරිමින් විසින් ගැහැණුන්ට උපහාර පිදිමකි. පත්තිනි අම්මාවරු ලෙසින් පිරිමි ශිල්පීන් විසින් නැටුම් දැක්වීම එසේ ස්ත්‍රීය වෙනුවෙන් කරනු ලබන උපහාරයකි. පූජාවකි. පත්තිනි අම්මා ලෙසින් මෙහි දී සලකනු ලබන්නේ ස්ත්‍රී වර්ගයාය. මේ අනුව ගැහැනු චරිත පිරිමින් විසින් නිරුපණය කිරීම සිතන තරම් සරල කරුණක් නොවන බව පැහැදිලි වේ. එය එක්තරා ආකාරකින් අනාදිමත් කාලයක සිට වැඞී වර්ධනය වු සාම්ප්‍රදායකි. ස්ත්‍රීන්ට ආවේණික උපන් සෞන්දර්යය දැකීමෙන් පිරිමියා ලබන සතුට වෙනුවෙන් නැවත ඇයට උපහාර දැක්වීමක් වශයෙන් මේ නැටුම් හා නාට්‍ය ශෛලීන් හැඳින්විය හැකිය.

කෙසේ වුවත් ‘ ඕනෑවට වඩා ගැහැනු ගති’ පිරිමින් විසින් යම් ආකාරයකට විහිළුවකට ලක්කිරීමක් ද මේ ජනනාට්‍ය තුළ දැකිය හැකිය. කෙසේ වුවත් එය කිසිදු තරහකින් කෙරෙන්නක් නොවන බව පෙනෙන්නේ මේ විහිළුවලට ගැහැනුන්ටත් වඩා හිනැහෙන්නේ පිරිමින් වන බැවිනි. ඕනෑවට වැඩි අඟර දඟර ඕනෑවට වඩා වැඩිකර පෙන්වීම මගින් හාස්‍ය්‍ය ඉපදවීම මෙහි දී දැකිය හැකිය. ගැහැනුන් නාන ආකාරය පිරිමින්ට මෙන් ම ගැහැණුන්ට ද හිතේ හැටියට ඇස් පුරා ම බලාගැනීමට හැකිවන්නේ ද මේ ශාන්ති කර්මයක දී පමණක් බව ද කිව හැකිය. එය නිරූපණය කරනු ලබන්නේ පිරිමි ශිල්පීන් විසින් බව ද සියලු රංගාභරණයන්ගෙන් සැරසී බව ද අමුතුවෙන් කිව යුතු නොවේ. මා මේ කියන්නට හදන්නේ අන් කිසිවක් නොව අපේ සාම්ප්‍රදායික රංගන ශෛලීන් තුළ පිරිමින් විසින් ගැහැනු චරිත නිරූපණය කිරීම තුළ ලොව කිසිතැනක දැකිය නොහැකි සෞන්දර්යාත්මක ආශ්චර්යයන් සිදුවන බවය.

කෙසේවුවත් මා දැන් කියන්නට හදන්නේ එහි අනෙක් පැත්තය. එනම් පිරිමින් විසින් ගැහැනු චරිත නිරූපණය කිරීම වෙනුවට ගැහැනුන් විසින් පිරිමි චරිත නිරූපණය කිරීමය. මෙය සිදුවන්නේ ඉතා අඩුවෙනි. නැතිතරම් ය යැයි කීවොත් නිවැරදිය. එහෙත් එයට දැන් කාලය පැමිණ ඇතැයි සිතමි. කේ.බී. හේරත් මහතාගේ ජගන්මා නාට්‍යයේ මාදනී මල්වත්තගේ විසින් නිරූපණය කරනු ලබන්නේ පිරිමියෙකුගේ චරිතයක් ම නොවේ. එහි කුමරියගේ චරිතය වෙස් වළාගෙන පිරිමියකු මෙන් සිටින ආකරයයි. එහි පිරිමි චරිත ගැහැණියකගේ ඇසින් හාස්‍යයට ලක්කිරීමක් නැත. කෙසේවුවත් පිරිමින්ගේ හැසිරීම සම්බන්ධයෙන් ස්ත්‍රීයකගේ අර්ථ නිරූපණය යම් තරමක් දුරට දැකිය හැකිය. මා විසින් නිර්මාණය කළ සුද්දෙක් ඔබ අමතයි නාට්‍යය තුළ ද මාදනී මල්වත්තගේ විසින් පිරිමින් විසින් කතා කිරීමක් දකින්නට ලැබෙන අතර එහි දී පිරිමි හැසිරීම් රටාවන් කතා විලාසයන් දෙස ස්ත්‍රීයකගේ ඇසින් උපහාසාත්මකව බැලීමක් දකින්නට ලැබේ.

කාන්තාවන් ද වේදිකාවේ ආධිපත්‍යය දරන මේ සමයේ කාන්තාවන්ට ද පිරිමි චරිත නිරූපණය කිරීමට අවස්ථාව ලැබී ඇතැයි සිතමි. එය නොදියුණු රංග ක්‍රමයක් නොවේ. සරල කාරණයක් ද නොවේ. සෞන්දර්යාත්මක නොවන කාර්යයක් ද නොවේ. මේ සම්බන්ධයෙන් ලෝකයේ ද මා නොදන්නා උදාහරණ තිබිය හැකිය.

කෙසේවුවත් එය ප්‍රවේසමෙන් වැඩි වර්ධනය කළ යුතු සම්ප්‍රදායකි. සෞන්දර්යය බිහිවන්නේ සම්ප්‍රදාය මගින් ශික්ෂණය ලබන කලාව තුළය. අද රංගනය තුළ කාන්තාවන් ලබා ඇති ශික්ෂණය හා අවබෝධය, කාන්තා ශිල්පිනියන්ට මේ සඳහා අවස්ථාවක් විවර කර ඇතැයි සිතමි.

සම්ප්‍රදායික ජන නාට්‍ය හා ශාන්ති කර්ම තුළ පිරිමි නර්තන ශිල්පියා විසින් කර ඇත්තේ කාන්තාව උපහාසයට ලක්කිරීමට වඩා පූජනීයත්වයට පත්කිරීමය. ගම්මඩු ශාන්ති කර්මය උදාහරණයකි. ඒ අනුව කාන්තා රංගන නර්තන ශිල්පිනියන් විසින් ද පිරිමියා උපහාසයට ලක්කිරීම පමණක් කළ යුතු නොවේ. පූජනීයත්වය කෙසේවුවත් සම තැන හෝ ලබාදිය යුතු යැයි සිතමි.

Comments