යශෝධරා චිත්‍ර­ප­ටය සහ නිර්මාණ­ක­රු­වාගේ විෂය පරා­සය | සිළුමිණ

යශෝධරා චිත්‍ර­ප­ටය සහ නිර්මාණ­ක­රු­වාගේ විෂය පරා­සය

කතෝලික පල්ලිය සසල කළ ඩාවින්චි කෝඩ් නව කතාව බොහෝ විවාදිත එකකි. එහෙත් සියලු පටු තර්ක අමතක කළ විට, යේසුස් ක්‍රිස්තුන් වහන්සේ සාමාන්‍ය මිනිසෙකු බව තහවුරු කිරිමට කරන අරගලය වැදගත්ය. බුද්ධ චරිතයට සම්බන්ධ සියලු චරිත මිනිස් පුතුන් ය යන්න බෞද්ධ ලෝකයම පිළිගනිති. බුද්ධ චරිතයේ එක තැනක වියපත් ගෞතම බුදුන් වහන්සේ මම දැන් වියපත් යනුවෙන් කරන ප්‍රකාශය ගැන කිසිවෙක් තර්ක නො කරති. එසේ නම් බුද්ධ පතිව්‍රතාව නිරූපණය කිරිමේ දී තමන්ගේ දැක්ම සකසා ගැනීමේ දී ‘‘කැත ගෑනිගේ පතිව්‍රතාව’’ යන සදය උපහාසය ගැන්වුණ කියමන සුනිල් ආරියරත්න මෙහෙයවූවාට සැක නැත. ඒ සිද්ධාර්ථ ගෞතමයන්ගේ ඒ නික්ම යෑම, බිම්බා කුඩා දරුවකු සමඟ තනිවීම ගැන බෞද්ධ ලෝකය එළඹී විවිධ නිගමනයන් වේ. එසේම යසෝදරාවත වැනි චූල සාම්ප්‍රදායික පද්‍ය රචනා හරහා අප ගැමියන් ලෙස පරම්පරා ගණනාවක් යශෝධරාගේ විලාපයට විවිධ යන සංසිද්ධීන් ගැන අපට යමක් කීමට ඔහු උත්සාහ කරයි.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ බිම්බා දෙවි හෙවත් යශෝධරා චිත්‍රපටය මේ දිනවල ප්‍රදර්ශනය වේ. මේ සටහන එකී සිනමා නිර්මාණය ගැන ය. එහෙත් මෙය විචාරයක් නොවේ. චිත්‍රපටය නැරඹු සමහරු ඒ ගැන කරන කතා බහ අනුව ඔවුන් යශෝධරා නිර්මාණය සලකන්නේ කලා නිර්මාණයක් ලෙස නොවන බව පෙනේ. බොහෝ අය අපට හුරු පුරුදු බුද්ධ චරිතය සිහි තබා ගෙන චිත්‍රපටය නැරඹූ බව පෙනේ.

අප දන්නා, අප විශ්වාස කරන, අදහන විෂය වස්තූන් කලා නිර්මාණයකට පාදක වෙද් දී එකී නිර්මාණය කලා නිර්මාණයක් ලෙස හඳුනා ගැනිමට සමහරුන්ට දුෂ්කර වේ. ඊට හේතුව අප තුළ පවත්නා හැඟීම් සහ විවිධ සාම්ප්‍රදායික බලපෑම් නිසාය. ඓතිහාසික සිද්ධියක් නව කතාවකට, චිත්‍ර කතාවකට, නාට්‍යයක සිනමා පටයකට ගැනෙන විට මේ ප්‍රශ්නය ඉස්මතු වේ. එවැනි අවස්ථාවල මිනිස්සු තමන් අසා දැනගත් කතාවේ පවත්නා සියල්ල ඒ කෘතියෙන් අපේක්‍ෂා කරති.

සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටය මෙයට ගත හැකි හොඳ උදාහරණයකි. එය පේරාදෙණී සරසවි ජිවිතය පසුබිම් කොට කළ නිර්මාණයකි. ඒ ගැන කතා කළ එක් විචාරකයකු චෝදනා කළේ හිඳගල හෝටලය, ලොන්ඩ්‍රිය වැනි ස්ථානවල දැන්වීම් පුවරු පෙන්වීමෙන් සරසවි ජීවිතය විග්‍රහ නොවන බවය. ඒ ප්‍රකාශය ගැන ඒ කාලයේ විවිධ මත පළවිය. සමහරු තර්ක කළේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත නව කතාවේ ඊට පාදක වූ පාසලේ නම් ගම් යොදා තිබුණා නම් ලෙස්ටර්ගේ නිර්මාණය ගැනද එවැනි කතා අසන්නට සිදුවන බවය. මේ කෙටි මතක හරහා මා උත්සාහ කරන්නේ බොහෝ දෙනා දන්නා කතා පුවතක් නිර්මාණයක් බවට පත් කිරිමේ දී අදාළ කලා කරුවා බොහෝ ප්‍රශ්න කිරිම්වලට ලක්වන බව තහවුරු කිරිමටය.

මහාචාර්ය සුනිල් ආරියරත්න පත්තිනි කතාවද මෙයට පෙර සිනමාවට නැ‍ඟීය. ඔහු මිනිසුන් දන්නා අදහන හෝ වඩාත් පරිශීලනය කළ කතා චිත්‍රපටයට නැඟීමේ අභියෝගය හොඳීන් දන්නා සිනමා කරුවෙකි. සුනිල්ගේ යශෝධරා නරඹන වියපත් මවක ඒ දෙස බලන්නේ බුදු බැතියට එහා ගිය බොහෝ මනෝ භාවයන් හිත දරාගෙනය. හැම ගැහැනියකටම බුද්ධ චරිතයේ අපට හමුවන බිම්බා දේවිය ගැන බෙහෙවින් සමීපය. දරුවකු වැදූ ගැහැනියක තනිකර ඇගේ සැමියා කුටුම්බය අතහැර යාම ගැන හැම ගැහැනියක්ම බෙහෙවින් සංවේදි වේ. සුනිල් සිය නිර්මාණය හරහා උත්සාහ කළේ අප දන්නා බුද්ධ චරිතයේ එන අභිනිෂ්ක්‍රමණය හරහා අප ගොඩ නැගු කතාවේ කාන්තාව දෙස ඇයගේ පැත්තෙන් දැකීමය. එය සත්තකින්ම අභියෝගයකි. සිංහල චූල පද්‍ය සම්ප්‍රදායේ එන ප්‍රකට යසෝදරා වත හරහා සිංහල බෞද්ධයන් ලක්‍ෂ ගණනාවක් පරම්පරා ගණනාවක් පුරා බිම්බා දේවියගේ විලාපයට සවන් දී ඇත.

ඒ පද්‍ය නිර්මාණය පුරා ඇත්තේ සුඛෝපභෝගි රාජ කුමාරයකු සතුටින් අත්පත් කරගත් කටුක ජීවිතය ගැන ආදරණීය බිරියකට ඇති කරුණා සහගත අනුකම්පාවකි. සුනිල් උත්සාහ කළේ ඒ කවිපොතෙන් කියැවුණ දේ රූප හරහා පෙන්වීම නම් නොවේ. මෙන්න මේ කාරණය සමහරු තේරුම් ගැනීමට අසමත්ව සිටි. සමහරුන්ට චිත්‍රපටයේ ප්‍රධාන නිලියගේ රූපශ්‍රීය ගැන ප්‍රශ්න තිබිණ. සමහරු රාහුල මාතාව ගැන ගොඩ නැගුණ චිත්‍රය හරහා ප්‍රධාන නිළියගේ හැඩ රුව ගළපා ප්‍රශ්න කරති. සමහරු යසෝදරාවතේ කවි නන්දා මාලිනි ලවා ගායනා කිරීම ගැන කතා කරති. මේ මතිමතාන්තර ඉස්මතු වන්නේ ඉහතින් කී ලෙස යශෝධරා චරිතය බුද්ධ චරිතයට සම්බන්ධ ප්‍රකට චරිතයක් වීම සහ ඒ හරහා ගොඩ නැගුණ සාහිත්‍යයක් අපට හඳුන්වා දුන් යශෝධරාවක සිටින නිසාය. සුනිල් තෝරාගත් චරිතය රහත් මෙහෙණියකි. ඔහු ගෞතම බුද්ධ චරිතය නළු නිළියන් යොදා නිර්මාණය කිරීම පිළිබඳ ඔහුට පැවැති ධෛර්ය ගැන මම සතුටු වෙමි.

බුද්ධ චරිතය පිළිබඳ මා දුටු සාර්ථකම චිත්‍රපටය බිමල් රෝයි අධ්‍යක්‍ෂණය කළ ගෞතම බුද්ධ නිර්මාණයයි. ඉන්දීය භූමියේ දී නිර්මාණය කළ සිය නිර්මාණයට කිසිදු ජීවමාන චරිතයක් යොදා නො ගැනීමට බිමල් රෝයි පරිස්සම් විය. සකල බුද්ධ චරිතයම භාරත දේශයේ විසුරුණ ගල් ගැටයම් හරහා නිර්මාණය කළ එකී චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය කළේ ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙනි. ඒ නිර්මාණයට ඇතුළු කර තිබුණේ නිල් අහසේ පියාසර කරන කුරුලු රෑනක් දැක්වෙන එකම සජීවි රූප රාමුවකි. ඒ සිද්ධාර්ථ ගෞතමයන් බුද්ධත්වය ලැබූ අවස්ථාව නිරූපනය කිරීම පිණීසය.

බිමල් රෝයිට සමගාමීව සුනිල් ආරියරත්න මෙහි දී ජීවමාන නළුවන් යොදා ගනිමින් යෝධ අඩි තබමින් ගමන් කරන බව පෙනේ. එසේම චිත්‍රපටය පුරා කිසි තැනක ගෞතම බුදුන් වහන්සේ ජීවමාන චරිතයකට ආරෝපණය නොකිරීමටද සුනිල් ආරියරත්න ප්‍රවේසම් වේ. කලාොකරුවෝ ප්‍රකට චරිත ප්‍රතිනිර්මාණය කිරිමේ දී නැවත කියවීමක් සිදු කරති. එහි දී ඔහුන් චරිතය අලුතින් නිරූපණය කරති. එය හරියටම සුනිල් යශෝධරා චරිතය සඳහා පල්ලවී සුබාෂ් ඉන්දීය රංගන ශිල්පිනියක කැඳවූවා සේය.

පුරාතන සාහිත්‍ය කරුවන් පවා ආගමික කාන්තා චරිත පරිශීලනය කිරිමේ දී මේ නිදහස ලබා ඇත. මහාමායා දේවියගේ ස්ත්‍රි ලාලිත්‍යය වර්ණනා කිරිමේදි එතුමිය බුද්ධ මාතාව බව අමතක කර ඇත. ජින චරිතය නම් පාළි පද්‍ය ග්‍රන්ථ කතුවරයා මහාමායා දේවිය වර්ණනාවේදි ඇය රූමතියක් ලෙස වර්ණනා කරන්නේ ඇය බුද්ධ මාතාව බව නොදැන නොවේ.

බිම්බාධරාය විකචුප්පල ලෝචනාය

දේවින්ද චාප රති වද්දන භූලතාය

සම්පුණ්ණසොම්මවිමලින්දු වරානනාය

සෝවණ්ණ හංසයුගචාරු පයෝධරාය

මට මෙහි දී ගෝතමි විහාරයේ චිත්‍ර සිහිපත් වේ. එහි දැක්වෙන යසෝධරාගේ චිත්‍රය සඳහා යොදා ඇති විශේෂ වර්ණ භාවිතය උදාහරණ වේ. මම ඒ ගැන ජෝර්ජ් කීට් හමුවූ අවස්ථාවක විමසා සිටියෙමි.

‘‘මට මෙහි දී යසෝධරා චරිතය වෙන්ව දැකීමේ උවමනාවක් තිබුණා. මගේ ශෛලිය සමඟ නිරන්තරයෙන්ම මම වර්ණ භාවිතය සමඟ විශේෂ ගනුදෙනුවක් කරනවා. මම චිත්‍ර ශිල්පියෙක්. මම තෝරා ගත් චරිත නිර්මාණයේ දී මම ඒ චරිත වෙන් කොට දැක්වීමට යොදා ගන්නේ වර්ණ.’’ මෙහි දී අප සිහිපත් කළ යුත්තේ ලාංකේය බෞද්ධ ලෝකය බුද්ධ චරිතයේ අවස්ථා මෙනෙහි කරන විට, කිසිවෙකුට ඇම්. සාර්ලිස් මාස්ටර්ගේ නිර්මාණවලින් එපිටට යා නො හැකිය. සාර්ලිස් මාස්ටර් යුරෝපයේ ස්ත්‍රි පුරුෂ ස්වරූප හරහා බුද්ධ චරිතයේ අවස්ථා රූප බවට පත් කළ බවට පසුකාලින කලා විචාරකයෝ චෝදනා කළහ. සෝලියස් මැන්දිස්ගේ චිත්‍ර රටාව ඔහුටම ආවේණික විය. කැලණි විහාර චිත්‍ර කර්මාන්තයට සෝලියස් මැන්දිස් තෝරා ගැනීමෙන් පසුව, විජයවර්ධනවරුන් ඔහුව ඉන්දියාවට යවා එරට ජන ජීවිතය සහ අනෙකුත් ආනුශාංගික දේ විශේෂයෙන් භාරත චිත්‍ර ශෛලීන් අධ්‍යනයනය කිරිමට ඉඩ සලස්වා ඇත. නරසීහ ගාථා රචකයා ද විස්තර කරන්නේ මහා පුරුෂයකු ගැහැනියක දකින ආකාරයට බව අප සිහිපත් කළ යුතුවේ.

ජින චරිත කතුවරයා නරසීහ ගාථා රචකයා ජෝර්ජ් කීට් සොයිලියස් මැන්දිස්, සාර්ලිස් මාස්ටර් මේ හැම දෙනාම බුද්ධ චරිතයට ආශ්‍රීත චරිත දුටුවේ ඔවුන්ටම අනන්‍ය ආකාරයටය. එකී සම්ප්‍රදායට අනුකූලව යශෝධරා චරිතය තම තේමාවට උචිත අනන්‍යතාවකින් ගොඩ නඟා ගැනීමට සුනිල් ආරියරත්නට ඇති අයිතිය විවාදිත විය නොහැකිය. සුනිල් මෙහි දී යශෝධරා සිද්ධිමය කාරණාවේදි දකින්නේ තවත් ගැහැනියක ලෙසය. චිත්‍රපටය නරඹන්නකු මෙහි දී තවත් ගැහැනියක දැකිය යුතු වේ. එසේ නොවේ නම් සුනිල්ගේ නිර්මාණය විඳ දරා ගත නො හැකිවේ. ජාතක පොතේ කියැවෙන සිදුහත් යසෝදරා සංසාරික බැම්ම සිහිපත් නොකළා නම් වඩා හොඳය යන්න මගේ විශ්වාසයයි.

කතෝලික පල්ලිය සසල කළ ඩාවින්චි කෝඩ් නව කතාව බොහෝ විවාදිත එකකි. එහෙත් සියලු පටු තර්ක අමතක කළ විට, යේසුස් ක්‍රිස්තුන් වහන්සේ සාමාන්‍ය මිනිසෙකු බව තහවුරු කිරිමට කරන අරගලය වැදගත්ය. බුද්ධ චරිතයට සම්බන්ධ සියලු චරිත මිනිස් පුතුන් ය යන්න බෞද්ධ ලෝකයම පිළිගනිති. බුද්ධ චරිතයේ එක තැනක වියපත් ගෞතම බුදුන් වහන්සේ මම දැන් වියපත් යනුවෙන් කරන ප්‍රකාශය ගැන කිසිවෙක් තර්ක නො කරති. එසේ නම් බුද්ධ පතිව්‍රතාව නිරූපණය කිරිමේ දී තමන්ගේ දැක්ම සකසා ගැනීමේ දී ‘‘කැත ගෑනිගේ පතිව්‍රතාව’’ යන සදය උපහාසය ගැන්වුණ කියමන සුනිල් ආරියරත්න මෙහෙයවූවාට සැක නැත. ඒ සිද්ධාර්ථ ගෞතමයන්ගේ ඒ නික්ම යෑම, බිම්බා කුඩා දරුවකු සමඟ තනිවීම ගැන බෞද්ධ ලෝකය එළඹී විවිධ නිගමනයන් වේ. එසේම යසෝදරාවත වැනි චූල සාම්ප්‍රදායික පද්‍ය රචනා හරහා අප ගැමියන් ලෙස පරම්පරා ගණනාවක් යශෝධරාගේ විලාපයට විවිධ යන සංසිද්ධීන් ගැන අපට යමක් කීමට ඔහු උත්සාහ කරයි.

මේ සියලූ කරුණා පරිශීලනය කරන විට, අප යශෝධරා වැනි කලා නිර්මාණයක් විඳීමේ දී සුවිශේෂ පිබිදුණ මනසකින් යුතුව සිටිය යුතු වේ.

Comments