මම කාගේ­වත් සින­මාව මගේ කර­ගන්න ගියේ නැහැ | සිළුමිණ

මම කාගේ­වත් සින­මාව මගේ කර­ගන්න ගියේ නැහැ

අද යම් දෘෂ්ටිවාදී ව්‍යාපාරවලින් ප්‍රකාශයට පත් කෙරෙන සිනමා විචාරයක් දකින්න ලැබෙනවා. තම දෘෂ්ටිවාදයට ම ආධානග්‍රාහී බව පෙනෙන මේ ඇතැම් විචාරයන් එයට අනුකූල නොවන ඕනෑම යහපත් සිනමා කෘතියක්වුව හැකි උපරිමයෙන් හෙළා දැකීමට පෙලඹී සිටිනවා. හොඳට බලන්න ඔවුන් අවර ගණයේ කෘතියකට ‘හ්ම්’ කියන්නේ වත් නැහැ. දැන් මෙබඳු විචාර ප්‍රවණතාවන් ඔබ අහනවා වගේ අපගේ සිනමාවට ආලෝක ධාරාවක් වත්, ඉදිරි දැක්මත් වත් පෙන්වන්නේ නැහැ. යමෙකුට ව්‍යාජ සන්නිවේදන වීරත්වයක් ගොඩ නඟා ගැනීමට නම් මෙය හොඳ ක්‍රමයක් වෙන්න පුළුවන්. කලක් සිනමා විචාරයේ නියැලුණු කෙනෙක් විදිහට, ශ්‍රී ලංකාවේ බොහෝ විශිෂ්ට විචාරකයන් සම්බන්ධ වූ සිනමා අතිරේකයක් සම්පාදනය කළ කෙනෙක් විදිහට මා ඔවුනට යෝජනා කරන්නේ එක විටම ආධානග්‍රාහී සහ දෘෂ්ටිවාදී, එහෙයින් ම ආවේගවාදී ඒ දුර්වල විචාර ක්‍රමවේදය වෙනුවට වෙනත් නිර්දය විචාර ක්‍රමවේදයක් භාවිතා කිරීම වඩා යහපත් බවයි.

 ඔබේ සිනමා භාවිතාව තුළ කිසියම් අපූර්වත්වයක් ප්‍රකට වෙනවා. එය කිසියම් ආකාරයක බටහිර සිනමා ආඛ්‍යානය හා පෙරදිග සිනමා ආඛ්‍යානය අතර සම්මිශ්‍රණයක්ද?

සිනමාව ඕනෑම මොහොතක ලෝක විෂයයක් වශයෙන් විශ්වාස කරන්නකු හැටියට ඔබේ යෝජනාවට මා මුළුමනින්ම එකඟ වෙනවා. සිනමා කෘති රස විඳීමත්, නිර්මාණය කිරීමත්, ඒ පිළිබඳව සංවාදයක යෙදීමත් එක්තරා විදිහක ඒ ලෝක විෂයය සමඟ කටයුතු කිරීමක්. බොහෝම පුළුල් අර්ථයකින් ඔබ ඉදිරිපත් කරන බටහිර සිනමා ආඛ්‍යානය හා පෙරදිග සිනමා ආඛ්‍යානය යන කාරණා කොහොමටත් අද වන විට වෙන් වෙන්ව හඳුනා ගත නොහැකි තරමට ම එකිනෙක මිශ්‍ර වූ ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. එහෙත් ඔබේ ප්‍රශ්නයට අදාළව මේ ආඛ්‍යාන දෙකේ ස්වභාවය පිළිබඳව හා එය මගේ සිනමාවට බලපා ඇති ආකාරය පිළිබඳව යම් අදහසක් ප්‍රකාශ කළොත්, බටහිරින් ඕසන් වෙල්ස් ගේ පටන් ලාස් වොන් ට්‍රියර් දක්වා හෝ, පෙරදිගින් කුරසාවාගේ පටන් කිම් කි ඩුක් දක්වා හෝ සිනමා ආඛ්‍යානවල මහ පුදුම වෙනස්කම් අපට දකින්නට පුළුවන්. නමුත් මේ කිසිම කෙනෙකුගේ සිනමා ආධ්‍යාශවල අබ මල් රේණුවක වෙනසක් අපිට පේන්නේ නැහැ. ඔවුන් කළේ නිකම්ම නිකම් ජීවිත පෙන්වනව වෙනුවට ජීවිතයේ ඇති සාරය හෝ අසාරය පෙන්වීමයි. ඉතින් මට මේ මහා සම්ප්‍රදායයන් දෙකෙන් පෝෂණය නොලබා ඉන්න පුළුවන්ද.

කුරසාවා, රායි, ලෙස්ටර් වගේ මහා ආසියානු සිනමාකරුවන් ගේ ආඛ්‍යානයන් ගෙන් වගේම ස්කෝසිස්, පොලාන්ස්කි, කිසලොව්ස්කි, බර්ග්මාන්, වෝකර් ෂොලොන්ඩොර්ෆ් වගේ බටහිර සිනමාකරුවන් ගේ ආඛ්‍යානයන් ගෙනුත් මට යම් බලපෑමක් තිබුණා. ඒ විතරක් නොවෙයි සර්ජි ලියොන් වගේ ෆැගටි වෙස්ටර්න්කාරයන් ගේ සිනමාවෙනුත් මට යම් ආභාසයක් තිබුණා. නමුත් මම කොයි වෙලාවකදීවත් ඒ කාගේවත් සිනමාව මගේ කරගන්න ගියේ නැහැ. මං හිතන්නෙ ආරම්භයේ පටන් ම මා යම් අනන්‍ය ශෛලියක් ගොඩ නඟාගත්තා කියලයි. ඒක මම ඊට පෙර නිරතව සිටි ටෙලි නාට්‍ය කලාව තුළත් ගොඩ නඟාගෙන සිටියා කියල මට හිතෙනවා.

ඒ වගේම ඔබේ නිර්මාණ බොහොමයක ජනශ්‍රැති ලක්ෂණ විද්‍යාමාන වෙනවා. ජනශ්‍රැති ඔබේ නිර්මාණ සඳහා යොදා ගැනීමට ඔබ මේ තරම් උනන්දු වන්නේ ඇයි?

මගේ ළමා මනස වැඩිහිටියන් පිරිසකගේ අසීමිත ආදරය විසින් සුරැකුණු සහ වැඩි වර්ධනය වූ එකක්. මා හැමදාම නින්දට ගියේ මගේ මිත්තණිය ගේ කතාන්දරයක් අහන ගමන්. නැත්නම් මගේ මවගේ කතාන්දරයක් අහන ගමන්. ඔවුන් කතන්දර සිය ගණනක් නොව දහස් ගණනක් දැන සිටියේ කෙසේදැයි මා පුදුම වුණා. කොහොම වුණත් මේවා බොහොමයක් ජන කතා. සමහර විට මිත්තණිය මට ජාතක කතාත් කියා දෙන්න ඇති. ඊ ළඟට මට කතන්දර කියා දුන් කෙනා වුණේ මගේ මොන්ටිසෝරි ගුරුතුමිය. මර්ල් මැතිණියයි. බර්ගර් කාන්තාවක වූ ඇය මට කියා දුන් කතා නිසැකවම බටහිර සුරංගනා කතා. මම ‘අ’ යන්න ‘ආ’ යන්න කියවන්නත් කලින් ජනශ්‍රැති ගබඩාවක් හිසේ පුරවා ගෙන සිටි කෙනෙක් කියලා ඔබට දැන් තේරෙනවද. ඒ නිසා ජනශ්‍රැති කියන්නේ මිනිසුන්ගේ භාවමය ජීවිතයේ නිසැක ඓතිහාසික වාර්තා කියලයි අද මම විශ්වාස කරන්නේ.

සාමූහික විඥානය පිළිබඳව කතා කරන විට විශිෂ්ට මනෝ විද්‍යාඥයකු වන කාල් ජී. යුංග් මේ ජනශ්‍රැතික මූලාශ්‍රයන් පිළිබඳව සඳහන් කරනවා. ඔබේනවතම සිනමා නිර්මාණය ‘ඝරසරප’, මේ තුළත් ජනශ්‍රැතිමය බලපෑම වගේම මනෝ විශ්ලේෂණයේ බලපෑම දකින්නට ලැබෙනවා.

ඔව්, සමහර විට මා කළ ‘අග්නිදාහය’, ‘ගරිල්ලා මාර්කටිං’, ‘සමනල සංධ්වනිය’ වගේ නිර්මාණවලටත් වඩා ඔබ කියන කාරණය මා ප්‍රබලව යොදා ගත් චිත්‍රපටය ‘ඝරසරප’ විය හැකියි. ඔබ කාල් යුංග් ගැන සඳහන් කළා. කාල් යුංග් කියන විදියට ලෝකයේ සියලුම සංස්කෘතීන්වල මූල පදාර්ථ ඒ ඒ සංස්කෘතීන් තුළ පවත්නා ජනශ්‍රැති හා ඇදහිලි කියලයි ඔහු කියන්නේ. ජනශ්‍රැති කියන්නේ ජනතාවක ගේ සාමූහික විඥානයේ ප්‍රතිබිම්බයක් කියලත් ඔහු කියනවා. මේ කාරණා මා මුලින් දැන සිටියේ ඉවෙන්. හැබැයි මා නිර්මාණකරණයට පිවිසෙන විට මේ කාරණා හොඳින් දැන සිටියා. ඒ නිසා යම් මෝස්තරවාදී වැරදි විලාශයක නොගිලී ජනශ්‍රැති, පුරාණෝක්ති හා මිත්‍යාවන්, යථාර්ථය ප්‍රකාශයට පත් කිරීමෙහිම උපක්‍රමයක් විදිහට යොදා ගන්නට හැකි වුණා කියා මට හිතෙනවා. අවසර දෙනවා නම් මා තව යමක් කීමට කැමතියි. මිනිසුන්ගේ සාමූහික විඥානය හඳුනා නොගෙන කළ නොහැකි කාර්යයන් දෙකක් තිබෙනවා කියා මා හිතනවා. එකක් කලාව, අනෙක දේශපාලනය.

මෙහි දී උපාඛ්‍යානයක් වශයෙන් මා ගෙන එන කළු කුමාරයාගේ චරිතය ජනශ්‍රැතිය විසින් ජීවමාන කරනු ලැබූ ඉතාම ප්‍රබල චරිතයක්. එය බොහෝ දෙනා විශ්වාස කරන පරිදි යක්ෂයකු වශයෙන් වේවා, තවත් සමහරු විශ්වාස නොකරන පරිදි හුදු මිථ්‍යාවක් වශයෙන් වේවා, තවත් සමහරු විශ්වාස කරන පරිදි චිත්ත පරපෝෂිත (Mind Parasite) ශක්ති විශේෂයක් වශයෙන් වේවා සැඟවුණු සමාජ සංසිද්ධියක් වශයෙන් මේ මොහොතේත් පවතිනවා. නමුත් ‘ඝරසරප’ හි පරමාර්ථය කළු කුමාරයා පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් එළිදැක්වීම නොවෙයි. කළු කුමාරයා අමු ද්‍රව්‍යයක් වශයෙන් යොදා ගෙන මිනිස් සබඳතා පිළිබඳ සියුම් සිනමාත්මක විවරණයක් ඉදිරිපත් කිරීමයි.

කළු කුමාරයා කියන්නේ ජනශ්‍රැතිය අනුව නව යොවුන් තරුණියන්ට ආතුර වන යක්ෂ බලවේගයක්. කොටින්ම මෙය එක්තරා ආකාරයකට ලිංගිකත්වයට ඇරයුම් කරන බලවේගයක්. ‘ඝරසරප’ වලට මේ ජනශ්‍රැතිය බලපෑවේ කොහොමද?

ජනශ්‍රැතික වශයෙන් පමණක් නොවෙයි ඓන්ද්‍රියවත් කළු කුමාර කර්මයට හසු වූ ස්ත්‍රීන් බොහෝ ගණනාවක් මා දන්නවා. ඔවුන් මුහුණ දුන් ඒ තත්ත්වයන් මා පෙර කී ආකාර තුනට හෝ එසේත් නොමැති නම් මනෝ විද්‍යාවේ එය විස්තර කරන ආකාරයේ විඝටන ආබාධයක (Dissociative Disorder) තත්ත්වයකට හෝ අයිති වෙනවා වෙන්න පුළුවන්. නමුත් මෙම රූපක චරිතය (Allegorical Character) ගොඩ නඟා ගැනීම සඳහා මට අනුප්‍රාණය සපයන්නේ කිසියම් සත්‍ය සිද්ධි මාලාවක් බව මා කිව යුතුයි.

80 දශකයේ වේදිකාවට ප්‍රවිෂ්ට වන ඔබ එහි කිසියම් අනන්‍යතාවක් සලකුණු කරනවා. මේ පෙරහුරුව කොහොමද ඔබේ සිනමාවට අදාළ වෙන්නේ?

අඩුම තරමින් අප කීප දෙනකුටවත් නාට්‍ය කලාවත්, රූපණ කලාවත් යන විෂයයන් දෙක වෙන් වෙන් වශයෙනුත්, එක විටෙකමත් හදාරන්න ලැබීමේ ප්‍රතිඵලය වශයෙන් තමා ‘අත් ’ ‘මෝරා’ වගේ නාට්‍ය බිහිවෙන්නේ. පුදුමයකට වගේ අප ‘අත්‘ නාට්‍යයෙන් කළ අත්හදා බැලීම අතිශය සාර්ථක වුණා. ඒ වගේම එවකට ශ්‍රී ලාංකේය වේදිකාවේ පැවැති බුද්ධිමය අධිකාරි තත්ත්වයන් ගේ දරුණු ප්‍රහාරයකට අප ලක් වුණා. සිංහල වේදිකාවට ආකෘති වාදයක් බිහි කළැයි මට චෝදනා කරනු ලැබුවා. එහෙත්, සුගතපාල ද සිල්වා, තිස්ස අබේසේකර, අජිත් සමරනායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, බුද්ධදාස ගලප්පත්ති, ගාමිණී හත්තොට්ටුවේගම ආදී විද්වතුන් ගේ ප්‍රබල විචාර නිසා තිඹිරිගෙයිම වැනසෙන්නට තිබූ අපගේ පණ බේරුණා. ඒ නිසා තමයි මට ‘මෝරා’ වගේ වෙනත් අත්හදා බැලීමකට යන්න හැකි වුණේ. මෝරා 1988 රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රධාන සම්මාන සියල්ලම දිනා ගත්තා.

ඒ විතරක් නොවෙයි මට විදේශ ශිෂ්‍යත්ව ගණනාවක් ලබා දීමටත් සමත් වුණා. නිව්යෝර්ක් නුවර ‘ඇක්ටර්ස් තියටර්’ ස්ටුඩියෝවේ මගේ නාට්‍ය සගයන්ට මම ඊට පෙර මගේ ගුරුවරුන් වූ ආචාර්ය මයර් ගෙන් හා ආචාර්ය ක්ලාවුස් ෆිඩ්ලර් ගෙන් උගත් මානසික අභ්‍යාස පන්තියක් පැවැත්වූවා. අවසානයේදී එහිදී කෙනකු කීවා “ඉදිරියට එන්නේ නුඹට අදාළ ශත වර්ෂයයි” කියලා. මට ඒක තේරුණේ ශ්‍රී ලංකාවටත් ආවාට පස්සෙයි. ඒ 21 වන සියවස ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් සිත පිළිබඳ ශත වර්ෂය ලෙස නම් කර තිබීමයි ඒ. වේදිකාවෙන් පහළ වී මා තුළින් පිබිදුණු රූපණ වේදියා සිනමාවේදී මට මහත් ශක්තියක් වූ බව ඔබේ ප්‍රශ්නයට අදාළ ව පැහැදිළි කරන්නයි මා එය සඳහන් කළේ .

සිනමා රූපණය පිළිබඳව ඔබ විශිෂ්ටයෙක්. නවක නළු නිළියන් යොදා ගැනීමේදී ඔබ දක්වන ශක්‍යතාවට හේතුව වේදිකාව තුළ ඔබ ලැබූ පරිචය වෙන්න ඕනෙ. ඒ පිළිබඳව සඳහනක් කළොත්?

මා රඟපාන්නේ නැති බව හැබෑව. එහෙත් ඔබ විශ්වාස කරනවා ද අදටත් මගේ ප්‍රියතම විෂය රූපණයයි. ඒ වගේම මා එකතු කරගත් ඊට අදාළ දැනුම රූපණ ශිල්පීන්ට ප්‍රදානය කිරීමෙන් මා අපමණ සතුටක් ලබනවා. මගේ චිත්‍රපටයක රඟපාන නළු නිළියන් මට පෙනෙන්නේ මගේ ශරීරයේම කොටස් වගේ. මා ඊට කෙතරම් ඇබ්බැහි වෙලා ද කියනවා නම් වරක් මා පුවත් පතකට හරිම අන්තවාදී ප්‍රකාශයකුත් කළා මෙහෙම; “මට නළු නිළියන් තරම් කැමරාව වුවද වැදගත් නැත.”

නවක සිනමාකරුවන් බොහෝ දෙනෙක් සිය ආධුනික බව අතික්‍රමණය කරමින් විශිෂ්ට කුසලතාවන් දක්වමින් සිටිනවා. ඔබ ප්‍රවීනයකු ලෙස ඔවුන්ගේ සිනමාකරණය ගැන කොහොමද දකින්නේ?

බැලූ බැල්මට ඔබේ ප්‍රශ්නයට අදාළ නොවන සේ පෙනෙන ලක්මාල් ධර්මරත්න නමැති තරුණ ටෙලි නාට්‍යකරුවා ගැන කියමින් මා මේ පිළිතුරට එන්න කැමතියි. නොහැකියාව නැමැති සාඩම්බර ඇඳුමින් සැරසුණු බොහෝ වට්ටාඬියන් කස පුපුරවමින්, ගිනි බෝල කරකවමින්, පපර බෑන්ඩ් වයමින් පිට්ටනිය වටේ කාලය නාස්ති කරමින් සිටින අතරතුර බැට් එක ද රැගෙන සගයකු සමඟ පිටියට පිවිසි ලක්මාල් හයේ පහරවල්ම සීයක් ගසා අවුට් වුණා නොව තමන්ටම ඇති යැයි සිතුනු නිසා පිටියෙන් ඉවතට ගියා. මා ‘කූඹියෝ’ යැයි ගෞරවයෙන් කියන්නේ ඒ ටෙලි නිර්මාණයට පමණක් නොව ඒ විශිෂ්ට සමස්ත ක්‍රියාවලියටම යි. එබඳු ‘කූඹියන්’ අපේ සිනමාවේත් සිටිනවා. සමහර විට අප පෝෂණය කළ ලෝක සිනමා ශානරයන්ට වඩා වෙනස් සිනමා ශානර ඔවුන් පෝෂණය කරන බව පෙනෙනවා.

සිනමාවේ පවතින අර්බුදය විවිධ සිනමා නිර්මාණ බිහි නොවීම හා නිර්මාණවල පවත්නා දුගී බව නිසා ඇති වූවක් නොවේද?

අපේ සිනමාවේ අර්බුදයට අදාළව පවත්නා වෙනත් සංකීර්ණ ප්‍රශ්න රාශියක් අතර වඩාත්ම කැපී පෙනෙන ප්‍රශ්නයක් ඔබ ඔය නඟන්නේ. මානුෂික හැඟීම් දුෂ්ට ලෙස අලෙවි කරන උද්වේග නාටකය (Melo Drama) අපගේ ටෙලි නාට්‍යවලට කළ හානියම අපගේ සිනමාවටත් සිදු කර තිබෙන බව පෙනෙනවා. අනෙක් අතට පෙනෙනවා විශිෂ්ට තිර රචකයන් ගේ හිඟයක්. බොහෝ තිර රචනාවල දක්නට ලැබෙන සුලභ දුර්වලකමක් තමා අදාළ වියමන ස්ථාගත වන්නේ කවර නිශ්චිත කාල අවකාශයක ද යන්න අපැහැදිළි වීම. විශේෂයෙන් බොහෝ කතාවල අන්තර් නිර්මිතිය (Internal Structure) දුර්වල වීම. විශේෂයෙන් රටේ සමාජ සංස්කෘතික භූමිය පිළිබඳව නිශ්චිත අවබෝධයක් නොමැතිව ගොඩ නැඟුණු තිර රචනා සුලභයි. සමහර විට ඒ බොහෝ ඒවා විදේශ කෘතියකින් ගෙඩි පිටින් කොපි කළ ඒවා වෙන්න පුළුවන්. කවර ප්‍රචාරක අලංකාර වදන් මාලා යෙදුවත් කොපි චිත්‍රපට තැනීම දුගී බවක් පමණක් නොවෙයි, මහ හිඟන වැඩක්.

නූතන සිනමා විචාරය ගැන ඔබේ අදහස මොකක්ද, එය අපගේ සිනමාවට ආලෝකයක්, ඉදිරි දැක්මක් යෝජනා කරයි ද?

සිනමා කෘතියක් කියන්නේ සෞන්දර්යාස්වාදනීය වස්තුවක්, ප්‍රඥා ප්‍රපංචයක් වගේම එක්තරා භාෂාවක්. එතකොට මේ භාෂාව අවබෝධ කරගත හැක්කේත්, එය තව කෙනකුට ප්‍රකාශ කළ හැක්කේත්, එය අර්ථකථනය කළ හැක්කේත් එහි ව්‍යාකරණ දන්නා අයෙකුට පමණයි. සිනමා රසිකයා කියන්නේ මේ කියන සියලු කාරණාවලින් පරිපූර්ණ පුද්ගලයකු නොවිය හැකියි. එහෙත්, සිනමා විචාරකයා කියන්නේ රසිකයකු වන අතර ම මේ කියන සියලු කාරණාවලින් සහ ඊට එහාටත් දිවෙන සුවිශේෂ ප්‍රඥාවක් හිමි පුද්ගලයකු විය යුතුයි. එබඳු සුවිශේෂ විචාරක පිරිසක් කලකට ඉහත අප රටේ සිටියා. තරුණ පුවත් පත් කලාවේදීන් විදිහට අප ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඔවුන් ආවේ කොහෙන්ද? සමහර විට විශ්ව විද්‍යාලවලින්, සමහර විට පුවත්පත් කලාවෙන්, සමහර විට සාහිත්‍ය කලාවෙන්, සමහර විට නාට්‍ය කලාවෙන්. සිනමා කලාවෙන් පැමිණි අයත් සිටියා.

කවර අඩුපාඩු මධ්‍යයේ වුවත් ඒ සිනමා බුද්ධි සම්ප්‍රදාය තවමත් ගෙන යන කෙනකු, දෙදෙනකු අපට නොසිටිනවාමත් නොවේ. ඒ වගේම අද යම් දෘෂ්ටිවාදී ව්‍යාපාරවලින් ප්‍රකාශයට පත් කෙරෙන සිනමා විචාරයන් දකින්න ලැබෙනවා. තම දෘෂ්ටිවාදයට ම ආධානග්‍රාහී බව පෙනෙන මේ ඇතැම් විචාරයන් එයට අනුකූල නොවන ඕනෑම යහපත් සිනමා කෘතියක් හැකි උපරිමයෙන් හෙළා දැකීමට පෙළඹී සිටිනවා. හොඳට බලන්න ඔවුන් අවර ගණයේ කෘතියකට ‘හ්ම්’ කියන්නේ වත් නැහැ. දැන් මෙබඳු විචාර ප්‍රවණතාවක් ඔබ අහනවා වගේ අපගේ සිනමාවට ආලෝක ධාරාවක්වත්, ඉදිරි දැක්මත් වත් පෙන්වන්නේ නැහැ.

යමෙකුට ව්‍යාජ සන්නිවේදන වීරත්වයක් ගොඩ නඟා ගැනීමට නම් මෙය හොඳ ක්‍රමයක් වෙන්න පුළුවන්. කලක් සිනමා විචාරයේ නියැලුණු කෙනෙක් විදිහට, ශ්‍රී ලංකාවේ බොහෝ විශිෂ්ට විචාරකයන් සම්බන්ධ වූ සිනමා අතිරේකයක් සම්පාදනය කළ කෙනෙක් විදිහට මා ඔවුනට යෝජනා කරන්නේ එක විටම ආධානග්‍රාහී සහ දෘෂ්ටිවාදී, එහෙයින් ම ආවේගවාදී ඒ දුර්වල විචාර ක්‍රමවේදය වෙනුවට වෙනත් නිර්දය විචාර ක්‍රමවේදයක් භාවිතා කිරීම වඩා යහපත් බවයි. ඔබේ සුවිශිෂ්ට රචනා ශක්තිය, සිනමාව පිළිබඳව ඔබ තුළ පවත්නා පෘථුල අවබෝධය අනාගත සිනමාවට මහත් මෙහෙයක් බවට පත් කළ හැක්කේ එවිටයි.

Comments