පාර්ලිමේන්තුව රැස් කළ පමණින් සියල්ල විසඳෙන්නේ නැහැ | Page 2 | සිළුමිණ

පාර්ලිමේන්තුව රැස් කළ පමණින් සියල්ල විසඳෙන්නේ නැහැ

''දූෂිත මනාප මැතිවරණ ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය ගේන්න කිව්වත් ඒක කාලයක් පස්සට ගියා. ජනතාවට ඕන කරන්නේ රටට ජනතාවටට වැඩ කරන ජනතා නියෝජිතයන් මිස තමන්ට වැඩ කර ගන්නා දේශපාලඥයන් නෙමෙයි.''

යහපාලන ආණ්ඩුවට අවුරුදු 3 1/2 ක කාලයක් විතරයි යන්න පුළුවන් වුණේ. අපේ රටේ දේශපාලනඥයින්ට එක්ව සමගිව දේශපාලනය කළ නොහැකි බවද මේ පෙන්නුම් කෙළේ?

කාලයක් තිස්සේ ජනතාව බලා සිටි ප්‍රශ්නවලට විසඳුම් මේ යහපාලනයෙන් ලැබුණේ නෑ. රටේ කිසිදු ආර්ථික ප්‍රශ්නයකට පිළිතුරු එයින් ලැබුණෙ නෑ. ජනතාවටත් මේ ක්‍රමවේදය තුළ ජීවත් වීමට අපහසුතාවක් ඇති වුණා. ඒ නිසයි තැන් තැන්වල උද්ඝෝෂණ වැඩවර්ජන ආරම්භ වුණේ.

ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි විශාල අප්‍රසාදයකුත් හටගෙන තිබුණා. ඒ වගේ ම ආණ්ඩුව පාලනය කරපු අයටත් නිසි ආකාරයේ පාලනයක් කරන්න බැරි තත්ත්වයක් උද්ගතවෙලා තිබුණේ. කලින් අපි නොදැකපු පාලන ව්‍යුහයක් දැක්කා. නමුත් ඒ අයට රට හැදීමේ ඍජු අවශ්‍යතාවක් නොතිබුණ නිසයි මේ ගමන ඉදිරියට යන්න බැරි වුණේ. මේ ඇතිවූ අර්බුදයත් ඒ ආර්ථික ගැටලුවේ ම එක් පියවරක් ලෙසයි මා දකින්නේ.

එහිදී ජනතාවට තිබූ ආර්ථික ගැටලුව මදිවට ර‍ෙට් දේශපාලන අස්ථාවර තත්ත්වයක් නිර්මාණය කිරීම තුළින් ජනතාව තවත් අවුල් වුණා. ඒ අවුල්වීමට ජනාධිපතිතුමාත්, හිටපු අගමැතිතුමාත් වර්තමානයේ බලය අරගත්ත පිරිසත් වගකිව යුතු වනවා. කොහොම වුණත් පාර්ලිමේන්තුව කඩිනමින් රැස් කරන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ.

පාර්ලිමේන්තුව 7 වැනිදා රැස් කරන බව ජනාධිපතිතුමා දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තුව රැස් කළ පමණින් මේ සියල්ල විස‍දේවි කියා ඔබ සිතනවාද?

පාර්ලිමේන්තුව රැස් කළ පමණින් සියල්ල විස‍ඳේවි යැයි අප විශ්වාස කරන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තුව රැස් කිරීම කළ යුතු වනවා.

කොහොම වුණත් මේ නොසන්සුන්තාව නිර්මාණ කළේ ජනතාව නෙමෙයිනෙ. බදුබර අඩු කිරීම හෝ බඩු මිල අඩු කිරීමට මෙය විසඳුමක් නෙමෙයිනෙ. හැම දෙයක් ම තමන්ගේ බලය රඳා පවත්වා ගන්න ගත්ත ක්‍රමවේදයක් මිසක් ජනතා හිතවාදී තීන්දු තීරණ නෙමෙයි.

නමුත් ජනාධිපතිවරයා පැහැදිලිව පැවසුවා විධායක ජනාධිපති ක්‍රමයේ බලය අඩු කරන බව.

ඒක ‍බොරු කතාවක්නෙ. ජනාධිපතිවරයා දිවුරුම් දෙද්දී කිව්වෙත්, සිවිල් සංවිධාන ඉදිරියෙත් ඒ වගේම මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන උත්සවයෙදිත් පැවසුවේ විධාක ජනාධිපති ක්‍රමය අවසන් කරන බවයි. නමුත් එතුමා දැන් උත්සාහ කරන්නේ විධායක බලය අත් හැරීමට නොවන බව පැහැදිලියි. එතුමා මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට කටයුතු කරනා බවක් පෙනෙනවා. ඒ සඳහා එතුමා පොහොට්ටුවේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවයි පෙනෙන්නේ.

අනෙක් පසින් මීළඟ මැතිවරණය ‍වන තෙක් ඉවසන්නට නොහැකිව බල තණ්හාවක් පොහොට්ටුවටත් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාටත් අද විඳවන්න වෙලා. මේ නායකයන් තුන්දෙනා තමන් ගැන පමණක් හිතා රට ගැන නොහිතා ගත් තීන්දු තීරණ නිසයි ජනතාව මත හෙණ ගෙඩි සේ මේ පාත්වී ඇත්තේ.

ජනතා විමුක්ති පෙරමුණ මේ අර්බුදයට ගත යුතු විසඳුම ලෙස දකින්නේ කුමක් ද?

අපි පැහැදිලිවම කියන්නේ පාර්ලිමේන්තුව රැස් කරන්න කියායි. පාර්ලිමේන්තුව රැස් කර බහුතරය පෙන්විය හැකි අයට අගමැතිකම ලබා දෙන ලෙසයි අප ඉල්ලා සිටින්නේ. එහෙත් ඒ සඳහා අප කිසිදු අයකුට සහාය ලබා දෙන්නේ නැහැ. රටේ ආර්ථිකයේ හෝ දේශපාලනයේ කිසිඳු වෙනසක් සිදුවේයැයි අප විශ්වාස කරන්නේ නැහැ.

එහෙම නම් ඇයි පාර්ලිමේන්තුව රැස් කරන ලෙස ඔබ පක්ෂයෙන් ඉල්ලා සිටින්නේ?

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහායි. පාර්ලිමේන්තුව තුළ විසඳා ගත යුතු ප්‍රශ්න එළියේ විසඳා ගත යුතු නැහැ. ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන නියෝජිතයා පත් කර ගැනීම පාර්ලිමේන්තුවට බාර දෙන්න.

ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගට ම උත්සාහ කරන්නේ 20 වැනි සංශෝධනය පණ ගන්වන්නයි. ඒ තුළින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වී පළාත් සභා හරහා රට බෙදීමට, නැත්නම් ෆෙඩරල් තත්ත්වයට රට පත් කිරිමට හැකියාවක් ලැබෙනවා නේද?

විධායක ජනාධිපති ක්‍රමය කොයිතරම් මේ රටට නොගැළ‍පෙනවාද යන්න මේ වන විට ඉතාම හොඳින් පැහැදිලි වී තිබෙනවා. ජනාධිපතිවරයාට පුළුවන් නම් තමන්ට හිතූ හිතූ විට පාර්ලිමේන්තුව කල් දමන්න තමන්ට හිතෙන හිතෙන වේලාවට පාර්ලිමේන්තුව නොසලකා අගමැතිවරයා ඉවත් කරන්න, පත් කරන්න පුළුවන්නම් ඒකෙ තියෙන භයානකත්වය, ව්‍යාකූලත්වය තේරෙන්න ඕන. අනිත් එක 20 වන සංශෝධනයෙන් විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩුවී ගියත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ බලය ඉවත් කර නැහැ. ජනාධිපතිවරයා සිටිනවා. එම නිසා ජනාධිපති ධුරය තවදුරටත් තිබෙනවාද තියා ගත යුතුද කියා ජනතාව තහවුරු කළ යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න වැඩියෙන් ම විරුද්ධ වුණ අයතමයි පාඨලි චම්පික, හකීම්, මනෝ ගනේෂන් යන අය. ඒ අයගේ අගමැති තුමාව ම විධායක ජනාධිපතිවරයා විසින් නෙරපා දැමුවා. අපි දැන් අහන්නේ දැනුත් ඒ අය විධායක ජනාධිපති ධුරයට එකඟයි ද කියා. අපේ රටේ පළාත් සභා ගැට ගසා ඇත්තේ විධායක ජනාධිපතිවරයාට නෙමෙයි ජනාධිපතිවරයාටයි. 20 වන සංශෝධනයෙන් පළාත් සභා සම්බන්ධව ජනාධිපතිවරයාට ඇති බලතල අඩු වන්නේ නැහැ.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කිසි දිනක රට කැඩෙනවාට එකඟ වන්නේ නැහැ. ඉන්දියාව රට බෙදන්න එන විට ඊට විරුද්ධව දිවි හිමියෙන් සටන් කළේ අපි. උතුරු නැ‍ඟෙනහිර පළාත් වශයෙන් යළිත් වෙන් කෙළේ අපි. එහෙම කරපු අපි රට කැඩෙන්න ඉඩ දෙන්නෙ නැහැ. ඔය කතා සියල්ල විධායක ජනාධිපතිකම තියාගන්න දඟලන අයගේ කතා විතරයි.

අරලියගහ මැදුරට ගිය රාජ්‍ය නිලධාරින්ට එහි සිටි පිරිස පහර දුන් බවක් වාර්තා වුණා. අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී මෙවන් පහරදීමක් සිදුවීම ඔබ අනුමත කරනවාද?

රටේ ඉහළ ම පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් හමුවේ ඊට පහළින් ඉන්න සියලු දෙනාගේ ක්‍රියාකාරීත්වය ඒ හා සමාන තත්ත්වයක තමයි පිහිටන්නෙ. අරලිය ගහ මැදුරේ අයිතිය ගැන තීරණ කළ යුත්තේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුවය. රට මේ තත්ත්වයට එක්වරම පත්වුණා නොව බලලෝභින් විසින් පත් කළා. ඒ තත්ත්වයට විසඳුම් නොදී මේ ගැටලුව විසඳන්න බැහැ. ජනතාව මන්ත්‍රීවරුන් පත් කරන්නේ ජනතාවට සෙතක් සිදු කරගන්න රටට සෙතක් සිදු කර ගන්න මිස පාලකයන්ට වරදාන පරප්‍රසාද ගන්න නෙමෙයි. ඒ අයත් රටේ පුරවැසියන් පමණයි.

මේ දේශපාලන පෙරළිය ඒ ලෙසින් ජනතා සෙතක් උදෙසා කියන එක ඔබ පිළි ගන්නේ නැතිද?

එක් පක්ෂයක සිට අනෙක් පක්ෂයට පැන යන මන්ත්‍රීවරුන්ගෙන්ද ජනතා සෙත බලපොරොත්තු වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් රට බේරා ගන්න කියපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඒ අයව මුදලට ගන්නේ ඒ අයගෙන් රට බේරා ගන්නද කියන එක අහන්නේ කාගෙන්ද? යන අයට ලැජ්ජාවකුත් නැහැ. ගන්න අයට ලැජ්ජාවකුත් නැහැ. මේවට හිනාවෙනව ඇරෙන්න කරන්න වෙන දෙයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ට විරුද්ධව ගෙනාපු යෝජනාවන් ක්‍රියාත්මක වුණේ නැහැ. දෙපක්ෂයම තම පක්ෂයේ වාසියට ඒ යෝජනා ඉදිරියට ඒම වැළැක්වූවා. අද එහි විපාකය එයාල පමණක් නෙමෙයි රටම අත් විඳිනව. සැබෑ ජනතා නියෝජනයෙ නෙමෙයි අවසානයේ රටේ නියෝජනය වන්නේ.

ඉදිරියේදී මැතිවරණයක් එන බව පේනවා ජනතා විමුක්ති පෙරමුණ සූදානම්ද?

අපි මැතිවරණවලට බය නැහැ. දූෂිත මනාප මැතිවරණ ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය ගේන්න කිව්වත් ඒක කාලයක් පස්සට ගියා. ජනතාවට ඕන කරන්නේ රටට ජනතාවටට වැඩ කරන ජනතා නියෝජිතයන් මිස තමන්ට වැඩ කර ගන්නා දේශපාලඥයන් නෙමෙයි.

 

Comments