ක්‍රීඩා නීතියට පණ දුන්නාම ක්‍රීඩාව හා කළ සෙල්ලම් ඉවරයි | සිළුමිණ

ක්‍රීඩා නීතියට පණ දුන්නාම ක්‍රීඩාව හා කළ සෙල්ලම් ඉවරයි

 නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගැන අසන්නට ලැබුණේ සුබදායක පුවත් නොවේ. එක් අතකින් දිගින් දිගටම ලබන පරාජයන්ය. අනෙක් අතින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ද විශාල චෝදනාවක් එල්ල විය. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂිතම ර‍ට ලෙස ඔවුන් ශ්‍රී ලංකාව හඳුන්වාදී තිබීමයි. ක්‍රිකට් තරග පාවාදීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී එකකයේ ස්ටිවි රිචඩ්සන් මේ දිනවල මෙරටට පැමිණ තිබෙන අතර, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණ සහ වංචා පිළිබඳ වාර්තා කිරීමට සති දෙකක සහන කාලයක් (ජනවාරි 16-31 දක්වා) ද මේ සඳහා ලබා දී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පාවා දෙන හෝ දුෂණයේ යෙදෙන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීමට යන නව නීති පද්ධතිය,

ක්‍රිකට් නිලවරණය ඇතුළු ලාංකේය ක්‍රීඩාවේ හෙට දවස පිළිබඳ කතාබහකට ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක, සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික නීතිඥ පණ්ඩුක කීර්තිනන්දට මේ ඉඩ කඩ අපි වෙන් කළෙමු.

රටේ ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරලා ති‍යෙනවා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මේ විදියට ඇද වැටිමට ප්‍රධාන හේතුවක් විදියට බොහෝ දෙනා දකින්නේ තරග පාවාදීම් වැලැක්වීමේ පනතක් නැති නිසා අද ඔට්ටුකරුවන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා.

ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න නම් අපට අනිව‍ාර්යෙන් ම නීතියක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. 2014 දී මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කළත්, එම තරග පවා දීම වැලැක්වීමේ පනත එළි දැක්වීමට නොහැකි වුණා. ඒත් වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධාන අවශ්‍යතාව - අරමුණ වෙලා තියෙන්නේ මේ තරග පවා දීම වැලැක්වීමේ ක්‍රීඩා පනත එළි දැක්වීමටයි.

රිචඩ්සන් විමර්ශන කටයුතුවල

ඒ සඳහා අමාත්‍යවරයා පෞද්ගලිකවත්, නෛතික වශයෙනුත් අමාත්‍යවරයාගේ බලතල උපරිමයෙන් යොදා ගෙන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් තුමාගේ අනුග්‍රහය සහයෝගය ඇතිව, නීතිපති දෙපාර්තමේන්තුවත්, අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සකාච්ඡා කළා. අපි කවදා ද මේ පනත එළි දක්වන්නේ කියලා. ඒ අනුව අප තීරණය කළා මාර්තු මාසයේ බොහෝ දුරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සභා සම්මත කර ගන්න බලනවා.

අන්තර්ජාතික ක්‍රිකට් ආයතනයේ දූෂණ මැඩලීමේ අංශයේ නියෝජිතයෙක් අද අපේ රටට ඇවිත් ඉන්නවා. අපි කවුරුත් දන්න විදියට ස්ටිව් රිචඩ්සන්. ඔහු සති දෙකක කාලය තුළ මේ දුෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා: විමර්ශන කරනවා. ඔහුගේ මූලික කාර්යය වෙලා තියෙන්නේ ජනවාරි 16 ඉඳලා 31 දක්වා මේ පොදු සමා කාලය ඇතුළේ ඔට්ටු අල්ලන්නන්, තරග පාවා දීම් සඳහා පෙලඹවූ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා නම් ඒ කාලය තුළ ලබාදීම මඟින් තොරතුරු ලබා දෙන්නන් ආරක්ෂා වෙනවා. මෙහි දී තොරතුරු ලබා දෙන අයට එරෙහිව නීතිමය පියවර ගන්නේ නෑ.

එමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වගේ ම ක්‍රීඩා අමාත්‍යාංශයත් බලාපොරොත්තු වෙන්නේ මේ ඔට්ටු අල්ලන්නන් සහ තරග පාවාදීම් කරන්නන් මොන ආකාරයෙන්ද මුල් බැස ගෙන තිබෙන්නේ සහ ඒ සම්බන්ධයෙන් තියෙන සාක්ෂි ‍සොයා බලා උපරිමයෙන් ම නිත්‍යානු කූලව කටයුතු කිරීමට තමයි මුලිකම අභිප්‍රාය වෙලා තියෙන්නේ.

සහන කාලයක්

විශේෂයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තියෙනවා අන්තර්ජාතික තරග පාවාදීම් සම්බන්ධ රෙගුලාසී මාලාවක්. මේ රෙගුලාසි මාලාව අනුව ක්‍රීඩකයන්ව පෙළඹවීමක් කරලා තියෙනවා නම් ක්‍රීඩකයාට පුළුවන් මේ සහන කාලය ඇතුළේ තොරතුරු දෙන්න. ඒ කියන්නේ මේ ක්‍රීඩකයා දැන සිටියා නම් පමණයි මේ දේ කරන්න පුළුවන්, එතකොට මේ ක්‍රීඩකයා සාක්ෂි කාරයෙක් වෙනවා. හැබැයි ඒ ක්‍රීඩකයා තරග පාවාදීමක් සිදු කරලා තියෙනවා නම් එහිදි ඔහුව ආවරණය වීමක් සිද්ධ වෙන්නේ නෑ.

තොරතුරු රහසිගතයි

ඒත් යම් කිසි පුද්ගලයෙකු ඒ ක්‍රීඩකයාව පෙලඹවීමක් කරා කියලා යම් තැනකට උදාහරණයකට ශ්‍රී ලංකා ආයතනයට දැනුවත් කරලා තිබුණොත් මේ කාලය තුළ ඔහුට ඒවා ඉදිර‍ිපත් කිරීමේ හැකියාව තියෙනවා. මේ කාලය තුළ ලබාදෙන හැම කරුණක්ම, සාධකයක්ම රහසිගතයි. ඒ වගේම සාක්ෂි දෙන්නන්ගේ පනතින් ආරක්ෂා වෙනවා.

අපේ රටේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතක් තියෙනවා. ඒ අනුව ඔවුන් වගේම ලබා දෙන්නා වූ සාක්ෂි තොරතුරු ආරක්ෂා වෙනවා. ස්ටිව් රිචඩ්සන් විසින් මේ සඳහා ඔහුගේ ඊමේල් ලිපිනය, දුරකතන අංකය වගේ ම ඔහු‍ව මුණ ගැසී මේ පිළිබඳ සියලු තොරතුරු ලබා දීමේ හැකියාව තියෙනවා.

මූලික ඉලක්කය

මෙයින් ප්‍රධාන වශයෙන් ම බලාපොරොත්තු වන්නේ මේ සහන කාලය තුළ උපරිම ප්‍රයෝජන අරගෙන මින් ඉදිරියට හොඳ ගැම්මකින් අපේ ක්‍රිකට් ක්‍රීඩාව අනාගතයට රැගෙන යාම තමයි මූලිකම ඉලක්කය වෙලා තියෙන්නේ. ඒ අනුව අපිට පුළුවන් පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව පසු බැසීමට මූලික වශයෙන් හේතු වුණු සාධක ඉවත් කරලා පිරිසුදු පාලනයක් ඇති කරන්න. ඒ වගේම ශක්තිමත් නීතිරීති මාලාවක් ඇති කරලා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝකයේ ඉහළම තත්ත්වයකට ගෙන යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.

අපට නැවතත් 1996 සහ ඊට පස්සේ තිබුණූ ක්‍රිකට් ක්‍රීඩාව අන්තර් ජාතික වශයෙන් ඉහළට රැගෙන යන්න නම් මේ අපිරිසුදු මඩ ගොහොරුවේ ගිලී තියෙන ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ අරගෙන ප‍ිරිසුදු කරගන්නට ඕන. අපි යන්නේ ශුද්ධ වූ ක්‍රීඩාවකට මිසක් අශුද්ධ වූ ක්‍රීඩාවකට නෙමෙයි. මේ දේවල් අවබෝධ කරගෙන අපට ඉදිරියට යන්න පුළුවන් නම් අපට කිසිම හිරිකිතයක් නැතුවම අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන මහත් අභිමානයකින් කතා කරන්න පුළුවන් වෙයි. අපේ මූලික ඉලක්කය වගේම අභිප්‍රාය වන්නේ ක්‍රීඩාව ඒ තැනට ගෙන එන්නයි.

ඊට අමතරව අපේ රටේ දැනට ක්‍රීඩා 64ක් තියෙනවා. මේ 64 ම ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබන්ධ වෙලා තියෙන්නේ. මේ ක්‍රීඩා 64ම දිරි ගන්වන තැනකට අපි ගෙන යන්න ඕනෑ. එහෙම වුණොත් විතරයි අපට ලෝකයා ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ.

ආසියාතික තරගවලදී බැලුවත් අපි වැටිලා ඉන්නේ. ආසියානු තරගාවලිවල පදක්කම් අඩු වෙලා ත‍ියෙනවා. දකුණු ආසියාව ගත්තත් අපට ජය ගැනීම අමාරු තැනකයි තියෙන්නේ. මේ හැම දෙයක්ම හොයලා බලලා ක්‍රීඩා අමාත්‍යවරයා හා අමාත්‍යාංශය දෙන්න ඕන උපරිම සහය ලබා දිය යුතුයි. මේවා අතරට යටිතල පහසුකම්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබිය යුතු හැම වරප්‍රසාදයක්ම ලබා දීම තුළින් ක්‍රීඩාව ඉහලට ගැනීම තමයි මූලිකම අභිප්‍රාය වෙන්නේ.

පෙබරවාරි 07

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය 2019 – 21 අවුරුදු සඳහා තමයි මේ නිලවරණය පවත්වන්නේ. මේ සඳහා නාම යෝජනා කැඳවලා තියෙන්නේ.

 

ක්‍රීඩා පනතට සහ ක්‍රීඩා රෙගුලාසිවලට ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව ස්වාධින සහ සාධාරණ නිලවරණයක් පවත්වන්න කටයුතු යොදලා තියෙනවා. මේ නිලවරණයෙන් කවුරු දිනුවත් අපට ප්‍රශ්නයක් නෑ. අපට අවශ්‍ය ක්‍රීඩාව සඳහා පිරිසුදු පාලකයන් පිරිසක්. ඡන්දයෙන් පත් වුණාට පස්සේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕනෑ. ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිම ආකාරයට මෙයට සම්බන්ධ වීමක් නෑ.

අභියාචනා කමිටුවක්

විශේෂයෙන් ඡන්දය සම්බන්ධයෙන් කවුරුන් හෝ අතෘප්තියට පත් වුණොත් ක්‍රීඩා නීතිය යටතේ තියෙන්නේ තම ඇපෑල දින හතක කාලයක් තුළ ඉදිරිපත් කරන්න ඕනෑ. මෙතැන ඇමැතිවරයා පත් කරන කමිටුවක් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. උපරිමාධිකරණ විනිසුරුවන් සහ ඇ‍පෑලේ අධිකරණ විනිසුරුවන් සමන්විත අභියාචන කමිටුවකින් තමයි මේ කමිටුව සමන්විත වෙන්නේ. මෙවැනි ක්‍රම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන සහ නිදහස් සාධාරණ ක්‍රීඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගැනීමයි.

පෙබරවාරි 07වන දා ක්‍රිකට් නිලවරණය තියෙනවා. මේ දිනයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නෑ. දේශපාලන භේදයකින් තොරව ක්‍රීඩාව වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තීන්දු - තීරණ අප ගන්න බලාපොරොත්තු වෙනවා. සියලු ම දෙනාට සාධාරණව ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ මූලික අවශ්‍යතාව ක්‍රීඩාව දේශපාලනයෙන් ඈත් කරලා සාධාරණ සහ නිදහසේ ගෙන යෑමට ඕනෑ කරන පසුබිම සකස් කිරීමයි.

පිරිසුදු පරිපාලකයෝ

ක්‍රීඩා අමාත්‍යවරයාට ලොකු අවශ්‍යතාවක් තිබුණා, පිරිසුදු පරිපාලකයන් පිරිසක් ක්‍රිකට් පරිපාලනයට ගෙන එන්න. ඒත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දිගින් දිගට ම කියා සිටියේ නිලවරණයකින් නිලධාරින් පත් කරගෙන පරිපාලනය ගෙන යන්න කියලා. අපි ඒ අනුව තමයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ නීති රීති අනුවත් දේශීය වශයෙන් ගත්තත් පිරිසුදු ඡන්දයකට ගිහින් නිලධාරීන් පත් කර ගැනීම වඩාත් සුදුසුයි කියලා තීරණය කළේ.

දූෂිත ක්‍රියා රැසක්

තරග පාවා දීම් වැළැක්වීමේ පනත කඩිනමින් සම්මත කර ගන්න ඕනෑ. එතකොට කිසිම කෙනෙකුට මේ සෙල්ලම් කරන්න බෑ. මෑත කාලයේ ක්‍රිකට් ආයතනයේ දූෂිත ක්‍රියා රැසක් වාර්තා වු‍ණා. මේ මොහොතේ මම ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න කැමැති නෑ. එහෙත් දැනටමත් සමහර අයව අධිකරණය මඟින් බන්ධනාගාර ගත කරලා තියෙනවා. ඒ ගැන විමර්ශන කටයුතු කරගෙන යනවා. ඊට අමතරව සමහර ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට ඒ සම්බන්ධ අනෙකුත් සමහර විධායක නිලධාරීන්ට විරුද්ධව විමර්ශන කටයුතු කරනවා. මේවාට එරෙහිව තමයි පිරිසුදු පාලනයක් ගෙන එන්න අතුරු කමිටුවක් පත් කරන්න හිටියේ. ඊට පස්සේ තමයි අපි නිලවරණයට යන්න හිටියේ. එහෙත් අන්තිමේ ක්‍රීඩා අමාත්‍යවරයා සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා, කවුරු පත් වුණත් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. සියලුම දෙනාට පිළිගන්න පුළුවන් අවංක සහ සාධාරණ නිලවරණයකට යන්න.

තහනමක් නෑ.

අපිට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කිසිම තහනමක් පණවන්නේ නෑ. හුඟක් මාධ්‍යවල අවුරුදු පහේ තහනම් ගැන කතා වෙනවා. මේවා ‍ඔක්කෝම අසත්‍යයයි. එය සම්බන්ධයෙන් වන සියලු ප්‍රචාරයන් සත්‍යයෙන් තොර ඒවා. ඒ කිසි දෙයක් වෙන්නේ නෑ, තහනමකට යන්න ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ක්‍රිකට් ආයතනය වරදක් කරලා නෑ. හැබැයි ක්‍රිකට් ආයතනයට සම්බන්ධ පුද්ගලයන්, ක්‍රිඩකයෝ, පරිපාලන නිලධාරීන්, විනිසුරුවන්, පුහුණුකරුවන්, තේරුම් කමිටු සාමාජිකයන් විදියට යම් යම් අය කිහිප දෙනෙක් පමණයි මෙයට සම්බන්ධ කියලා ආරංචි වෙලා තියෙන්නේ. එකෙන් ගම්‍ය වන්නේ නෑ. මුළු ක්‍රීඩාවම විනාශ වෙලා තියෙනවා. නැත්නම් දුෂිතයි කියලා.

භයානක තත්ත්වයක්

අපි දන්නවා අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ටෙස්ට් වරම් ලැබූ රටවල් 12ක් ‍තියෙනවා. මේ රටවල් වලින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වර්ගීකරණය අනුව, තරග පාවාදීම් සම්බන්ධයෙන් තියෙන්නේ ඉතාමත් පහළම තත්ත්වයක්. එහෙම නැත්නම් නරකම තැනක තමයි අපි ඉන්නේ. ඇත්තටම ඒක හරිම භයානක තත්වයක්. අපි ඇත්තට ම කනගාටු වෙන්න ඕනෑ තත්ත්වයක් තමයි මේ උදාවෙලා තියෙන්නේ. අපිට සතුටු වෙන්න බෑ.

ක්‍රිකට් මළගම

අපි ඇෆ්ගන්ලට පැරදුණා. හුගක් තරගාවලි අපි පැරදිලා තියෙනවා. මෙහෙම වෙන කොට ක්‍රීඩකයන්ගේ මානසිකත්වයත් වැටිලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ක්‍රීඩාව පිරිසුදු කරන්නේ නැතුව උඩට ගන්නේ නැතුව, ක්‍රීඩකයන්ට ශක්තියක් දෙන්නේ නැතුව මේ විදියටම යන්න දුන්නොත් අනිවාර්යෙන් ම ක්‍රිකට් මළගමක් තමයි ඉතුරු වෙන්නේ. ඒ නිසා අමාත්‍යවරයාට වගකීමක් තියෙනවා. මේවායේ ගැටලු විසඳගෙන ඉදිරියට යන්න.

ඒ ගමනට තියෙන බාධක හඳුනාගෙන, නීති සම්පාදනය කරමින් පිරිසුදු පාලනයක් ඇති කරලා, විනිවිඳභාවයෙන් සහ අවංක භාවයකින් පරිපාලනය ගෙන ය‍ාමේ වාතාවරණය ඇති කිරීම මූලික වගකීමක් වෙනවා.

වැරැදි නිවැරැදි කළා

සාධාරණ සහ නීත්‍යනුකුල නිලවරණයක් තියන්න රෙගුලාසි රාශියක් ස්ථාපිත කරන්න ඕනෑ. ළඟදීත් අපි රෙගුලාසි කිහිපයක් ම සංශෝධනය කළා. පසුගිය කාලයේ වැරැදි කිහිපයක්ම අපි නිවැරැදි කළා. ඒ නීතිපතිතුමාගේ උපදෙස් මතයි. ඒ අනුව අපි සාධාරණ සහ අවංක නිලවරණයක් තියලා නිලධාරීන් පත් කරන්න බලා‍පොරොත්තු වෙනවා. මේ දේ ක්‍රිකට්වලට විතරක් සීමා වෙන්නේ නෑ. සියලුම ක්‍රීඩාවන්ට පොදුයි. අපි රටේ ක්‍රීඩා‍වන් මේ ආකාරයට ගොඩ ගන්න බලනවා. මේ දේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමක් විදියට දකිනවා. ජාතික ක්‍රීඩා සභාව නැවතත් අලුතින් පත් කරලා තියෙනවා. ‍ඒ හිටපු යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායකගේ ප්‍රධානත්වයෙන්, එහි කමිටු සාමාජිකයකු ලෙස මමත් කටයුතු කරනවා.

දේශපාලනයෙන් තොරයි

මේ මඟින් අපේ බලාපොරොත්තුව ක්‍රීඩාව වෙනුවෙන් උපරිමයෙන් සේවය කිරීමයි. අපි උපදේශක මණ්ඩලයක් විදියට අපේ රටේ ක්‍රීඩා මේ තියෙන අඩියෙන් පියවර කිහිපයක් හරි ඉදිරියට ගන්න තමයි බලන්නේ. හැම වෙලාවේ ම දේශපාලනයෙන් තොරව රටට ගැළපෙන විදියට ජාතික ක්‍රීඩා සභාවට පරිපාලන නිලධාරීන් පත් කර තියෙනවා.

රටේ ක්‍රීඩා දියුණු කිරීමට අමාත්‍යවරයාට උපරිමයෙන්ම සහය ලබාදීමයි අපේ මූලික අභිප්‍රාය. මේ අවුරුද්දේ අපි ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. අපේ සමස්ත ක්‍රීඩාවේ ඇති වෙලා තියෙන තාවකාලික පසු බැස්ම ඉවත් කරලා පිරිසුදු ක්‍රීඩාවක හොඳ ගමනක් යන්න අවශ්‍ය වටපිටාව අප සකසනවා. මේවා වචනවලට සීමා කර ගන්නේ නැතුව ක්‍රියාවෙන් මේ දේ ගොඩ ගැනීමේ වගකීම බාර ගන්නවා.

ක්‍රිකට් නිලවරණය හරි අතට

ක්‍රිකට් නිලවරණය ලබන 7 වැනිදාට යොදා ගන්න කොට නීතිමය බාධා කිහිපයක්ම තිබුණා. අභියාචනා කමිටුව පත් කරන්න බැරි තත්වයක් තිබුණේ. ඒ ක්‍රීඩා රෙගුලාසිවල තිබුණු අඩු පාඩු නිසා අපි ඒවා නීතිපති උපදෙස් උඩ ඒවා සංශෝධනය කරලා ගැසට් කරලත් අවසානයි.

නිලවරණ අභියාචනා කමිටුව හරි විදියට පත්කරගෙන නිලවරණය හරි විදියට පවත්වන්න ඕනෑ වුණා. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනෑ හරීන් ප්‍රනාන්දු තරුණ අමාත්‍යවරයෙක්. ඔහුගේ පක්ෂ දේශපාලනය මොකක් වුණත් ක්‍රීඩාවට දේශපාලනය ගාව ගන්න එපා කියලයි තියෙන්නේ. ක්‍රීඩාව සියලු දෙනාට පොදු දෙයක් විදියට දකිනවා.

දක්ෂයන්ට තැන

රටක ක්‍රීඩාවක් දියුණු කරන්න නම්, පන්ති, ජාති, ආගම්, කුල, පක්ෂ භේදවලින් තොරව සාධාරණ දක්ෂයාට තැන දෙන්න පුළුවන් වාතාවරණයක් සකස් කරලා යටිතල පහසුකම් ඇති කරලා, දක්ෂයන්ට පහසුකම් ලබා දීම තමයි ක්‍රීඩා අමාත්‍යාංශයේ අභිප්‍රාය. ඒ සඳහා ගන්න පුළුවන් සියලු ක්‍රියා මාර්ග ඉදිරියේ අප ගන්න බලාපොරොත්තු වෙනවා. අපේ ලේකම් චූලානන්ද පෙරේරා දක්ෂ රාජ්‍ය පරිපාලකයෙක්. මේ හැම දෙයක්ම එකතු කර ගනිමින් කාර්යක්ෂම පාලනයක් ක්‍රීඩාව තුළ ඇති කිරීම තමයි අපේ බලාපොරොත්තුව.

 

 

Comments