ලොකු ගැටලුවලට දේශපාලනයෙන් විසඳුම් සොයන බෙංගාලි කොටියා | සිළුමිණ

ලොකු ගැටලුවලට දේශපාලනයෙන් විසඳුම් සොයන බෙංගාලි කොටියා

බංග්ලාදේශයේ 11 වැනි මහා මැතිවරණය පැවැත්වූයේ ගෙවී ගිය වසරේ දෙසැම්බර් මස 30 වැනිදාය. එහිදී වත්මන් අගමැතිනිය වන ෂීක් හසිනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය පිට පිට තෙවැනි වරටත් ජය ගැනීමට සමත් විය.

එරටේ මහා මැතිවරණය දෙසට මෙවර වැඩි අවධානයක් යොමු වීමට විශේෂ හේතුවක් බලපෑවේය. ඒ වත්ම‍න් බංග්ලාදේශ එක්දින ජාතික කණ්ඩායමේ නායක මෂ්රෆි මෝර්ටෂා ද මහා මැතිවරණයේ අපේක්ෂයෙකු ලෙසට තරග කිරීමයි. මේ වන විට එ‍රටේ සිටින ජනප්‍රියතම ක්‍රීඩා තරුව ලෙසට සැළකෙන්නේ ද 35 හැවිරිදි මෂ්රෆිමයි. ඒ බව පැහැදිලිව සනාථ කරමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් පාර්ලිමේන්තුවට ඔහු තේරී පත් වූයේය.

හෙතෙම තරග කළේ සිය උපන් ප්‍රදේශය වන නාරායිල් - 2 අසුනටයි. එහිදී ඔහු ලබා ගත් ඡන්ද ප්‍රමාණය 274,418කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 96කි. මෂ්රෆිගේ ප්‍රතිවාදියා වූයේ ජාටියා ඔයිකියා පෙරමුණ පක්ෂයේ ෆාරිඩුෂ්මාන් ෆාර්හාඩ්ය. ඔහු ලබා ගත්තේ ඡන්ද 8006 ක් පමණකි.

මෙවර බංග්ලාදේශ මහා මැතිවරණයට එරටේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින් තිදෙනක් ම ඉදිරිපත් වූහ. ඔවුන් තිදෙනා ම නියෝජනය කළේ අවාමි ලීගයයි. එමෙන් ම ඔවුන් තිදෙනාම ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරීම විශේෂත්වයකි.

ඔවුන් නම් මෂ්රෆි, නයිමුර් රහ්මාන් සහ නෂ්මුල් හසන්ය. කෙසේ වෙතත් මෂ්රෆි හැර නයිමුර් සහ නෂ්මුල් මීට පෙරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙසට ක්‍රියා කර තිබේ.

නයිමුර් රහ්මන් (උපත 1974 සැප්තැම්බර් 19) බංග්ලාදේශයේ ප්‍රථම ටෙස්ට් නායකයාය. හෙතෙම මෙවර තරග කළේ මානික්ගාන්ජ් - 1 අසුන වෙනුවෙනි. ඔහු මුලින් ම පාර්ලිමේන්තුවට තේරුණේ 2014 වසරේදීය.

නෂ්මුල් හසන් (උපත 1961 මැයි 31) වත්මන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාය. එමෙන්ම 2018 වසරේ සිට ආසියානු ක්‍රිකට් සභාවේ සභාපති ලෙසටත් ක්‍රියා කරයි. කිෂෝරෙගාන්ජ් - 6 අසුනට ඔහු මෙවර තරග කළේය. හෙතෙම 2009 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

මෂ්රෆි මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වන බව අනාවරණය කළේ ඉකුත් නොවැම්බර් මාසයේදීය. ඒ අවාමි ලීගය ඔහුගේ නාම යෝජනාව පිළිගත් විටදීය. එසේ වුවත් හෙතෙම සිය ඡන්ද ව්‍යාපාරය ඇරඹුවේ දෙසැම්බර් 22 වැනිදාය. ඒ මහා මැතිවරණය පැවැත්වීමට දින 08 ක් වැනි කෙටි කාලයක් තිබියදීය.

එය එසේ ප්‍රමාද වීමට වූයේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත්ට එරෙහිව පැවැති එක්දින තරගමාලාව දෙසැම්බර් 14 වැනිදා නිමාවට පත් වීමයි. එමෙන්ම ඒ වන විට මෂ්රෆි කලවයේ ආබාධයකට ලක් වීමයි.

හෙතෙම තමන් දේශපාලනයට පිවිසීමට තීරණය ක‍ළ හේතු සිය ෆේස් බුක් පිටුවේ සටහන් කළේ මෙසේය. “දේශපාලනය සඳහා කවදත් මා තුළ දැඩි උනන්දුවක් තිබුණා. දේශපාලනය නැතුව අප රට සංවර්ධනය කළ නොහැකි බව මම සෑම විටම විශ්වාස කළා. දැන් මට මගේ රට වෙනුවෙන් තවත් යමක් කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. 2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මා වෙනුවෙන් කුමක් බලා සිටිනවාද කියලා මම දන්නේ නැහැ. මගේ කාලය මට වටිනවා. ඊට මගේ අවධානයත් යොමු කරනවා. මම විශ්වාස කරන තවත් දෙයක් තියෙනවා. ඒ සෑම දෙයක් ම නියම වෙලාවේදී කළ යුතු බව.”

කෙසේ වෙතත් මෂ්රෆිගේ දේශපාලන ආගමනය අනපේක්ෂිතව සිදු වූ දෙයක් නොවේ. ඒ ගැන විවිධ කතා 2017 වසරේ සිට පැතිර ගියේය. ඒ ‘නාරායිල් එක්ස්ප්‍රස්’ පදනම පිහිටු වීමය. මෂ්ර‍ෆිට පටබැඳී තිබෙන එක් නාමයක් වන්නේ ද නාරායිල් සීඝ්‍රගාමියා හෙවත් නාරායිල් එක්ස්ප්‍රස්ය.

මෙම පදනම ලාභ නොලබන සමාජ සුබ සාධන ව්‍යාපාරයකි. එය නාරායිල් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ශිෂ්‍යත්ව ලබා ගැනීමට උදව් කළේය. එමෙන්ම ඩකා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට වට්ටම් ද ලබා දුන්නේය.

මීට අමතරව නාරායිල් නගරය පුරාම පානීය ජලය ලබා දීමට භාජන යොදා විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කළේය. එය විශේෂයෙන් ම ක්‍රියාත්මක කළේ රික්ෂෝ රථ අදින්නන් සඳහාය.

මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් ක්‍රිකට් පිටිය තුළ දක්වන ලද දක්ෂතා නිසාත් මෂ්රෆිගේ ජනප්‍රියතාවයත් දිනෙන් දිනම ඉහළ ගියේය. මෂ්රෆි සිය ඡන්ද ව්‍යාපාරය කෙටි කාලීනව කළත් එහිදී තම ඡන්ද දායකයන් සමඟ උපරිමව ගත කිරීමට අමතක කළේ නැත. එහිදී බොහෝවිට කළු පැහැති සාලුවක් බෙල්ලේ දවටාගෙන ඔහු ජනතාව අතරට ගියේය.

ඔහු සිය ඡන්ද ව්‍යාපාරයේ නිරත වූයේ දිනපතා උදේ 10 සිට රාත්‍රී 07 දක්වාය. එහිදී මිනිසුන්ගේ හඬට මනාව සවන් දුන්නේය. සෙල්ෆි ගත්තේය. ළමයින්ට රසකැවිලි සහ සහල් කේක් පිරිනැමීය. ඔහුගේ ඡන්ද ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට ඩකා නුවර සිටත් ජනතාව පැමිණීම විශේෂත්වයක් විය.

මෂ්රෆි මෝටර්ෂාව සමීපව ඇසුරු කරන හිත මිතුරන්ට ඔහු දේශපාලනයට යොමු වීම හෝ ජනතාවට උදව් කිරීමට ඉදිරිපත් වීම පුදුමයට පත් වියයුතු හේතු නොවේ. ඔහු මෙසේ සමාජ සේවයේ නිරත වන්නේ දශකයකටත් වැඩි කාලයක සිටයි. හෙතෙම නාරායිල් දිස්ත්‍රික්කයේ දුප්පතුන්ට මුදල් පරිත්‍යාග කළේය.

එමෙන්ම රැකියා නොමැති උගතුන් හට රැකියා සොයා ගැනීමට උපකාර කළේය. “අඩු පහසුකම් සහිතව ජීවත් වන හුඟාක් අය සිටිනවා. ඔවුන්ගේ ජීවිත වෙනස් කර ගන්න පුළුවන් අපි වගේ අයත් සුළුවෙන් හෝ උදව් කළොත්. මම සමාජ සේවය කලක සිටම කරනවා. එය ලොකුවට කරන විට මට තේරුණු දෙයක් තියෙනවා. ඒ තමයි මෙම ලොකු ගැටලුවලට විසඳුම් දීමට හැකියාව තිබෙන්නේ ඔබ දේශපාලනය කළහොත් විතරයි කියලා.” මෂ්රෆි පවසයි.

බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ප්‍රථම විශිෂ්ට මඳ වේග හෝ වේග පන්දු යවන්නා ලෙසටත් සැළකෙන්නේ මෂ්රෆිය. ඔහු ගැන එරටේ ක්‍රිකට් බලධාරින්ගේ අවධානය මුල් වරට යොමු වූයේ 2001 වසරේදීය. ඒ වයස අවුරුදු 17 න් පහළ කලාප තරගාවලියේදී දැක්වූ දස්කම් මතය.

මෂ්රෆිගේ මූලිකම කාර්යභාරය වනුයේ පන්දු යැවීමයි. එහෙත් ඔහුට පිතිහරඹයටත් හැකියාවක් ඇත. ඔහුගේ පිතිහරඹය වේගවත්ය. ඔහුගේ පන්දු යැවීමේ හැකියාව මුල් යුගයේදී දුටු හිටපු විශිෂ්ට බටහිර ඉන්දීය කොදෙව් දූපත් වේග පන්දු යවන්නකු වන ඇන්ඩි රොබට්ස් මෙසේ සිය මතය දැක්වීය. “ඔහුට හොඳ අනාගතයක් තියෙනවා.”

පසුව ඉන්දියාවට එරෙහිව පැවැති තරග හතරකදී මෂ්රෆි බංග්ලාදේශ ඒ කණ්ඩායම නියෝජනය කළේය. එහි දස්කම් මත අන්තර්ජාතික වරම හිමි වූයේය. එසේ වුවත් ඔහුගේ ක්‍රීඩා දිවියට විටින් විට ආබාධ බාධා කළේය. මේ වන විට දණහිස් සහ වළලුකර ආබාධ සඳහා මුළු සැත්කම් දහයකට ඔහුට මුහුණ දීමට සිදු වී තිබේ.

මෂ්රෆි මේ වන විට බංග්ලාදේශ ප්‍රීමියර් ලීග 20 - 20 තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියි. ඊට පසුව බංග්ලාදේශ ජාතික කණ්ඩායම ටෙස්ට් සහ එක්දින තරග සංචාරයකට නවසීලන්තයට යාමට නියමිතයි. එය නිමා වූ විට අයර්ලන්තයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියකට බංග්ලාදේශය සහභාගි වේ. 2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඊට පසුව පැවැත්වෙයි.

බොහෝ දෙනාට අනුව මෂ්රෆි ලෝක කුසලානයට සහභාගි වීමෙන් අනතුරුව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ඇත. ඔහුගේ බලාපොරොත්තුව වන්නේත් ක්‍රීඩාවෙන් ඉවත් වූ විට පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වීමයි.

“මගේ ක්‍රීඩා දිවිය නිමා වෙමින් තිබෙන්නේ. දේශපාලනය සහ ක්‍රිකට් අතරත් පොදු කරුණු කිහිපයක් තිබෙනවා. කුමන හෝ දෙයක් වෙනුවෙන් ඔබ දිගටම මහන්සි වී වැඩ කළහොත් කෙදිනක හෝ එහි ප්‍රතිඵල ඔබට ලැබේවි. මේ දෙඅංශයේදී ම වගකීම අවශ්‍ය වෙනවා.” මෂ්රෆි එසේ පවසයි.

ඔහුගේ උපන් ‍ප්‍රදේශය මෙන් ම මන්ත්‍රීවරයකු වූ නාරායිල් ජනතාවත් ඔවුන්ගේ ගැටලු ගැනත් මෂ්රෆිට හොඳ අවබෝධයක් ඇත.

“නාරායිල් සෑම විට ම මට විශේෂයි. එහි ජනතාවගේ සැබෑ තත්ත්වය මම දන්නවා. මට දැනෙනවා.” මෂ්රෆි වැඩිදුරටත් පවසයි.

මන්ත්‍රීවර‍යකු වශයෙන් මෂ්රෆිට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු වී තිබේ. ඒ ඔහුගේ ආසනයේ සිදුවන ගං ඉවුරු ඛාදනයයි. එම නිසා විශාල පිරිසකට මේ වන විට නිවාස සහ එ‍ඬේර ඉඩම් අහිමි වී තිබේ. මෙය සිදු වූයේ බංග්ලාදේශයේ සිදු වන දේශගුණික ප්‍රතිවිපාකයන් වශයෙනි.

“මම ඡන්ද කටයුතු කරන විට වයසක කාන්තාවක් හමුවුණා. අපිට කිසිම දෙයක් ඕනෑ නෑ. එහෙත් කරුණාකර අපේ පාරවල් හරියට හදලා දෙන්න කියලා තමයි ඇය ඉල්ලා සිටියේ. තවත් වතාවකදී කෙනෙක් මාව අල්ලාගෙන හැඬුවා. ඛාදනය නිසා ගෙවල් 30 ක් විතර ගඟට ගිය ආකාරයත් සමහරුන් මට දන්වා සිටියා. මෙවැනි දේවල් නිසා ඔවුන්ගේ සමහර නෑයන් නාරායිල් අතහැරලා ගිහිල්ලා. මේ මිනිසුන්ගේ දිනපතා ජීවිත මම ළඟින් ම දකිනවා. බෙංගාලි ජාතිකයන්ට ක්‍රිකට් හැඟුම්බර ක්‍රීඩාවක්. නමුත් මෙහිදී මම දකින්නේ වෙනස්ම ලෝකයක්.” මෂ්රෆි සිය ජනතාවගේ ගැටලු දැනටමත් හඳුනාගෙන අවසන් බව ඉහත ප්‍රකාශයෙන් පැහැදිලියි.

දකුණු ආසියානු කලාපයේ ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට් බවට කිසිදු වාද විවාදයක් අවැසි නැත. එම ජනප්‍රියතාවයත් ඉවහල් කර ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ක්‍රිකට් තරු කිහිපදෙනෙක් ම සිටිති. ඊට ඉන්දියාවෙන් 1983 ලෝක ශූර සාමාජික කීර්ති අසාද් (උපත 1959 ජනවාරි 02), හිටපු නායක මොහොමඩ් අසාරුදින් (උපත 1963 පෙබරවාරි 08) සහ නව්ජොට් සිං සිධු (උපත 1963 ඔක්තෝබර් 20) එක් වෙති.

1996 ලෝක ශූර නායක අර්ජුන රණතුංග (උපත 1963 දෙසැම්බර් 01) සහ එවර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වූ සනත් ජයසූරිය (උපත 1969 ජුනි 30) පාර්ලිමේන්තුවට තේරී පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තරුය.

කෙසේ වෙතත් මේ වන විට මෙම සියලුම තරු අබිබවා ගොස් තිබෙන්නේ 1992 ලෝක ශූර නායක පාකිස්තානයේ ඉම්රාන් ඛාන්ය. එරටේ වත්මන් අගමැති ලෙසට ඉම්රාන් (උපත 1952 ඔක්තෝබර් 05) ක්‍රියා කරයි. අනාගතයේ දී මෂ්රෆිත් බංග්ලාදේශයේ අගමැති ලෙස පත් වීමේ හැකියාව ගැන ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසූහ.

“මම තවත් ඉම්රාන් ඛාන් කෙනෙක් නොවේ. අවංකවම කියනවා නම් ඉම්රාන් ඛාන් ගිය මට්ටමට යෑමට මිනිසුන්ට වුවමනාව තිබුණත් සෑම විටම එය කිරීමට බැහැ. මගේ ආශාව ක්‍රීඩාවටත් යම් කිසි දෙයක් කිරීමටයි. මම ක්‍රීඩකයෙක් නිසා මගේ පැතුම සීමාසහිතයි. මට හොඳ දෙයක් කළ හැකිදැයි බලලා මම මගේ කලාපයට වැඩ කරනවා.” ඒ මෂ්රෆිගේ පිළිතුර විය.

---------------

සම්පූර්ණ නම : මෂ්රෆි බින් මෝර්ටෂා

උපත : 1983 ඔක්තෝබර් 05

උපන් පළාත : නාරායිල්

සුරතල් නම් : පග්ලා, නාරායිල් එක්ස්ප්‍රස්, කෞශික්

උස : අඩි 6 අඟල් 2

පවුලේ තොරතුරු : සුමොන් හක් ෂුමි (බිරිය) දියණිය සහ පුත්‍රයෙක් සිටියි.

විශ්ව විද්‍යාලය : ජහාන්ගිර්නාගර් විශ්ව විද්‍යාලය

ප්‍රියතම වෙනත් ක්‍රීඩා : පාපන්දු, බැඩ්මින්ටන්, පිහිනුම්

පිතිහරඹය : දකුණතින්

පන්දු යැවීම : දකුණත් මඳ වේග

ක්‍රීඩා කළ වෙනත් කණ්ඩායම් : ආසියානු xi, ඩකා ග්ලැඩියේටර්ස්, කුල්නා කොට්ඨාසය, කොමිලා වික්ටෝරියන්ස්, රන්ග්පුර් රයිඩර්ස් (බංග්ලාදේශය), කොල්කටා නයිට් රයිඩර්ස් (ඉන්දියාව)

 

ජාත්‍යන්තර තරග කාලය : 2001 - 18

ටෙස්ට් : තරග 36 ලකුණු - 797 වැඩිම 79

සාමාන්‍යය : 12.85 අර්ධ ශතක 03 උ‍ඩ පන්දු : 09

කඩුලු : 78

ඉනිමක හොඳම : 60 - 4 සාමාන්‍යය : 41.52

ඉනිමක කඩුලු : (04) 04

 

එක්දින ජාත්‍යන්තර :

තරග 202 ලකුණු 1728

වැඩිම නොදැවී 51 සාමාන්‍යය 14.04 අර්ධ ශතක 01 උඩපන්දු 58 කඩුලු 258 හොඳම 26 - 6 සාමාන්‍යය 31.36 තරගයක කඩුලු (05) 01

 

20 - 20 ජාත්‍යන්තර තරග 54 ලකුණු 377 වැඩිම 36 සාමාන්‍යය 13.46 උඩපන්දු 10 කඩුලු 42 හොඳම 19 - 4 සාමාන්‍යය 36.35 තරගයක කඩුලු (04) 01

 

බංග්ලාදේශ නායකත්වය

ටෙස්ට් 2009

එක්දින ජාත්‍යන්තර 2014 සිට

20 - 20 ජාත්‍යන්තර 2014 - 17

ලෝක කුසලාන තරගාවලි (ඕවර 50)

2003, 2007, 2015 (අර්ධ අවසන්)

Comments