ජනතා හද ගැස්ම අපට හොඳට තේරෙනවා | Page 2 | සිළුමිණ

ජනතා හද ගැස්ම අපට හොඳට තේරෙනවා

ඉදිරිපත් කර ඇති මේ අය-වැය පිළිබඳ ඔබේ තක්සේරුව කෙබඳු ද?

ඇත්තම කිව්වොත් අපේ රටේ මුදල් තත්ත්වය යහපත් තත්ත්වයක නොවෙයි තිබෙන්නේ. මේ වසරෙදී තමයි මෙරට ඉතිහාසයේ වැඩිම ණය වාරිකයක් ගෙවන්න සිදුව ඇත‍්තේ. මේ ණය නොගෙව්වොත් අපේ රට අන්තර්ජාතික වශයෙන් අසාදු ලේඛනගත වනවා. එවිට අපට යළිත් ණයක් ගන්න අමාරුයි. එබඳු තත්ත්වයක් තිබියදීත් මේ අය-වැයෙන් ජනතාවට සහන රැසක් සලසා තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට රු. 2500ක දීමනාවක් දෙනවා. රණවිරු වැටුප් වැඩි කර තිබෙනවා. සෑම මැතිවරණ කොට්ඨාසයකටම 'ගම්පෙරළිය' යටතේ මිලියන 300ක් දෙනවා. විශ්‍රාම වැටුප වැඩි වනවා. සෞඛ්‍යයට, අධ්‍යාපනයට කිසිදු කප්පාදුවකින් තොරව මුදල් ලබා දෙනවා.

ඉතිහාසයේ වැඩිම ණය මුදල මෙවර ගෙවන්න තිබෙනවා කියා ඔබ කිව්වා. එවැනි තත්ත්වයක සහන රැසක් දීමෙන් රට තව තවත් ණය උඟුලේ හිර වන්නේ නැද්ද?

මේ සහන අප කල් ඇතිවම සැලසුම් කළා. කලින් අය-වැයවලදී මංගල ඇමැතිවරයා කළේ රට ස්ථාවර කිරීම. දැන් ඒ කටයුත්ත කරගෙන යනවා. එක් පැත්තකින් ණය ගෙවන විට අනෙක් පැත්තෙන් ජනතාවට සහන සැලසීම අපේ යුතුකමක්. ජීවන වියදම ඉහළ බව අප දන්නවා. අප ජනතාවත් සමඟ සිටින මිනිස්සු ජනතාවගේ හද ගැස්ම අපට හොඳට තේරෙනවා.

එහෙත් විපක්ෂය චෝදනා කරන්නේ මැතිවරණයක් ඉලක්ක කරගෙන ආණ්ඩුව ජනතාවට සිහින මාලිගා හදනවා කියලයි...

බලන්න නාමල් රාජපක්ෂ මහත්තයාගේ ට්විටර් පණිවිඩය. ඔහු පවසන්නේ 'මේ ඔක්කෝම හොඳයි, ඒත් මේවා කරන්න පුළුවන්ද!' කියලයි.

එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නෑ. එවැනි පසුබිමක මේ අය-වැය සම්මත කරගන්නේ කෙසේද?

අය-වැයට ඡන්දය විමසන දා ඔබට එය බලාගත හැකියි.

ජවිපෙ දැනටමත් අය-වැයට එරෙහි වී තිබෙනවා. මේ ජවිපෙ සාධකය අය-වැය සම්මත කරගැනීමට කෙසේ බලපායි ද?

ජනතා විමුක්ති පෙරමුණ අය-වැයට විරුද්ධව ඡන්දය දෙයි. එහෙම කරයි කියා අප කලින්ම හිතුවා. ඒ අය කටයුතු කරන‍්නේ ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍රය අනුවයි. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ දැන් ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරනවා. ඔක්තෝබර් කුමන්ත්‍රණයට එරෙහිවත් ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලි ස්ථාවරයක හිටියා. අප එය අගය කරනවා.

ජනාධිපති වැයශීර්ෂය පරදවන බව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පවසනවා...

ඒ මන්ත්‍රීවරුන් ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. අප ඒවා තේරුම් ගත යුතුයි. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පත් විය යුතු සුදුස්සන් පත් නොකර ඉන්නවා කියලාත් චෝදනාවක් නැ‍ඟෙනවා. එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයාගෙන් ලැබිය යුතු සැලකිල්ල ලැබෙන්නේ නෑ කියන මතවාදයකුත් තිබෙනවා. කෙසේ වුවත් මා සෑම විටම පවසන්නේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එක් වී මේ ප්‍රශ්න ජය ගැනීමට කටයුතු කළ යුතු බවයි. ජනාධිපති වැයශීර්ෂයට එරෙහිව කවුරුහරි ඡන්දයක් දුන්නොත් රට අස්ථාවර තත්ත්වයකට පත් වේවි.

එජාපය හැටියට ජනාධිපතිවරයාගේ වැයශීර්ෂයට එරෙහි වීමට තීරණයක් ගෙන තිබෙනවාද?

නෑ නෑ. පැහැදිලිවම කියන්න පුළුවන්: ඔබයි මමයි මේ කතා කරන මොහොත දක්වාම එවැනි තීරණයක් ගෙන නැහැ.

අය-වැය ඡන්ද විමසීම අතරතුර පිල් මාරු වීම් සිදු වන ආකාරය අප දැක තිබෙනවා. මෙවරත් එහෙම දේ සිදු වෙයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අය-වැයේදී අපට පක්ෂව ඡන්දය දෙයි කියා අප සිතනවා.

වතු කම්කරුවන්ගේ වැටුප අය-වැයේදී වත් රු. 1000 කරාවි කියා වතු කම්කරුවන් අපේක්ෂා දල්වාගෙන හිටියා නේද?

වතු හාම්පුතුන් හා වෘත්තීය සමිති එකඟතාවකට පැමිණ, ගිවිසුමක් අස්සන් කර තිබෙනවා. දැන් ඒ වැටුප තීරණය කර අවසන්, දවසකට රු. 750ක්. මේ හත්සිය පණහේ ඊටීඑෆ්, ඊපීඑෆ් තිබෙනවා. ඒ වගේම මාසයකට දවස් 21ක වැඩ ලැබෙනවා.

එහෙත් කිරිඇල්ල ඇමැතිතුමා නම් කියන්නේ වතු කම්කරුවන්ට රු. 1000ක් දිය නොහැකි නම් මේ වතු රජයට පවරාගත යුතු බවයි...

කිරිඇල්ල ඇමැතිවරයාත් වැවිලි කර්මාන්ත ඇමැති ලෙස කලක් සිටියා. එතුමාට යළිත් මේ ඇමැතිකම ලැබුණොත් එලෙස කටයුතු කිරීමට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

ග්ලයිෆොසෙට් වල් නාශකය පාවිච්චියට එරෙහිව දිගින් දිගටම පරිසර සංවිධාන ක්‍රියා කරද්දී, ඔබ ඒ වල්නාශකය ඕනෑමයි කියා කියන්නේ ඇයි?

මේ වල් නාශකයෙන් වකුගඩු රෝග ඇති වන බව මෙතෙක් විද්‍යානුකූලව තහවුරු කරගෙන නෑ. එහෙම ඔප්පු වුණ දවසට මා එය තහනම් කරන්න කටයුතු කරනවා.

ඔබේ පියා එජාප නායකයෙක් වගේම ක්‍රිකට් ක්‍රීඩාවට අමිල මෙහෙවරක් කළ අයෙක්. වර්තමානයේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී තිබෙන තත්ත්වය ඔබට දැනෙන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදී නැඟීම්-වැටීම් ස්වාභාවික දෙයක්.1970 ගණන්වල 80 ගණන්වල බටහිර ඉන්දීය කොදෙව්වන් තමයි ක්‍රිකට්වලට ඉහළ දස්කම් පෑවේ. අද ඒ තත්ත්වය නෑ. අනෙක් පැත්තෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශාල අඩු-පාඩු තිබෙනවා. මා ක්‍රීඩා ඇමැති ලෙස පත් වූ පසු ක්‍රිකට්වලට අලුත් නීතියක් ගේන්න උත්සාහ කළා. එයින් බලාපොරොත්තු වුණේ මිල-මුදල්වලින් ඡන්ද ගන්න ක්‍රමය අඩු කරන්න. අලුත් ක්‍රීඩා පනතක් ඕනෑ. එහෙම නැතිව ක්‍රිකට් පාලක මණ්ඩලය ශක්තිමත් කරන්න අමාරුයි.

මීළඟ ජනාධිපතිවරණයට එජාපයේ සූදානම කෙබඳුද?

ඕනෑම අවස්ථාවක අපි ඊට සූදානම්.

Comments