නොසිතූ සිහිනයක් සැබෑ කරගත් රොජර් ෆෙඩරර්රොජර් ෆෙඩරර් | සිළුමිණ

නොසිතූ සිහිනයක් සැබෑ කරගත් රොජර් ෆෙඩරර්රොජර් ෆෙඩරර්

මෙම වසරේ ඩුබායි ටෙනිස් ශූරතාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී නොබෝදා පැවැත්විණි. එහිදී පිරිමි කේවල (තනි) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියේ සුපිරි ස්විට්සර්ලන්ත ශූර රොජර් ෆෙඩරර් සහ ඉදිරියේදී සුපිරි තරුවක් බවට පත් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන ග්‍රීසියේ ස්ටෙෆානොස් ට්සිට්සිපාස්ය.


ඔවුන් අවසන් වරට හමු වූයේ මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේ සිවුවැනි වටයේ තරගයේදීය. එහිදී ට්සිට්සිපාස් (උපත 1998 අගෝස්තු 12) ජය ගත්තේය.

ඒ නිසාම මෙවර ඩුබායි අවසන් තරගයත් ඉතා තියුණු ස්වරූපයක් ගැනීමට වැඩි අවස්ථාවක් තිබුණි. එසේ වුවත් තවමත් සිය හැකියාව තිබෙන බව මැනවින් සනාථ කරමින් 37 හැවිරිදි ෆෙඩරර් 20 හැවිරිදි ට්සිට්සිපාස් පරාජය කිරීමට සමත් වුයේය. ඒ තරග වට 2-0 කිනි. එහිදී ලකුණු 6-4, 6-4 කි.එය වාර්තාගත ජයග්‍රහණයකි. එනම් මෙම ශුරතාව ෆෙඩරර් හිමි කර ගත් 08 වැනි වතාව එය විය. එහෙත් වඩා වැදගත් වූයේ සිය වර්ණවත් ක්‍රීඩා දිවියේදී ඔහුගේ සියවැනි කේවල ශුරතාව මෙය වන බැවිනි.

වෘත්තීය ටෙනිස් ක්‍රීඩා ඉතිහාසයේ කේවල ශූරතා 100ක් හිමි කර ගත් හිමි කර ගත් දෙවන ක්‍රීඩකයා බවටත් ෆෙඩරර් එහිදී පත් විය. එමෙන්ම සමස්තයක් ලෙසට කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම මෙම ඉතා දුලබ දස්කම කිරීමට සමත් වූ 05 වැනියාත් ෆෙඩරර් වේ.

එහිදී මුල් ස්ථානය හිමි වන්නේ 1975 – 2006 දක්වා අන්තර්ජාතිකව දෙරටක් නියෝජනය කළ මාර්ටිනා නව්රතිලෝවාටය. ඇය (උපත 1956 ඔක්තෝබර් 18) හිමිකර ගත් මුළු කේවල ශූරතා ගණන 167 කි. චෙකොස්ලොවේකියාවේ උපත ලැබූ ඇය ඇමෙරිකාවත් නියෝජනය කළාය. ඇමෙරිකානු ශුරියක් වන ක්‍රිස් එවර්ට් (උපත 1954 දෙසැම්බර් 21) ශූරතා 157 ක් හිමිකර ගැනීමට සමත් වුවාය. ඒ 1972 – 1989 අතර කාලයේදීය.

මේ සුවිශේෂී දස්කම පෑ ප්‍රථම ක්‍රීඩකයා වන්නේ ඇමෙරිකාවේ ජිමී කෝනර්ස්ය. ඔහුට හිමි මුළු කේවල ශූරතා ගණන 109 කි. ජිමි (උපත 1952 සැප්තැම්බර් 02) අන්තර්ජාතිකව 1972 සිට 1996 දක්වා ක්‍රීඩා කළේය.

ජර්මනියේ ස්ටෙෆි ග්‍රා‍ෆ් (උපත 1969 ජුනි 14) කේවල ශුරතා 107 ක් හිමි කර ගත්තාය. ඒ 1982 – 1999 අතර කාලයේදීය. දැන් මෙම සුවිශේෂී ශතක සමාජයට ෆෙඩරර් එක් වී තිබේ. “මෙය ඉටු කර ගැනීමට හැකි වනු ඇතැයි මම කවදාවත් සිතුවේ නැහැ. සමහර විට ශුරතා 96 ක්- 97 ක් ගත් විට ඒ ගැන සිතන්න ඇති” වාර්තාගත දස්කමින් පසුව ඔහු එසේ පැවසීය.

ෆෙඩරර් තම 99 වැනි කේවල ශුරතාව හිමි කර ගත්තේ ගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. සිය උපන් ගමේ පැවැති බාසෙල් ශුරතාව ජය ගනිමිනි. ඊට පසුව තරගාවලි කිහිපයකටම සහභාගි වුවත් තවත් ශුරතා ජයක් අත්කර ගැනීමට නොහැකි විය. ශුරතා 100 හිමිකර ගැනීමත් සමඟම ඔහුට මුලින්ම සුබ පැතුවේ ජිමී කෝනර්ස්ය. “ 100 සමාජයට සාදරයෙන් පිළිගන්නවා. මම මෙතරම් කාලයක් තනිවම හිටියේ. තවත් ක්‍රීඩකයෙක් මීට එක් වීම ගැන සතුටුයි.”

යොවුන් ටෙනිස් ක්‍රීඩිකාවක වන ඇමෙරිකාවේ ෂෙල්බි රොජර්ස් (උපත 1992 ඔක්තෝබර් 13) සිය සුබ පැතීම කළේ ඉල්ලීමකුත් කරමින්ය. “සුබ පැතුම් රොජර්, කරුණාකර හැමදාම ක්‍රීඩා කරන්න.” මෙම 100 වැනි ශූරතා ජයත් සමඟ ම ඒ.ටී.පී. හෙවත් වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයන්ගේ සංගමයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ෆෙඩරර් සිවුවැනි ස්ථානය හිමිකර ගෙන ඇත. එහි මුල් ස්ථානය සර්බියාවේ නොවැක් ජොකොවිච්ට ය. ඔහුට ලකුණු 10, 955 කි. දෙවැනියා ස්පාඤ්ඤයේ රෆයාල් නඩාල්ටය. ඔහුට ලකුණු 8365 කි. තෙවැනියා ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ෂ්වෙරෙව්ය. ඔහුට (උපත 1997 අප්‍රේල් 20) ලකුණු 6595කි. ෆෙඩරර්ට ලකුණු 4600කි.

පිරිමි ටෙනිස් ක්‍රීඩා ඉතිහාසයේ වැඩි ම කේවල ශූරතා ගණනක් හිමිකර ගත් තෙවැනි ක්‍රීඩකයා වන්නේ ඉවාන් ලෙන්ඩ්ල් ය. චෙකොස්ලොවේකියාවේ උපත ලබා පසුව ඇමෙරිකාවත් නියෝජනය කළ ලෙන්ඩ්ල් (උපත 1960 මාර්තු 07) අන්තර්ජාතිකව 1978 – 94 අතර ක්‍රීඩා කළේය. එහිදී ශූරතා 94 කි.

එහිදී සිවුවැනියා වනුයේ නඩාල්ය. ඔහුට (උපත 1986 ජුනි 03) ශූරතා 80 කි. ඇමෙරිකාවේ ජෝන් මැකන්රෝට (උපත 1959 පෙබරවාරි 16) ශූරතා 77කි. ඔස්ට්‍රේලියාවේ රොඩ් ලේවර් (උපත 1938 අගෝස්තු 09) ශූරතා 74කි. ජොකොවිච්ට (උපත 1987 මැයි 22) ශූරතා 73කි. ස්වීඩනයේ බියොර්න් බෝර්ග් (උපත 1956 ජුනි 06) සහ ඇමෙරිකාව් පීට් සම්ප්‍රාස් (උපත 1971 අගෝස්තු 12) ශූරතා 64 බැගින් හිමි කර ගෙන සිටිති. ආර්ජන්ටිනාවේ ගුයිලර්මෝ විලාස් (උපත 1952 අගෝස්තු 17 ) ශුරතා 62 ක් හිමිකර ගත්තේය. ඇමෙරිකාවේ ඇන්ඩ්‍රේ ඇගාසිට (උපත 1970 අප්‍රේල් 29) ශුරතා 60 කි. ජිමී කෝනර්ස් හිමිකර ගත් කේවල අනුශුරතා ගණන 164 කි. ෆෙඩරර්ට 152කි. ලෙන්ඩ්ල්ට 146කි. නඩාල්ට 117 කි. මැකන්රෝට 109 කි. ජොකොවිච්ට 106කි. ඇගාසිට 90 කි.
ෆෙඩරර් වෘත්තීය ලෙස තරග කරන්නේ 1998 වසරේ සිටයි. ඔහු සිය ප්‍රථම ශුරතාව 2001 වසරේදී හිමි කර ගත්තේය. ඒ ඉතාලියේ මිලාන් ශුරතාවයයි. ඔහුගේ මෙම ශුරතා 100 අතරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20, ඒ.ටී.පී. වසර අවසන් තරගාවලි ශුරතා 06, ලෝක සංචාර මාස්ටර්ස් 500 ශුරතා 22ක් සහ ලෝක සංචාර මාස්ටර්ස් 1000 ශුරතා 27 ක්ද අයත් වේ. ටෙනිස් ක්‍රීඩා විචාරකයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා ලෝලින් බහුතරයකගේ පොදු මතය වන්නේ ටෙනිස් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතමයා ෆෙඩරර් බවයි. ඔහුගේ ක්‍රීඩා විලාසය ඉතා මනරම්ය. ෆෙඩරර් සතුව ටෙනිස් ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා රැසක්ම තිබේ. මතු දැක්වෙන්නේ කිහිපයකි.

ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල වැඩිම ශුරතා ගණනක් හිමි ක්‍රීඩකයාය. ඊට ශුරතා 20කි. ඒ ඔස්ට්‍රේලියානු විවෘත ශුරතා 06කි. ප්‍රංශ විවෘත ශුරතා එකකි. වාර්තාගත විම්බල්ඩන් (බ්‍රිතාන්‍ය) ශුරතා 08කි. ඇමෙරිකානු විවෘත ශුරතා 05කි. ඒ.ටී.පී. වසර අවසන් ශුරතා 06කි. එයත් වාර්තාවකි. 2012 ලන්ඩන් ඔලිම්පික් කේවල රිදී සහ 2008 බෙයිජිං ඔලිම්පික් පිරිමි යුගල රන් පදක්කම්ලාභියෙක්ද වේ. වැඩිම සති ගණනක් ලොව අංක 01 ක්‍රීඩකයා වීම තවත් වාර්තාවකි. ඊට සති 310කි. මින් සති 237ක්ම පිට පිටමය.

කේවල ශූරතා 100ක් හිමිකර ගැනීමේදී ෆෙඩරර් සහභාගි වූ මුල් තරග ගණන 548කි. රටවල් 19ක සහ නගර 30කදී ‍ෙම් ශූරතා හිමිකර ගත්තේය. යුරෝපයේ 50, උතුරු ඇමෙරිකාවේ 24, ආසියාවේ 18 සහ ඔස්ට්‍රේලියාවේදී ශූරතා 08ක් හෙතෙම හිමිකර ගැනීමට සමත් වී සිටියි. ෆෙඩරර් වැඩිම කේවල ශූරතා ගණනක් හිමි කර ගත් වසර වන්නේ 2006 ‍ෙව්. එහිදී ශූරතා 12කි. 2004 සහ 2005 වසරවලදී ශූරතා 11බැගිනි. 2007 වසරේදී ශූරතා 08කි.

රොජර් ෆෙඩරර් 1981 වසරේ අගෝස්තු 08 වැනිදා මෙලොව එළිය දුටුවේය. ඒ බාසෙල් නුවරදීය. එය ස්විට්සර්ලන්තයේ තෙවැනි ජනාකීර්ණ නගරය වේ. එහි ජනගහනය 180,000 ක් පමණ වේ. එය එරටේ වයඹ පළාතට අයත්ය. සුරිච් සහ ජිනිවා එරටේ වඩාත් ජනාකීර්ණ නගර වේ. 2017 වසරට අනුව සුරිච් ජනගහනය 409,241කි.

ඔහුගේ මවුපියන් වන්නේ රොබට් ෆෙඩරර් සහ ලිනෙට් ඩුරාන්ඩ් ය. රොබට් ස්විස් ජර්මන් සම්භවයක් සහිත පුද්ගලයෙකි. ලිනෙට් දකුණු අප්‍රිකානු ජාතිකයෙකි. ෆෙඩරර්ට වැඩිමහල් සොහොයුරියක් සිටියි. ඩයනා වන ඇය හෙදියකි. ෆෙඩරර්ට මෙන්ම ඇයටත් නිවුන් දරුවන් සිටීම විශේෂත්වයකි.

ෆෙඩරර්ගේ ක්‍රීඩා දිවියේ සාර්ථකත්වයට ඔහුගේ බිරිය මිර්කාත් විශාල දායකත්වයක් ලබා දී තිබේ. මිරොස්ලාවා මිර්කා වවුරිනෙච් (උපත 1978 අප්‍රේල් 01) චෙකොස්ලොවේකියාවේ උපත ලබා ඇත. ඇය 1998 – 02 දක්වා ටෙනිස් ක්‍රීඩා කළේ ස්විට්සර්ලන්තය නියෝජනය කරමිනි.

ඇයට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සිදු වූයේ පාදවල ආබාධ නිසාය. ෆෙඩරර් සහ මිර්කා මුල්ම හමුව සිදුවූයේ 2000 සිඩ්නි ඔලිම්පික් උලෙළට සහභාගි වන විට ඔස්ට්‍රේලියාවේදීය. මේ යුවළට එක සමාන නිවුන් දියණියන් වන මයිලා රෝස් සහ චාර්ලින් රිවා එක් වූයේ 2009 වසරේදීය. 2014 වසරේදී ලියෝ සහ ලෙනි එක සමාන නිවුන් පුතුන් ද මිර්කා බිහි කළාය.

ෆෙඩරර් ටෙනිස් ක්‍රීඩාවට යොමු වූයේ වයස අවුරුදු 08 දීය. පැසිපන්දු සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවලත් ඔහු නිරත වූයේය. එමෙන් ම හෙතෙම ක්‍රිකට් ක්‍රීඩාවටත් ලැදියාවක් දක්වයි. ඔහුට ස්විස් සහ දකුණු අප්‍රිකානු ද්විත්ව පුරවැසිබව හිමිය. තවද ජර්මන්, ඉංග්‍රීසි සහ ප්‍රංස භාෂාවන් ඔහුට චතුරව භාවිතා කළ හැකිය. ඔහුගේ ක්‍රීඩා වීරයා වූයේ ඇමෙරිකන් ටෙනිස් ශූර පීට් සම්ප්‍රාස්ය.

අද ෆෙඩරර් වඩාත් ප්‍රචලිතව තිබෙන්නේ ක්‍රීඩා කරන විට සන්සුන්ව තරග කරන ක්‍රීඩකයකු ලෙසටයි. එහෙත් අන්තර්ජාතිකව තරග කළ මුල් යුගයේ දී ඔහු ඊට වෙනස් පුද්ගලයෙකි. ඔහු සතුව දිගු හිස කෙස් විලාසිතාවක් විය. එමෙන්ම ඉක්මනින් ම කෝපයට පත් වේ. එහි ප්‍රතිඵලය ක්‍රීඩා කරන විට ටෙනිස් පිති රැසක්ම කැඩීමයි.

මෙවැනි චරිත ලක්ෂණ නිසා ඔහුගේ උපන් හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතූහ. එසේ වුවත් මෙම ලක්ෂණ වෙනස් වීමට කණගාටුදායක සිදුවීමක් බලපෑ‍වේය. ෆෙඩරර්ගේ මුල් කාලීන පුහුණුකරුවකු සහ සමීපතම මිතුරෙකු වූ පීටර් කාටර් මෝටර් රථ හදිසි අනතුරකින් මිය ගියේය. එවිට ෆෙඩරර්ගේ වයස අවුරුදු 21කි. මෙම සිදුවීම සිය ජීවිතය නිසි මාර්ගය දෙසට ගැනීමට ඔහුට ඉවහල් වූයේය.

එය කෙතරම් සාර්ථක වූයේ ද යත් වත්මනදී සාර්ථකම ක්‍රීඩා ශූරයකු බවටත් ආදර්ශවත් චරිතයක් බවට ඔහුව පත් කර ඇත. මේ සඳහා බිරිය මිර්කා ද විශාල සහායක් ලබා දුන්නාය. ෆෙඩරර් මේ වන විට ටෙනිස් ක්‍රීඩා කිරීම තුළින් උපයා තිබෙන මුළු ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 120කි. 2003 වස‍ෙර්දී ඔහු රොජර් ෆෙඩරර් පදනම පිහිටුවීය. එමඟින් ලොව පුරාම සිටින අසරණ දරු දැරියන්ට උපකාර කරයි. මෙවැනි කාර්යයන් නිසා ෆෙඩරර් වසර ගණනාවක් ම ලොව ජනප්‍රියතම ටෙනිස් ක්‍රීඩකයා ලෙසට සිටියි. 2003 – 18 අතර ටෙනිස් ක්‍රීඩා ලොව ජනප්‍රියතමයා වූයේත් ෆෙඩරර්මයි.

අන්තර්ජාතික ටෙනිස් සම්මේලන පිරිමි කේවල වසරේ ක්‍රීඩකයා සම්මානය හෙතෙම 2004 – 07 සහ 2009 වසරවලදී හිමිකර ගත්තේය. එම කාලයේ ම ඒ.ටී.පී. වසරේ ක්‍රීඩකයාත් විය. එමෙන්ම 2004 – 05 ඒ.ටී.පී. ස්ටෙෆාන් එඩ්බර්ග් ක්‍රීඩාශීලී සම්මානලාභියාත් විය. 2003 – 04, 06 – 07, 12,14 සහ 17 ස්විස් වසරේ ක්‍රීඩකයාත් වූයේය. සුප්‍රකට ලෝරියස් ලෝක වසරේ ක්‍රීඩා තරුව 2005 – 08 සහ 18 වසරවල හිමිකර ගත්තේ ද ෆෙඩරර්මයි. ගිය වසරේදී ලෝරියස් විශේෂ සම්මානයකින් ද පිදුම් ලැබීය.

බී.බී.සී. වසරේ විදෙස් ක්‍රීඩා තරුව සම්මානය ෆෙඩරර් සිවු වතාවක් හිමිකර ගත්තේය. ඒ 2004, 06 – 07 සහ 2017 වසරවලදීය. එමෙන්ම ආතර් ඈෂ් මානුෂීය වසරේ සම්මානයත් ෆෙඩරර් 2006 සහ 2013 වසරවලදී හිමිකර ගත්තේය. ආතර් ඈෂ් හිටපු ඇමෙරිකන් ටෙනිස් ශූරයෙකි. ෆෙඩරර් ලොව පුරා විවිධ රටවල ටෙනිස් තරගාවලියන් ට සහභාගි වේ. එහිදී ඔහුත් සමඟ සංචාරය කරන කණ්ඩායමක් වේ. ඊට පුහුණුකරුවන් සහ භෞත චිකිත්සකවරු අයත්ය. තවත් සුවිශේෂී කිහිපදෙනෙකුත් සිටිති. ඒ බිරිය සහ දූ දරුවන් සිවුදෙනාය. තවද ඔහුගේ මවුපියන් ද තරග නැරඹීමට පැමිණෙති.

තව කොපමණ කාලයක් ෆෙඩරර් ක්‍රීඩා කරනු ඇත්ද? මේ බොහෝ දෙනා තුළ තිබෙන ගැටලුවකි. “හුඟාක් අය අහන ප්‍රශ්නයක් තමයි මම ශූරතා 109 වාර්තාව වෙතට යනවාද කියලා. මගේ සමු ගැනීම ගැන තවම තීරණයක් ගෙන නැහැ. හැබැයි මම ඒ ගැන මගේ බිරියත් සමඟ නිතර කතා කරනවා. මට ඇත්තට ම වැදගත් වන්නේ මගේ පවුල සහ දරුවන්. දැනට හැමෝම මාත් සමඟ තරගාවලියන්ට සහභාගි වෙනවා. ඔවුන්ට ඒ ගැන සතුටුයි. මටත් එහෙමයි.” ෆෙඩරර් පවසයි.

එක් දෙයක් පැහැදිලිය. එනම් ෆෙඩරර් ක්‍රීඩා කරන විට ඔහු ඉදිරියේදීත් තරග ජය ගනු ඇත. ශූරතා හිමි කර ගනු ඇත. එමෙන් ම තව තවත් වාර්තා පිහිටුවනු නියතය.

Comments