පමා නොවී ක්‍රිකට්වලට විසඳුම් සොයමු | සිළුමිණ

පමා නොවී ක්‍රිකට්වලට විසඳුම් සොයමු

ශ්‍රී ලංකා අප්‍රිකානු එක්දින තරගාවලිය අවසන් වීමටත් පෙර ම තරගාවලිය පරාජය වීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. සටනක්වත් ලබා දීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරග තුන අවසානයේදීම නින්දා සහගත පරාජයක් උරුම කර ගත්තේය. දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව නායක ලසිත් මාලිංග ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන නොගන්නා ක්‍රීඩකයන්ට නොසෑහෙන සේ දෙහි කැපීමට ද අමතක නොකළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරග තුන අවසානයේ මෙසේ නින්දා සහගත පරාජයක් උරුමකර ගත්තේ, නවක නායකයකු වූ දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ වසර 140ක ටෙස්ට් ඉතිහාසයේ ආසියානු කණ්ඩායම, සත්කාරක දකුණු අප්‍රිකානු භුමියේදි ඔවුන් පරාජය කළ ප්‍රථමයන් ලෙස වාර්තා පොත් ද අලුත් කරමින් තැබූ සටහන්වල උණුසුම මැකී යන්නටත් මත්තෙන්ය.

දෙවැනි එක්දින තර‍ගයේ ලකුණු 251ක ඉලක්කය අසලටවත් පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය. එකී තරගයෙන් අනතුරුව නායක ලසිත් මාලිංග පැවැසූ වදන් දෙස අවධානය යොමු කිරිම වටියි. දේශීය තරග බිමේ තරග කර ජාතික කණ්ඩායමට තේරී පත්වන්නේ ඉහළ දක්ෂතා තිබෙන නිසයි. මෙකී අවස්ථාව ක්‍රීඩකයන්ට ලබාදී ඇත්තේ දෙවියන් වහන්සේ නොවන බවද අවධාරණය කරන මාලිංග එහි වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ අපට ජාතික කණ්ඩායමට එන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නේ මන්දැයි ප්‍රශ්න කරන මාලිංග ක්‍රීඩකයන් මෙහි වටිනාකම තේරුම් නොගැනීම ගැටලුවක් බවද අවධාරණය කරයි.

ක්‍රීඩකයන්ට පවා හැමදාම අවස්ථාව නොලැබෙන බව ඔවුන් ද දැඩිව අවබෝධ කර ගත යුතුය. එමෙන් ම ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමද ඔවුන්ගේ වගකීමයි. එහිදී ක්‍රීඩකයන්ට ස්ථාවරවීමට අවස්ථා ලබාදීමද බලධාරීන්ගේ වගකීමකි. එළැඹෙන ක්‍රිකට් ලෝක කුසලානයට තවත් මාස කිහිපයකි. තවමත් නිශ්චිතව එකී තරගාවලියට ක්‍රීඩා කරන විසිපස් දෙනෙකුගේ සංචිතයක් නැත. ක්‍රීඩකයන් තුළ පවා ඇත්තේ අවිනිශ්චිතභාවයකි. මාලිංගගේ නායකත්වය යටතේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකානු මුල් තරග තුන නිමාවන විට අඛණ්ඩව තරග හයක් පරාජය වී තිබේ. සමස්තයක් ලෙස පසුගිය ජූලි මාසයේ සිට එක්දින තරග 18කදී තරග 14ක් පරාජය වී තිබෙන අතර, ජයගෙන ඇත්තේ තරග තුනකි. විසඳුමක් නැති තරගයකි. ශ්‍රී ලංකාවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග දෙකක් සහ එංගලන්තයට එරෙහිව ඉතිරි තරගය ජයගෙන තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව මීට පෙර පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදි එක් අන්තයකින් නිහඬව සටන අරඹා ගිනිකෙළියකින් සටන අවසන් කළ කුසල් ජනිත් පෙරේරා වාර්තා පිට වාර්තා පිහිටුවමින් ඓතිහාසික ජයක් ශ්‍රී ලංකාවට හිමිකර දීමෙන් අනතුරුව පැවැසුවේ එකී ඉනිම කණ්ඩායමේ පුහුණුකරුවා වෙනුවෙන් දියත් කළ බවයි. ඩර්බන් තරගය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජය සැමරූ අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල අතර සැරිසරද්දී මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළේය. එකී විඩි‍යෝව තුළින් මතුවන කරුණු අනුව වඩාත් ප්‍රකට වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගිය කාලය පුරාම කාගේ හෝ රූකඩයක් බවට පත්ව තිබූ බවය. එහි එක් තැනක හිටපු නායක සුරංග ලක්මාල් අවධාරණය කරන්නේ ඉදිරියේ එන තරගවලදීත් පුහුණුකරුවා වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු බවත්, දස්කම් දැක්වුවත් නැතත්, කණ්ඩායමක් වශයෙන් එකට සිටිය යුතු බවය. ටෙස්ට් තරග ක්‍රීඩා කළේ පුහුණුකරුවා වෙනුවෙන් නම් එක්දින තරග ක්‍රීඩා කරන්නේ කා වෙනුවෙන්ද ප්‍රශ්නාර්ථයක් මතු වන්නේ නිරායාසයෙන්ය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගැටලු තිබෙන බව සැබෑ නමුත් ඒවා විසඳීමට තබා ඇහුම්කන් දීමටවත් එකදු බලධාරියකු හෝ පසුගිය කාලය පුරාම නොසිටි බව රහසක් නොවේ. ක්‍රීඩකයන්ගේ ගැටලු බිරින්දෑවරු විසඳීමට මහමඟට බැස්සේ එහි ප්‍රතිඵලයක් ලෙසය. බොහෝ දෙනකුට ඇවැසි වූයේ පරාජයේ මළකුණු බුදිමින් හෝ තම මඩිය තරකර ගැනීම පමණි. කුසල් ජනිත් පෙරේරා එකී වීඩියෝවේ අවධාරණය කරන්නේ තවත් ගැටලු පවතින බවත්, කණ්ඩායම් කළමනාකරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේවා පවසා විසඳුම් ලබා දෙනු ඇති බවයි. ඔය පණිවිඩය මෙතැනට නෙවෙයි අතෙන්ට යැයි පැවැසීම තුළින් ම පැහැදිලි වන්නේ මේ පා පහර එල්ල කරන්නේ කාටද යන්නයි.

මෙකී වීඩියෝව තුළ තවත් වැදගත්ම චරිතයක් වන්නේ හිටපු නායක සුරංග ලක්මාල්ය. ලක්මාල් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පැටිකිරිය දිග හරින්නේ 2007 සිටය. 2007 සංචාරයකදි තමන් ඇතුළු පුහුණුකරු ලෙස කටයුතු කළ හතුරුසිංහට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අපතයන් රැලක් එක එක දේවල් පැවැසූ බවත්, නමුත් ඒ සියල්ල අතර තමන්ට තිබූ එකම වුවමනාව තරග ජයග්‍රහණය පමණක් බවත් පවසයි. මේ අතර ලක්මාල් අවධානය යොමු කරන්නේ හතුරු පුහුණුකරුවකු ලෙස ක්‍රීඩකයන් වෙනුවෙන් සියයට දෙසියක් ම පෙනී සිටින බැවින් බොහෝ ගැටලු ක්‍රීඩකයන්ට පැමිණීමටත් පෙර ම ඔහු විසින් වළකාගත් බවයි. ලක්මාල් එහිදිත් වැඩි දුරටත් අවධාරණය කරන්නේ අපි තරග කළ යුත්තේ ජය ගත යුත්තේ පුහුණුකරුවා වෙනුවෙන් බවයි.

මේ අතර මෙකී වීඩියෝව පිළිබඳ දැනටමත් බොහෝ දෙනා විවිධාකාර මති මතාන්තර සමාජගත කරමින් සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයේ වළපල්ලට ඇද දැමූ පළමු වතාවේදී ම ක්‍රීඩකයන් තම ආවේගයන් මේ ආකාරයට හෝ එළියට දැමුවේ නම් අද මෙවැනි කතා අසන්නට හෝ විවිධ මත ඉදිරිපත් කිරීමට ද කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇත. මන්දයත් පාලකයන්ට තවදුරටත් ඇස්කන් පියාගෙන සිටීමට නොහැකි වන බැවිනි. අප මඳක් අතීතය දෙසට හැරෙන්නේ නම් නික් පෝතාස් ශ්‍රී ලංකා කණ්ඩායම අතහැර යෑමට මත්තෙන් කරන දඹුලු මත දැක්මේදී සුප් එකට කුක්ලා වැඩියි යැයි කියන ප්‍රකාශය ම අද වෙනස් විදියකට කරළියට පැමිණ තිබේ. පුහුණුකරුවන්ට පුහුණු කටයුතු බාර දී, ක්‍රීඩකයන්ට ක්‍රීඩා කටයුතු බාර දී පාලකයන් පරිපාලනය කළා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ජයග්‍රාහි මාවතේ ම අතීතයේ සිටම පැමිණීමට තිබුණි. එහෙත් එය එසේ නොවූයේ ක්‍රීඩකයන්ගේ අදක්ෂතා නිසා නොවන බව පැහැදිලිය. ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව විකුණාගෙන කෑම සිය බඩවියත කර ගත්තවුන් ජයග්‍රහණය වෙනුවට පරාජය වැලඳ ගන්නා තැනට ක්‍රිකට් තල්ලු කළ විට පුහුණුකරුවන්ට ක්‍රීඩකයන්ට කළ හැකි දෙයක් නොමැති බව, සිම්බාබ්වේ - ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජයන් සාක්ෂි දරයි. මේ එහි තවත් දිගුවකි. මේ අතර කණ්ඩායම එකතු කරගත හැකි නායකයකු අවශ්‍ය කර තිබේ.

Comments