වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක සහ ගම්පහ මිනුවන්ගොඩ නගරය ආශ්‍රිතව ඇති වූ ගැටුම්වලට මුල් වූ ප්‍රචණ්ඩකාරීන් කුපිත කිරීම පසුපස සිටින, විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ක්රියාකාරිකයන් කිහිප දෙනකු බුද්ධි අංශ විසින් හඳුනාගෙන තිබේ. ඔවුන් ඒ ප්‍රදේශවල ගැවසෙමින් සංවිධානාත්මකව ජනතාව ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මෙහෙයවා ඇති අතර, ඒ එක් ක්‍රියාකාරිකයකු 13 වැනිදා සවස් යාමයේ පැය තුනකට ආසන්න කාලයක් මිනුවන්ගොඩ නගරය ආශ්‍රිතව රැඳෙමින් වෙළෙඳසල්වලට ප්‍රහාර එල්ල කිරීම් සැලසුම් කර ඇති බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත. ඒ දේශපාලනඥයා ෆුල් ෆේස් හෙල්මටයක් පැලඳ, කළු ජැකට්ටුවකින් සැරසී වෙළෙඳසලකට පහර දී ඇති බවද බුද්ධි අංශ සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක්ද මේ වන විට ක්‍රියාත්මකය.
නාත්තන්ඩියේ ගැටුම් පසුපස සිටින්නේද අදාළ දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් බව මේ වන විටත් පොලීසිය හඳුනාගෙන සිටී. ගැටුම් ඇතිවීමට පෙර ඔවුන් යම් ස්ථානයකට රැස් වී රහස් සාකච්ඡාවකද නිරතව ඇති බවට තොරතුරුද පොලිසියට ලැබී ඇත.
කුලියාපිටිය, හෙට්ටිපොළ, බිංගිරිය ආදි ප්‍රදේශවල ගැටුම්ද සැලසුම් කර ඇත්තේ විපක්ෂයේ එකී ක්රියාකාරිකයන් බව බුද්ධි අංශ සඳහන් කරයි.
දේපොළවලට හානි කරමින් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරී ඇත්තේ ඔවුන් බව බුද්ධි අංශ හෙළි කරගෙන තිබේ. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් හෙළි කළ නාමල් කුමාර නමැත්තාද වයඹ ගැටුම් පැවැති ප්‍රදේශවල ඩිෆෙන්ඩරයකින් සැරිසරා ඇත්තේද යම් සංවිධාන කටයුත්තකට බව පොලිසිය සැකකරයි. මේ වන විට ඔහු සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය.
නාමල් කුමාර විපක්ෂයේ දේශපාලන පක්ෂයකින් මහා මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම්ව සිටියෙකි. ඔහු මේ වන විට කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යපාරිකයකු සමඟ එක්ව දේශපාලන පක්ෂයක් පවා බිහි කරගෙන ඇතැයි බුද්ධි අංශ සදහන් කරයි. වයඹත්, මිනුවන්ගොඩත් ගැටුම් නිර්මාණය කළ දේශපාලන සැලසුම්කරුවන් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන මේ වන විට සිදු වන අතර, ඉදිරියේදී ඔවුන් සාක්ෂි සහිතව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානමින් සිටී.