වැඩිම හයේ පහර මෝගන්ගෙන් | සිළුමිණ

වැඩිම හයේ පහර මෝගන්ගෙන්

මෙතෙක් තරගාවලියේ හරි අඩක් ක්‍රීඩා කර අවසන් වී තිබේ. තරග 48කින් සමන්විත ක්‍රිකට් ලෝක කුසලානයේ 24 වැනි තරගය එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණු අතර එහිදී වාර්තා රැසක් බිහිවිය. මෙතෙක් තරගාවලියේ මෙතෙක් පැවති තරග 24දී බිහිවූ වාර්තා සහ ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ සුවිශේෂී කරුණු කිහිපයකි. තරගාවලියට පෙර ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේම වර්ෂාව නිසා තරග අතහැර තිබුණේ තරග 2ක් පමණි. කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයේ පළමු තරග 24න් තරග 4ක් ම වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය. එයින් තරග දෙකක්ම ශ්‍රී ලංකාව සම්බන්ධ තරග දෙකක් වීමත් විශේෂත්වයකි.

වැඩිම 6යේ පහර

මෙතෙක් තරගාවලියේ දැනට වැඩිම 6යේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ එංගලන්ත නායක ඕයින් මෝගන් ය. ඔහු එල්ල කර ඇති හයේ පහර ප්‍රමාණය 22කි. එයින් 17ක් ම ඔහු එල්ල කළේ ඇෆ්ගනිස්තානය එරෙහිව වන අතර එය එක් තරගයක දී ක්‍රීඩකයෙක් එල්ල කළ වැඩිම හයේ පහර ප්‍රමාණයයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන් අතර දෙවැනි තැන හිමිව ඇත්තේ ඕස්ට්‍රේලියානු නායක ඇරොන් ෆින්ච්ට ය. ඔහු තරග 5කදී හයේ පහර 14ක් එල්ල කර තිබේ.

අමිහිරි වාර්තාව රෂීඩ් ඛාන් ට

ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නෙකු එක් ඉනිමක ලබාදුන් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව ද මෙම ලෝක කුසලානයේ දී බිඳ වැටුණු අතර එම වාර්තාව ඇෆ්ගනිස්තානයේ රශිඩ් ඛාන් ඉදිරියේ සටහන් විය. ඔහු විසින් යවනු ලැබූ පන්දු වාර 9ට ලකුණු 110ක් වාර්තා විය. රාශිඩ්ට පසු මෙම ලෝක කුසලානයේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබා දුන් ක්‍රීඩකයා වන්නේ තම පන්දුවාර 10 තුළ ඔස්ට්‍රේලියාවට ලකුණු 88ක් ලබා දුන් ශ්‍රී ලංකාවේ නුවන් ප්‍රදීප් ය.

කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු එංගලන්ත

මෙතෙක් තරගාවලියේ මෙතෙක් පැවති තරග අතරින්, කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වන්නේ එංගලන්ත කණ්ඩායම ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබා ගත් ලකුණු 397යි. දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ද හිමි කර ගෙන ඇත්තේ එංගලන්තය යි. ඒ, බංගලාදේශයට එරෙහිව ලබා ගත් ලකුණු 386 යි. මෙතෙක් තරගාවලියේ මේ දක්වා වැඩිම උඩ පන්දු ගිලිහුණු කණ්ඩායම ලෙස එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගිලිහී ගොස් තිබෙන්නේ උඩ පන්දු දෙකක් පමණි.

නොලබා දැවී ගිය ක්‍රීඩකයන් වැඩිම ප්‍රමාණයක්

මෙතෙක් තරගාවලියේ එකම ලකුණක් හෝ නොලබා දැවී ගිය ක්‍රීඩකයන් වැඩිම ප්‍රමාණයක් සහිත කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් සිටිති. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවස්ථා 7ක දී ලකුණු නොලබා දැවී ගොස් තිබේ. ඇන්ජලෝ මැතිව්ස් සහ නුවන් ප්‍රදීප් තරග දෙකක දී ලකුණු නොලබා දැවී ගොස් තිබේ.

Comments