පවුල්වාදයට මම කවදත් විරුද්ධයි | Page 2 | සිළුමිණ

පවුල්වාදයට මම කවදත් විරුද්ධයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගිය ඉරිදා (07)දා “සන්ඩේ ඔබ්සර්වර්” පුවත්පතට දුන් සාකච්ඡාවේ පරිවර්තනයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට ඔබ සහාය නොදෙන්නේ ඇයි? රාජපක්ෂ පවුලේ ‍වෙනත් අයෙක් ඉදිරිපත් වුව හොත් කොහොමද?

පවුල්වාදයට මම කවදත් විරුද්ධයි. මම වසර ගණනාවක් තිස්සේ කියන දෙයක් තමයි: මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා බවට පත් වුව හොත් ජනාධිපති ධුරය ඔවුන්ගේ පවුල් ජාලයෙන් බාහිර කෙනකුට දිය යුතුයි කියන එක. ආණ්ඩුවේ ප්‍රධාන ධුර දෙකම රාජපක්ෂ පවුලට දුන්නොත් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඊළඟට සිටින අයට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. මේ ලැයිස්තුවේ මහින්ද, ගෝඨාභය, බැසිල්, චමල්, ශෂේන්ද්‍ර සහ නාමල් රාජපක්ෂ කියා නම් වැළක්ම තිබෙනවා. ඒ නිසා අමාත්‍ය ධුරයක් දරන, සුදුසුකම් ඇති, පක්ෂයේ අනෙකුත් ඕනෑම ජ්‍යෙෂ්ඨයකුට තව වසර 25ක්-30ක් ගත වන තුරු පක්ෂයේ ඉහළට ඒමට හැකි වන්නේ නැහැ.

ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් රැසක්ම සිටිනවා. මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ සියලු පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සිදු කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් වන අතර, එහි ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා වන්නේ වාසුදේව නානායක්කාර මහතායි. ඊළඟට ඉන්නේ මමයි. අපේක්ෂකත්වය දිය යුත්තේ ජ්‍යෙෂ්ඨත්ව අනුපිළිවෙළ අනුවයි. ඒ කවුරුන් හෝ වේවා! ඔහුට දෙමළ සහ මුස්ලිම් ඡන්ද ආකර්ෂණය කරගැනීමටත් හැකි විය යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුව හොත් අපට සුළු ජන ඡන්ද ආකර්ෂණය කරගත නොහැකියි.

අනෙක් අතට සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුව හොත් සියලු එජාප පාක්ෂිකයන් නොපැකිළව ඔහුට සහාය දෙනු ඇති. දින 52 ආණ්ඩුව යටතේ රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් කළ අවස්ථාවේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඔහු රැකගැනීමට කොතරම් සහායක් දැක්වූවාදැයි අප දුටුවා. අනෙක් අතට ජවිපෙට සහ දෙමළ ජාතික සන්ධානයට ඔවුන්ගේම ඡන්ද පදනමක් තිබෙනවා. පොහොට්ටුවට සිටින්නේ එහි සාමාජිකයන් පමණයි. එයින් වැඩි දෙනා බෞද්ධයන්. හිටපු ආරක්ෂක ලේකම්වරයාට අපේක්ෂකත්වය දුන්නොත් අපට නිසැකවම සුළු ජාතික ඡන්ද ආකර්ෂණය කරගත නොහැකි වනු ඇති; සිංහල-බෞද්ධ ඡන්දත් බෙදෙනු ඇති.

පවුල්වාදය අප අත්හළ යුතුයි. හිටපු ජනාධිපතිවරුන් වූ ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එවැනි පවුල්වාදයක් ක්‍රියාත්මක කළේ නැහැ. පවුලේ ඥාතීන් විශාල පිරිසක් දේශපාලනයේ සිටියේ මහින්ද රාජපක්ෂගේ පමණයි.

ඔබගේ දැක්ම අනුව ශ්‍රීලනිප අපේක්ෂකත්වයට වඩාත් උචිත වන්නේ කවුද?

මම ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට කැමැති නැහැ. අපේක්ෂකයකු ලෙස පත් කිරීමට සුදුසු ජ්‍යෙෂ්ඨයන් රැසක් පක්ෂයේ සිටිනවා. අපේක්ෂකත්වය එකම පවුලකට සීමා කර, ඒ මඟින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඉදිරියට ඒමට තිබෙන අවස්ථා අහුරා තැබීම අපරාධයක්.

මහින්ද රාජපක්ෂ යහපත් නායකයෙක්. ඔහු ජනාධිපතිවරණයට තරග කළොත් මම ඔහුට මගේ සහාය දෙනවා. එහෙත් ප්‍රතිපත්තිගරුක දේශපාලනඥ‍යකු වශයෙන් මම විශ්වාස කරන දෙයක් තමයි ජනාධිපති ධුරය සහ අගමැති ධුරය එකම පවුලකට නොයා යුතුයි කියන කාරණය. පොහොට්ටුව නැති නම් පොදුජන පෙරමුණ කියන්නේ පවුලකට වෙන් වූ දේශපාලන පක්ෂයක්. ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරන්නෙත් එකම පවුල ඇතුළෙන්මයි. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අතිදැවැන්ත ජයක් හිමි වූ අවස්ථාවේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එකතු වී ගෝඨාභය ඒ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගත්තා.

වත්මන් ජනාධිපතිවරයා දෙවන ධුර කාලය සඳහා තරග කළොත් ඔහුට ජය ගත හැකි වෙතැයි ඔබ විශ්වාස කරනවාද?

මම ඒ ගැන අදහසක් ප්‍රකාශ කිරීමට කැමැති නැහැ. මොකද, ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ නායකයා නේ.

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අපේක්ෂකයන් දෙදෙනකු යොදාගෙන වෙන වෙනම තරග කළොත් එයින් ශ්‍රීලනිප ඡන්ද පදනම බෙදෙනවා නේද?

ඔව්. එයින් ශ්‍රීලනිප ඡන්ද පදනමට යම් බලපෑමක් විය හැකියි. කෙසේ වෙතත් ශ්‍රීලනිපය තමන්ගේ අපේක්ෂකයා ගැන මේ වන තෙක් තීරණයක් ගෙන නැහැ. මම තවදුරටත් ශ්‍රීලනිප මධ්‍යම කමිටුවේ සාමාජිකයකු නොවෙයි. මාව ඊට කලින් එයින් ඉවත් කරනු ලැබුවා. ඒ නිසා ශ්‍රීලනිප අපේක්ෂකයා ගැන මට කිසිවක් කිව නොහැකියි. දැන් මම ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු සහ පක්ෂ සාමාජිකයකු පමණයි.

පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා යැයි කතාබහට ලක්ව ඇති ගෝඨාභය රාජපක්ෂ විවේචනය කළ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ නායකත්වයෙන් ඔබ ඉවත් කරනු ලැබූ බව මාධ්‍යවල වාර්තා වුණා. ඇත්තටම මොකද වුණේ?

මම තවමත් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන නැහැ. ඉතින් පක්ෂයේ සාමාජිකත්වය නොගෙන මම ඔවුන්ගේ දිස්ත්‍රික් නායකත්වයක් ගන්නේ කොහොමද? ඇත්තටම මම පොදුජන පෙරමුණ ගොඩනැඟීමට සහාය දුන්නා. හැබැයි මම කවදාවත් එහි සාමාජිකත්වය ගත්තේ නැහැ. ඒ පක්ෂයේ ඇතැම් සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි ඒ පක්ෂය හදන්න මා උදවු කර තිබෙනවා. එච්චරයි.

බොහෝ කලකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට යෑමට ඔබට බලපෑ කාරණාව කුමක්ද?

පක්ෂ මූලස්ථානයේ පැවති පිරිත් සජ්ඣායනාවකට සහභාගි වීමට පැමිණෙන ලෙස මට ආරාධනාවක් ලැබුණා. මම ඒක භාර ගත්තා. සියලු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මේ ආකාරයෙන් ආරාධනා කර තිබුණා. මට ඕනෑම වෙලාවක ශ්‍රීලනිප මූලස්ථානයට යන්න පුළුවනි. ඒක තමයි මගේ මහ ගෙදර!

ඔබ මාධ්‍යයට පැවැසුවා ජනාධිපති ධුර අපේක්ෂකත්වයට ඔබ සුදුසුයි කියලා. ජනාධිපති ධුරයට තරග කරන්නැයි ඔබෙන් ඉල්ලා සිටියොත්, එය භාර ගන්නවාද?

එය තීරණය කළ යුත්තේ ශ්‍රීලනිප මධ්‍යම කමිටුවයි. ශ්‍රීලනිප ජනාධිපති ධුර අපේක්ෂකයා වීමට මට සුදුසුකම් තිබෙනවා. මම වසර 38ක් තිස්සේ ශ්‍රීලනිප ආසන සංවිධායකවරයකු ලෙස ක්‍රියා කර තිබෙනවා; අඛණ්ඩව වසර 25ක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා.

ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය, පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය ගැන සෙවීමට පිහිටුවා ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කර තිබෙනවා. මෙය යුක්ති සහගත කාරණයක්යැයි ඔබ විශ්වාස කරනවාද?

නීත්‍යානුකූලව සහ කොන්දේසි යටතේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවිය හැකියි. අපගේ මන්ත්‍රීවරුන් පවා පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටියා. ඒ නිසා විවිධ කාරණා ඉදිරිපත් කර මෙහි කටයුතුවලට බාධා කළ යුතු නැහැ. මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කරන ලෙස ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය ගෙන ඇති තීරණයට මට එකඟ විය නොහැකියි. ශ්‍රීලනිප සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීත් මේ කමිටුවට ඉදිරිපත් වුණා නම්, එහි සිටින සාමාජිකයන් එහි න්‍යාය පත්‍රයට පිටින් ගියොත් ඊට විරුද්ධත්වය දක්වන්න පුළුවන් නේද?

රටේ ප්‍රශ්නවලට හේතුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බවත්, එය ඉවත් කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසනවා. ඒත් පාර්ලිමේන්තුවේ සිටින එක් මන්ත්‍රීවරයකු හැර අනෙක් දෙනාම එදා එය සම්මත කරන අවස්ථාවේ ඊට සහාය පළ කළා. මේ ගැන ඔබට කීමට ඇත්තේ කුමක්ද?

දේශපාලන පක්ෂ කලින් කලට විවිධාකාර තීරණ ගන්නවා. එදා පක්ෂයක් වශයෙන් අප විධායක ජනාධිපති ධුරයට එරෙහිව අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ගත් තීරණයට සහාය දුන්නා. හිටපු ජනාධිපතිවරුන් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධුරය අවලංගු කිරීමට පොරොන්දු වුණත් ඒ කවුරුවත් එය ඉටු කළේ නැහැ. විධායක ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු එය අවලංගු කිරීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන්නැයි පක්ෂය අපෙන් ඉල්ලා සිටි විට අප එයට පක්ෂව ඡන්දය දුන්නා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සුදුසු නැතැයි කවුරුන් හෝ පවසනවා නම්, 18 වැනි සංශෝධනයද සුදුසු වන්නේ නැහැ. මොකද; කෙනකුට අසීමිත වාර ගණනක් ජනාධිපති ධුරයට තරග වැදිය හැකි අතර, එහිදී වයස්ගත වීමෙන් ඇති වන දුර්වලතා නිසා කෙනකු අතින් වැරැදි තීරණ ගැනීමටත් ඉඩ තිබෙනවා. කෙනකු වාර දෙකක් ජනාධිපති ධුරය දැරීම ප්‍රමාණවත්. මෙය ලෝකයේ හැම තැනකම පිළිගැනී ඇති තත්ත්වයයි.

පරිවර්තනය - බුද්ධි කරුණාරත්න

Comments