අපනයන ආදායම් ඉහළට ආනයන වියදම් පහළට | සිළුමිණ

අපනයන ආදායම් ඉහළට ආනයන වියදම් පහළට

 

මේ වසරේ අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා මෙරටේ තැන තැනට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් බිඳ වැටුණු ආර්ථිකය මේ වනවිට යළි ඉහළට නැ‍ඟෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ පමණක් නොව ඇතැම් මහා පරිමාණ ව්‍යවසායන්ට පවා දැඩි අහිතකර බලපෑමක් එල්ල වූ බව නොරහසකි.

මේ වසරේ අප්‍රේල් බිඳ වැටුණ ආර්ථික ක්‍රියාකාරකම් යළි මැයි, ජුනි මාසවල පිබිදීමට පටන්ගෙන තිබේ. ඒ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ ජුනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරමින් මෙසේද කියා සිටියි.

මේ වසරේ මැයි මාසය අවසාන වනවිට රටේ දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.7 ක් ව පැවතුණි. එය 2019 ජුනි මාසයේ දී ඩොලර් බිලියන 8.9 දක්වා වැඩි වී තිබේ. ඊට හේතුව ජුනි මාසයේදී ඩොලර් බිලියන 02 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ලැබීම් ය.

වසර 09 කට ආසන්න කාලයකින් පසු එනම් වසර 2010 ඔක්තෝම්බර් මාසයේ වාර්තා වූ අවම වෙළෙඳ හිඟය ජුනි මාසයේ දී වාර්තා කරන ලදී. එය ඩොලර් මිලියන 316 කි.

වසර 2018 නොවැම්බර් මාසයේ සිට මේ වන තෙක් අඛණ්ඩව මාස 08 ක් ආනයන වියදම් අඩුවී තිබේ. වසර 2019 ජුනි මාසයේ ආනයන වියදම් ඩොලර් මිලියන 1400 කි. වසර 2018 ජුනි මාසයේදී එය ඩොලර් මිලියන 1819 ක් විය. මේ අඩුවීම සියයට 23.1 කි.

අනිත් අතට පිට පිට මාස 28ක් අපනයන ආදායම වැඩි වී තිබේ.

වසර 2019 ජුනි මාසයේ අපනයන ආදායම ඩොලර් මිලියන 1084. 2018 ජුනි අපනයන ආදායම ඩොලර් මිලියන 1024. ඒ අනුව වසර 2018 ට වඩා 2019 දි අපනයන සියයට 5.8 කින් වැඩි වී ඇත.

ජංගම ගිණුම වෙත වාර්තා වූ අනෙකුත් ප්‍රධාන ලැබීම්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑමෙන්පසුව 2019 ජුනි මාසයේදී සංචාරක පැමිණීම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් විය. ඒ අනුව, 2019 වසරේ මැයි මස වාර්තා වූ සංචාරක පැමිණීම් සංඛ්‍යාව 37,802 ට සාපේක්ෂව 2019 ජුනි මස සංචාරක පැමිණීම් සංඛ්‍යාව 63,072 ක් දක්වා සියයට 66.8 කින් ඉහළ ගියේය. කෙසේ වෙතත් 2019 වසරේ ජුනි මාසයේ සංචාරක පැමිණීම් සංඛ්‍යාව වසර 2018 ජූනි මාසයට සාපේක්ෂව සියයට 57.0 කින් පහත වැටුණි. මෙම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව වැනි ප්‍රධාන රටවල්වලින් පැමිණෙන සංචාරකයින් ගණන අඩු වීමයි. ඉන්දියාව සහ චීනය යන රටවල සංචාරකයින්ගේ පැමිණීම අඩු වීම,මුළු අඩුවීමෙන් සියයට 41.6 කට දායක විය.

2018 ජුනි මාසයේදී වාර්තා වූ සංචාරක ඉපැයීම් එ.ජ.ඩොලර් මිලියන 276 ට සාපේක්ෂව 2019 ජුනි මාසයේදී සංචාරක ඉපැයීම් එ.ජ.ඩොලර් මිලියන 118 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. සමුච්චිත පදනම මත 2018 වසරේ පළමු මාස හය තුළදී සංචාරක ඉපැයීම් එ.ජ.ඩොලර් මිලියන 2,186 ට සාපේක්ෂව මෙම වසරේ එම අනුරූප කාලය තුළදී එ.ජ.ඩොලර් මිලියන 1, 893 ක් ඇස්තමේන්තු කර ඇත.

මුල්‍ය ලැබීම්

මේ අතර, 2019 ජුනි මාසයේදී, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂව සියයට 2.5 කින් එ.ජ.ඩොලර් මිලියන 537 ක් දක්වා ඉහළ ගියේ ය. කෙසේ වෙතත්, සමුච්චිත පදනම මත , 2019 වසරේ පළමු භාගය සඳහා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වසර 2018 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ.ජ.ඩොලර් මිලියන 3,270 ක් දක්වා සියයට 9.8කින් පහත වැටුණි.

2019 වසරේ ජුනි මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන එ.ජ.ඩොලර් මිලියන 5ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය. සමුච්චිත පදනම මත වසරේ පළමු භාගය තුළදී රාජ්‍ය සුරැකුම්පත් වෙළදපොළ වෙතින් වූ ශුද්ධ ගෙවීම් එ.ජ.ඩොලර් මිලියන 96ක් විය. ප්‍රාථමික හා ද්විතීයික වෙ‍ළඳපොළ ගනුදෙනු ඇතුළුව කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන, 2019 වසරේ ජුනි මාසයේදී එ.ජ.ඩොලර් මිලියන 10ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. සමුච්චිත පදනම මත 2019 වසරේ පළමු භාගය තුළදී ප්‍රාථමික හා ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු ඇතුළුව කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් එ.ජ.ඩොලර් මිලියන 10ක ශුද්ධ ගෙවීමක් වාර්තා විය. මේ වසරේ (2019) ජුනි මාසයේදී රජය වෙත වූ දිගුකාලීන ණය, එ.ජ.ඩොලර් මිලියන 99 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේ ය.

ජාත්‍යන්තර සංචිත

2019 ජුනි මාසය තුළදී නිකුත් කරන ලද එ.ජ.ඩොලර් බිලියන 2 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතු තුළින් වූ ලැබීම්ද සමඟ රටෙහි දළ නිල සංචිත, 2019 මැයි මස අවසන් වන විට වාර්තා වූ එ.ජ.ඩොලර් බිලියන 6.7 සිට 2019 ජුනි මස අවසන් වන විට එ.ජ.ඩොලර් බිලියන 8.9 දක්වා ඉහළ ගොස් ඇත. (එම සංචිත මට්ටම ආනයනික මාස 5.2කට සමාන විය).මේ අතර දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්‍රමාණය, 2019 ජුනි මස අවසානය වන විට එ.ජ.ඩොලර් බිලියන 11.5 ක් වූ අතර, එය ආනයනික මාස 6.8 කට සමාන විය.

2019 වසරේ අගෝස්තු මස 20 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල එ.ජ.ඩොලරයට සාපේක්ෂව සියයට 3.0 කින් අතිප්‍රමාණය විය. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන් හැර අනෙකුත් සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව ද අතිප්‍රමාණය විය.

මේ අන්දමට ජාතික ආර්ථිකය නඟාසිටුවීම සඳහා සංචාරක කර්මාන්තය, විනෝදාස්වාදය බලගන්වන සේවා, ප්‍රවාහන, ගොවිතැන්, කර්මාන්ත හා සේවා අංශවලට බැංකු හා බැංකු නොවන මුල්‍ය ආයතනවලින්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාදිය යුතු සහන රජය යෝජනාවලියක් ලෙස ඉදිරිපත් කොට ඒවා නිසිලෙස ජනතාවට පිරිනැමීමට පියවරගෙන තිබීම බලපා ඇත.

එයට අමතරව ශ්‍රී ලංකා මහබැංකුව, මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් කිරීමට මඟපාදන ප්‍රතිපත්ති තීන්දු තීරණ රැසක් ඉකුත් වසරේ මැදභාගයේදී ගනු ලැබීමද ආර්ථික පිබිදීමට ධෛර්යයක් සපයාදීමක් වී තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන ඇතුළු සියලුම ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ වියදම සියයට 39.4කින් පහත වැටී ඇත.

මෙවැනි සුබවාදී තත්ත්වයන් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට කුමන බාධක හමුවේ වුව නොසැලී හැකි වුව හොත් එය රටට, රටේ ආර්ථිකයට වාසිදායක තත්ත්වයක් නිර්මාණයක කරනු ඇත.

Comments