‍දරිද්‍රතාවයේ පතුලේ උපන් කල්ලා ද: අප්‍රිකාවේ රජ යයි | සිළුමිණ

‍දරිද්‍රතාවයේ පතුලේ උපන් කල්ලා ද: අප්‍රිකාවේ රජ යයි

ඒ 2007 වසරයි. රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වූයේ එවකට ලෝක ශුරයෝ වූ එංගලන්තය සහ 1995 ලෝක ශූර දකුණු අප්‍රිකාව අතරය.

එම තරගය නැරැඹු ලක්ෂ සංඛ්‍යාත වූ දකුණු අප්‍රිකානුවන් අතර සියා කොලිසි ද වූයේය. හෙතෙම මේ තරගය නැරඹුවේ අවන්හලක තිබූ රූපවාහිනියක් තුළින්ය. එවැනි ආකාරයකට ඔහුට එම තරගය නැරැඹීමට සිදු වූයේ සිය නිවසේ රූපවාහිනියක් තිබුණේ නැති බැවිනි.

කෙසේ වෙතත් එම තරගය නිමා වූයේ දකුණු අප්‍රිකාවට නැවත වතාවක් රග්බි ලෝක කිරුළ හිමිකර දෙමිනි. ඒ නිසාම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමඟ කොලිසිත් එම ජයග්‍රහණය මහත් වූ සතුටකින් සැමරීය.

තවත් වසර 12ක් ගත විය. 2019 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය නොවැම්බර් 02 වැනි දා පවත්වනු ලැබීය. ඒ ජපානයේ යෝකොහාමා ජගත් ක්‍රීඩාංගණයේදීය. එහිදීත් තරග කළේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාවයි. එම තරගය 70,103 ක් නැරැඹුහ. එය රූපවාහිනියෙන් නැරැඹු පිරිස මිලියන ගණනකි.

ඉතා තියුණු තරගයක් බොහෝ දෙනා අපේක්ෂා කළත් දකුණු අප්‍රිකාව ලකුණු 32 -12ක ජයක් ලැබීමට සමත් වූයේ ඉතා විශිෂ්ට ආකාරයට තරග කරමිනි. ඒ සමඟම වැඩිම අවස්ථා ගණනකදී (03) රග්බි සංගම් ලෝක ශුරතාව හිමිකර ගෙන සිටි නවසීලන්ත වාර්තාව සම කිරීමටත් දකුණු අප්‍රිකාවට හැකි විය.

මෙම සුවිශේෂී ජයග්‍රහණය දැක ගැනීමට එ‍රටේ වත්මන් ජනපති සිරිල් රැම්පෝසා, 1995 ලෝක ශුර නායක ෆ්‍රැන්කොයිස් පිනාර් මෙන්ම 2007 ලෝක ශුර නායක ජෝන් ස්මිත් සහ එම කණ්ඩායමේ සුපිරිතම තරුව වූ බ්‍රයන් හබානාද ජපානයේ සිටියහ.

එම පිරිස අතර සියා කොලිසි ද සිටියේය. මේ වන විට හෙතෙම 28 හැවිරිදිය. මෙවර ඔහු ක්‍රීඩා කළේය. එපමණක් ද නොව ලෝක ශුර කණ්ඩායමේ නායකත්වයත් දැරීය. 2013 වසරේදී ජගත් තරග වරම් ලැබූ කොලිසිගේ 50 වැනි ටෙස්ට් තරගය වූයේත් මෙම අවසන් මහා තරගයයි. එය සුවිශේෂි වූයේ එක් හේතුවක් නිසාවෙනි. එනම් දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩා ඉතිහාසයේ නායකත්වයට පත් වූ ප්‍රථම කළු ජාතිකයා කොලිසි නිසාය.

“මේ වන විට දකුණු අප්‍රිකානු ආර්ථිකය බිඳ වැටිලා. ජනතාව හරිම අසීරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ වුණත් මේ ජයග්‍රහණය නිසා ඔවුන්ට සතුටු වෙන්නත් දිරිමත් ‍වීමටත් අවස්ථාවක් ලැබෙනවා.” ලෝක ශුරයෝ වීමෙන් පසුව නායක කොලිසි පැවසීය.

දකුණු අප්‍රිකාවේ ජනප්‍රියතම කණ්ඩායම් ක්‍රීඩා ත්‍රිත්වයක් තිබේ. ඒ පාපන්දු, ක්‍රිකට් සහ රග්බිය. ගත වූ කාලයේදී පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩාවෙන් එරට දැඩි පසුබැසීමකට පත් ව තිබුණි. ලෝක කුසලාන හිමිකර දීමට සමත් වූ එකම ක්‍රීඩාව බවට යළිත් වතාවක් රග්බි පත් වී ඇත.

එසේ වුවත් රග්බි ක්‍රීඩාව තවමත් සැළකෙන්නේ එරටේ සුළුතර සුදු ජාතිකයන්ගේ ක්‍රීඩාව ලෙසිනි. 1995 ලෝක ශුර කණ්ඩායමේ සිටි එකම කළු ජාතික ක්‍රීඩකයා වූයේ චෙස්ටර් විලියම්ස්ය. එහෙත් මෙවර ජයග්‍රහණය ඔහු දුටුවේ නැත. ඒ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී හෙතෙම මිය ගිය බැවිනි. එවිට ඔහුගේ වයස අවුරුදු 49 ක් පමණකි.

2007 ලෝක ශුර කණ්ඩායමට ක්‍රීඩා කළේ කළු ජාතිකයන් දෙදෙනෙක් පමණි. නමුත් මෙවර එය වෙනස් විය. ඒ ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයන් 31 අතුරින් 12ක්ම කළු ජාතිකයෝය.

දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩා බලධාරීන්ගේ බලාපොරොත්තුව කළු ජාතික නායක කොලිසි යටතේ ලැබූ මෙවර ජයග්‍රහණය නිසාම කළු ජාතිකයන් අතර රග්බි ක්‍රීඩාව තව තවත් ප්‍රචලිත වීමයි. එමඟින් දක්ෂ කළු ජාතික දරුවන් රග්බි ක්‍රීඩාව වෙතට යොමු වනු ඇති බවය. වත්මන් නායක කොලිසි ඉතා දුප්පත් පවුලක දරුවෙකි.

නමුත් ඔහුගේ ක්‍රීඩා හැකියාවත් නායකත්වයේ ගුණාංගත් නිසා මේ වන විට හෙතෙම එ‍රටේ සුපිරිතම තරුවක් බවට පත් වී සිටියි.

“මගේ ජීවිතයේ මෙවැනි දවසක් ගැන මම සිහින මැව්වේ නැහැ. මම කුඩා අවධියේදී කල්පනා කළේ එක් දෙයක් ගැන විතරයි. ඒ මගේ ඊළඟ කෑම සොයා ගන්නේ කොහොමද කියලයි”. ලෝක ශුර නායකයෙකු වීමෙන් පසුව කොලිසි පැවසීය. හෙතෙම 2015 ලෝක කුසලාන තරගාවලියටත් ක්‍රීඩා කළේය.

මෙම දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේදී පුහුණුකරු රැසී ඊරැස්මස් විශාල කාර්යභාරයක් ඉටු කළේය. හෙතෙම සිය 47 වැනි උපන් දිනය සැමරුවේ ඉකුත් 05 වැනි දාය. ඒ ලෝක ශුරයන් වීමෙන් තෙදිනකට පසුවය. මේ අනුව ඔහුට අපූරු උපන්දින ත්‍යාගයක් ලැබිණි.

ඔහු එරටේ ප්‍රාන්ත කණ්ඩායම්වල සාර්ථක පුහුණුකරුවකු වශයෙන් කටයුතු කර තිබිණි. ඒ නිසාම 2017 වසර අග වන විට එරටේ රග්බි ක්‍රීඩා අධ්‍යක්ෂක වශයෙන් ඔහු‍ව පත් කරනු ලැබීය. පසුව ජාතික පුහුණුකරු ලෙසට තෝරා ගත්තේය. ඒ හිටපු කළු ජාතික පුහුණුකරු වූ ඇලිස්ටර් කොට්ෂි ඉවත් කිරීමෙන් අනතුරුවය.

ඇලිස්ටර්ගේ කාලය තුළදී ජාතික කණ්ඩායම තරග 25 කදී 12ක් ම පරාජයට පත් විය. රැසී පුහුණුකරු ධූරයට පත් වීමෙන් අනතුරුව බොහෝ දෙනා පුදුමයට පත් කරමින් කොලිසි නායකත්වයට පත් කළේය. එමෙන්ම නවක ක්‍රීඩකයන්ව කණ්ඩායමට තෝරා ගත්තේය. තවද කලක් ජගත් මට්ට‍මින් ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන්ව යළි කැඳවීය.

ඒ අතරට ෆ්‍රැන්කොයිස් ස්ටෙයින් ද වූයේය. හෙතෙම 2007 ලෝක ශුර කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු මෙවර ලෝක ශුර කණ්ඩායමටත් තෝරා ගෙන සිටියේය. ඒ අනුව රග්බි ලෝක කුසලාන ද්විත්ව ශුරතා හිමිකර ගත් දෙවැනි දකුණු අප්‍රිකානුවා බවටත් 32 හැවිරිදි ස්ටෙයින් මෙවර පත් විය. මීට පෙර ඕස් ඩු රාන්ඩ්ට් එම දස්කම කර තිබුණේ 1995 සහ 2007 තරගාවලියන්ට ක්‍රීඩා කරමින්ය.

රැසීගේ පුහුණුකාරිත්වය මත දකුණු අප්‍රිකාව 2018 රග්බි ශුරතාවලියේ අනුශුරතාවත් මෙවර එහි ශුරතාවත් හිමි කර ගත්තේය. දැන් ලෝක ශුරතාවත් ඊට අයත්ය.

ඔහුගේ මීළඟ අරමුණ වනුයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම නිරතුරුවම දස්කම් අතර රඳවා ගැනීමය. “මට අවශ්‍ය වන්නේ අපේ කණ්ඩායම නවසීලන්තය වගේ පත් කිරීමටයි. ඔවුන් නිතරම දස්කම් අතර සිටිනවා.” නවසීලන්තය මෙවර තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ ලකුණු 40 – 17 කින් වේල්සය පරාජය කරමිනි.

මේ වසරේ වාර්ෂික ලෝක රග්බි සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වූයේ නොවැම්බර් 03 වැනි දා ටෝකියෝ නුවරදීය.

එහිදී ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක්ම දකුණු අප්‍රිකාවට හිමි වූයේය. වසරේ ක්‍රීඩකයා වූයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දස්කම් දැක් වූ 27 හැවිරිදි පීටර් ඩු ටුවාය. වසරේ පුහුණුකරුවා වූයේ රැසී ඊරැස්මස්ය. වසරේ කණ්ඩායම වූයේ ලෝක ශුර දකුණු අප්‍රිකාවයි.

 

Comments