ආර්ථිකය නැංවීමට සම්පත් වෙතින් සහන රැසක් | සිළුමිණ

ආර්ථිකය නැංවීමට සම්පත් වෙතින් සහන රැසක්

රටම මුහුණ දී සිටින කොවිඩ් වසංගතයේ අහිතකර බලපෑම, බැංකු ක්ෂේත්‍රයට ද එලෙසමය.

එහෙත් පසු ගිය වසර හත අට තුළ වේගවත් ප්‍රගතියක් අත්පත් කර ගත් හෙයින්, ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරගෙන, මේ දුෂ්කර අවස්ථාවේ වුව, ගනුදෙනුකරුවන්ට හැකි තරම් සහන සැලසීමට සම්පත් බැංකුවට හැකි වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු හා මූල්‍ය ආයතනයන් වෙත සිදුකරන ලද දැනුම් දීමට අනුව යමින්, ව්‍යාපාර නැවත නගා සිටුවීම වෙනුවෙන් 4%ක සහන පොලී අනුපාත යටතේ පිරිනමන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සදහා වන, ණය පහසුකමේ සිට, ගනුදෙනුකරුවන් ගේ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් සහන රැසක් පිරිනැමීමට සම්පත් බැංකුව සූදානමින් සිටියි.

මෙරට සියලු ව්‍යාපාර වෙත දැඩි බලපෑමක් එල්ල කර ඇති වත්මන් තත්ත්වය තුළ, සුළු හා මධ්‍ය පරිමාණ අංශයන්හි, වැවිලි කර්මාන්ත, ධීවර, රෙදිපිළි, ප්‍රවාහන හා තොරතුරු තාක්ෂණය ඇතුළු ව්‍යාපාර රැසක් වෙනුවෙන් මාස හයක ණය සහන කාලයක් බැංකුව විසින් ලබාදී ඇත්තේ, එම ව්‍යවසායකයන්ට ඉමහත් අස්වැසිල්ලක් සැලසීම උදෙසා ය.

අගරු චෙක්පත් මෙන්ම, ගෙවීම් නවතා ඇති සියලු චෙක්පත් සදහා මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා ගාස්තු අය නොකරන්නටත්,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට 'සම්පත් ලීසිං' පහසුකම් යටතේ ලබා ගත් ත්‍රීරෝද රථ, පාසල් සේවා වෑන් රථ, ලොරි රථ, කුඩා ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන වාහන සහ බස් රථ සඳහා මාස හයක සහන කාලයක් ලබා දෙන්නටත් බැංකුව පියවර ගෙන තිබේ.

ඊට අමතරව, ස්වයං රැකියාවන්හි නියුතු වූවන් විසින් ලීසිං පදනම යටතේ මිලදී ගෙන ඇති, යතුරු පැදි හා කුලී රථ (ටැක්සි) සඳහාද මාස හයක සහන කාලයක් ද, මේ යටතේ ගනුදෙනුකරුවන්ට හිමි වේ.ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් වෙනුවෙන් ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා කිසිදු ප්‍රමාද ගාස්තුවක් අය නොකිරීමටත් බැංකුව තීරණය කොට තිබේ.

එසේම, පෞද්ගලික ලීසිං පහසුකම්වල ලක්ෂ 10 ට අඩු වාරික ගෙවීම් සඳහාද, මාස 3 ක සහන කාලයක් ලබා දීමටද බැංකුව කටයුතු කර ඇති අතර, රුපියල් ලක්ෂ 10 ක් දක්වා වූ 'පුද්ගලික ණය' සදහාද මාස 3 ක සහන කාලයක් සම්පත් පාරිභෝගිකයන් වෙත හිමි වනු ඇත.

මේ අසීරු අවස්ථාවේ සිය ගනුදෙනුකරුවන් වෙත සහන සලසන අතරම, බැංකුවේ ප්‍රගමනය උදෙසා මහත් දායකත්වයක් දක්වන, ආයෝජකයින් බඳු කොටස් හිමියන් බලා ගැනීමද සිය වගකීම බව, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, නන්ද ෆර්නැන්ඩු මහතා පවසයි.

"සුළු කොටස් හිමියන් වැඩිම ප්‍රමාණයක් රොද බැඳ සිටින පුද්ගලික බැංකුව ලෙස අප මත්තේ තිබෙන්නේ විශාල වගකීමක්. ඔවුන් වෙනත් ව්‍යාපාරවල ආයෝජනය නොකර සම්පත් බැංකුවේ කොටස් මිලදී ගෙන තිබෙන්නේ, බැංකුව කෙරෙහි වූ විශාල විශ්වාසයකින්.සමහර සුළු කොටස් හිමියන් ගේ එකම ආදායම වන්නේත් ඔවුන්ගේ කොටස් අයිතීන් සදහා බැංකුවෙන් ලැබෙන ලාභාංශය පමණයි.ආයෝජකයන් වෙත ලාභාංශ බෙදා දීමට නම්,රටේ පවතින තත්ත්වය කුමක් වුවත්,බැංකුව ලාභදායී ව පවත්වාගෙන යා යුතුයි. එසේ ලාභදායී ලෙස පවත්වාගෙන යාම තුළ පමණයි, බැංකුවක පැවැත්ම රඳා පවතින්නේ.

තවත් විදියකින් කිව්වොත්, බැංකු ලාභදායී ව පවත්වාගෙන යාමට අවශ්‍ය හේතූ කිහිපයක්ම තිබෙනවා.

අංක එක තමයි, මහජන විශ්වාසය. මහජන විශ්වාසය අහිමි වුණොත්, තැන්පත්කරුවන් සියලු දෙනා එක වර මුදල් ගැනීමට පෙළැඹෙනවා. ඒක කිසිම බැංකුවකට දරාගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. මොකද, බැංකුවක ප්‍රධාන කාර්යය තමයි, තැන්පත් මුදල් ලබා ගැනීම සහ ණය ලබා දීම. තැන්පත්කරුවන්ගෙන් එසේ ලබාගන්නා මුදල් තමයි, තවත් ගනුදෙනුකරුවන් පිරිසක් වෙත, 'ණය ' ලෙස ලබා දෙන්නේ.

ඒ නිසයි, ගනුදෙනුකරුවන් වෙත ණයක් ලබා දීමේදී ඔවුන්ගේ නැවත ගෙවීමේ හැකියාව පිළිබඳ සොයා බලා, එසේ හැකි නම් පමණක් ණය ලබා දීමට බැංකු වඩාත් ප්‍රවේසම් වන්නේ.

මොකද, මේ සියල්ල මහජන මුදල්. විශේෂයෙන්, මාස තුන... හය... අවුරුද්ද ...දෙක වැනි කෙටි කාලීන තැන්පතු.බොහෝ තැන්පත්කරුවන් එම කාල සීමාවන් අවසානයේ සිය තැන්පතු ලබා ගන්නට එනවා. නමුත් බැංකුවක් ණය පිරිනමන්නේ බොහෝවිට දිගුකාලීනව. විශේෂයෙන්, නිවාස ණය...වාහන ණය... වැනි ණය පිරිනමන්නේ අවුරුදු පහේ සිට විසි පහ දක්වා දිවෙන, දිගු කාලීන ණය වශයෙන්.

කෙටි කාලීන තැන්පතු අරන්, දිගු කාලීන ණය දෙනකොට බැංකුව වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළ යුත්තේ මේ නිසා. ණය ගත් අය නොගෙවා සිටියත්, බැංකුවකට බැහැ, තැන්පත්කරුවන් ඉල්ලන වෙලාවට ඒ අයගේ මුදල් නොගෙවා ඉන්න.එහෙම වුණොත් බිදෙන්නේ මහජන විශ්වාසය.

බැංකුවක් ලාභ ලැබිය යුතු ඊළඟ හේතුව තමයි, තමන්ගේ ආයෝජනයට ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සිටින ඉහත කී කොටස්කරුවන්.

අනෙක, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් පහළට නොවැටී සිටීමටත් බැංකුවක් ලාභ ලැබිය යුතුයි. පාඩු ලබා, බැංකුවක් එම ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටුණොත්, විදේශ බැංකු සහ ණය දෙන ආයතනවලින් එම බැංකුවට ණය ලබා දෙන්නේ නැහැ. එසේ ලබා ගන්නා ණය මුදල් සහ මහජන තැන්පතුවලින් තමයි, ඕනෑම බැංකුවක් සිය ගනුදෙනුකරුවන් වෙත අවුරුදු 10- 25 වැනි දිගු කාලීන ණය ලබා දීම් සිදු කරන්නේ.

එම නිසා, දේශීයවත් ජාත්‍යන්තරවත් එම ශ්‍රේණිගත කිරීම් තුළ සිටීම, මහජන විශ්වාසය දිනා ගැනීමටත් බැංකුවේ පැවැත්මටත් එක සේ බලපානවා.

ඒ අනුව, බැංකුවක් ලාභ ලබනවා ය කියන්නේ, ඉතා හොඳ තත්ත්වයක්. අප එම ලාභය දෙස බැලිය යුත්තේ, ආයෝජනයේ ප්‍රමාණයට සාපේක්ෂවයි.

එනම්, විශාල කොටස් හිමියන් ප්‍රමාණයක් විශාල ලෙස ආයෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි, බැංකුව මෙම ලාභ උපයා තිබෙන්නේ...යන යථාර්ථයේ සිටයි.

වැදගත්ම දේ, ලාභ ලබන බැංකුවක කොටස් හිමියන් සහ ගිණුම් හිමියන් සෑම අතින්ම සුරක්ෂිතයි. ඒ සුරක්ෂිත භාවයත් රැකගෙන සමාජ ආර්ථිකය ගොඩ නගන්නට දායක වීම තමයි, සමස්ත බැංකු ක්ෂේත්‍රයේම වගකීම..."

එම වගකීම සියයට සියයක් ඉටුකරන්නට ඇප කැපව සිටින සම්පත් බැංකුව,මීට වසර තිස් තුනකට පෙර එනම්, 1987 වසරේ ආරම්භ වූයේ ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයට නව විප්ලවයක්ද එක් කරමිනි.

එනම්, ලංකාවේ සියලුම බැංකු කටයුතු පොත්වල සඳහන් කළ යුගයක, සිය ගිණුම් කටයුතු පරිගණක ගත කළ එකම බැංකුව ලෙස දොරට වැඩියේ සම්පත් බැංකුව යි. එම වෙනසත් සමඟ, සම්පත් බැංකුව ක්ෂේත්‍රයට එක් කළ නව්‍යතා රැසක් විය.

ඔවුන් ගේ සියලු කටයුතු සිදු වූයේ පරිගණක ආශ්‍රයෙන් වූ බැවින්, එතෙක් වරු ගණන් ගත කරන්නට සිදු වූ බැංකු කටයුතු, මිනිත්තු කිහිපයකින් ඉටුකර ගැනීමට සම්පත් ගනුදෙනුකරුවන්ට හැකි විය.

එසේම, ගනුදෙනුකරුවන්ට සිය බැංකු පොතේ වූ මුදල් ආපසු ගත හැකි වූයේ, ගිණුමට අදාළ බැංකු ශාඛාවෙන්ම පමණකි. නමුත් සියලුම කටයුතු පරිගණක ගතකොට ඇති හෙයින්, වෙනත් ඕනෑම ශාඛාවකින් මුදල් ලබා ගත හැකි ' යුනි බෑන්කින් ' සේවාව,ආරම්භයේ සිටම හඳුන්වා දෙන්නට සම්පත් බැංකුවට හැකි විය.

එතෙක් ලංකාවේ සියලුම බැංකු, ගනුදෙනු සිදු කළේ දහවල් 1.30 වන තෙක් පමණක් වූ අතර,දිනකට දිගු වේලාවක් වැඩ කරන එකම බැංකුව ලෙස වාර්තා තබමින්, ඇරැඹූ පළමු දවසේ සිටම සම්පත් බැංකුව සවස 3.00 වන තෙක් සිය ගනුදෙනු සිදු කළේය.

එපමණක් නොව, එතෙක් පැවති ඉතිරි කිරීමේ ගිණුම්වලදී, අඩුම ශේෂයට පොලිය ගෙවූ බැංකු ක්‍රමයට අභියෝග කරමින් 'දෛනික ශේෂය මත පදනම් වූ පොලී ගෙවීමේ ක්‍රමය' හඳුන්වා දෙන්නට සම්පත් බැංකුවට හැකි විය.

එමගින්, රුපියල් ලක්ෂයක මුදලක් දවස් තිහේම ගිණුමේ තිබී, තිස් එක් වැනි දා ඉන් රුපියල් අනූ දහසක් ගත්තේ නම්,එම අනූදහසට පොලිය අහිමි කොට, ඉතිරි දහදාහට පමණක් පොලිය ගෙවූ පොදු බැංකු ක්‍රමය වෙනුවට, දින 30ක් සදහා අනූ දහසට හිමි සම්පූර්ණ පොලියත්, ඉතිරි දහදාහ සදහා එක් දිනක පොලියත් ලබා දෙන්නට සම්පත් බැංකුව කටයුතු කළේය.

මේ ක්‍රමය ප්‍රචලිත වීමත් සමග, ගනුදෙනුකරුවන් විශාල වශයෙන් සම්පත් බැංකුව වෙත ආකර්ෂණය වන්නට විය.

සාම්ප්‍රදායික ලෙජර් පොත් භාවිතයක් නොවූ හෙයින්, ලිපිකරු හෝ සහයක තනතුරුවල අවශ්‍යතාවක් සම්පත් බැංකුවට නොවූ අතර, සියලුම සේවක මණ්ඩලය බඳවා ගැනුණේ විධායක ශ්‍රේණියේ තනතුරු ලෙසිනි.

අද, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස, සමස්ත මෙහෙයුමේ ඉහළම තනතුර හොබවන නන්ද ෆර්නෑන්ඩු මහතාද එසේ ආරම්භක වර්ෂයේදීම සම්පත් බැංකුවට එක් වූ, විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි. පියවරෙන් පියවර ඉහළට ආ ඔහු අද , සභාපති මහාචාර්ය මලික් රණසිංහ මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමග එක්ව, සම්පත් බැංකුව අනාගතයට රැගෙන යාමේ වත්මන් කාර්යයභාරයට උර දී සිටින්නේ, සියලු අභියෝගයන්ට මුහුණ දෙන දැවැන්ත නායකත්වයත් සමගිනි.

ඒ නායකත්වය යටතේ, පන්දහසක් තරම් වන සම්පත් බැංකු සේවකයන් ගේ රැකියා සියල්ල සුරක්ෂිතය. ඉතාමත් සකසුරුවමින් කටයුතු කළ ආදර්ශමත් බැංකුවක් වන හෙයින්,කිසිදු සේවක වැටුප් කප්පාදුවකට යන්නට ඔවුන්ට අවශ්‍යතාවයක්ද නැත.ඒ පිළිබඳ නන්ද ෆර්නැන්ඩු මහතා පැහැදිලි කළේ මෙලෙසිනි.

"ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ හැම දවසකම අපේ ශාඛා විවෘතව තැබුණා. තමන්ගේ ගෙදර කුඩා දරුවන් සිටියදීත් සෑම සේවකයකුම වැඩට ආවේ, එය ඔවුන්ගෙන් ඉටු විය යුතු ජාතික වගකීමක් ලෙස සිතමින්. ඒ වගේම, සම්පත් සේවකයන් සියලු දෙනා හදවතින්ම වැඩ කරන අය. ඔවුන් ආයතනයේ දේවල් නාස්ති කරන්නේ නැහැ. පුරුද්දක් ලෙසම සකසුරුවමින් කටයුතු කරන නිසා, අපිට වැටුප් කප්පාදුවකට යාමට අවශ්‍ය වන්නේ නැහැ.

රටක් හැටියට මුහුණ දී සිටින මේ වසංගතයෙන් ගොඩ ඒමට, අපි දිය හැකි සෑම දායකත්වයක්ම මේ රටට ලබා දෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය PCR පරීක්ෂණ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා, රුපියල් මිලියන 10 ක පරිත්‍යාගයක් නුදුරේ දී ජනාධිපතිතුමා වෙත පිරිනමනවා.

ඒ වගේම, මේ ආර්ථික අභියෝගය ජය ගත හැක්කේ කෙසේද ...යන්න පිළිබඳව, ශ්‍රී ලංකික ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් නිරන්තර ව ක්‍රියාත්මක කරමින් සිටිනවා. රට යථාවත් වන තුරු, දේශීය බැංකුවක් ලෙස අප මේ ජාතික වගකීම ඉටුකරන්නේ හදවතින්මයි..."

එම වගකීම වෙනුවෙන් මේ මොහොතේත්, සම්පත් පවුලේ සියලු දෙනා එකා මෙන් කැපව වැඩ කරති. මේ සියල්ල ඉටු කිරීමට රට පුරා විසිරුණු සම්පත් බැංකු ශාඛා ප්‍රමාණය 229 කි.

දවසේ පැය විසි හතර පුරාම, දින තුන්සිය හැට පහේම රට පුරා ක්‍රියාත්මක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හෙවත් ATM යන්ත්‍ර, 430කි.

ඊට අමතරව,සාප්පු තුළ ස්ථාපිත කළ විශේෂ යන්ත්‍රයක් ඔස්සේ ක්‍රියාත්මක ඒජන්ත සේවාවක් වන, My Bank සේවාවෙන්, සවස තුනෙන් පසුවත් සති අන්තයේත් මුදල් තැන්පත් කිරීම... රුපියල් විසිපන්දාහ දක්වා මුදල් ආපසු ගැනිම...ශේෂය පිරික්සීම සහ බිල්පත් ගෙවීම වැනි දෛනික කටයුතු කර ගැනීමටත් ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා තිබේ. පවතින තත්ත්වය හමුවේ දැනට, සති අන්තයේ ක්‍රියාත්මක නොවූවද, ප්‍රධාන නගරවල ස්ථාපිත 'සුපර් බ්‍රාන්ච්' ශාඛා සමූහයත් ඉදිරියේ දී සුපුරුදු පරිදි ම ක්‍රියාත්මක වනු ඇත.

සම්පත් බැංකුව වෙතින් පිදෙන මේ සියල්ල, රට නංවන ආර්ථිකයකට දායක වනු උදෙසා ය.

 

Comments