සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2454 ක් | සිළුමිණ

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2454 ක්

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 300 ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2454 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ එම ආසාදිතයින් අතරින් 283 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් පුද්ගලයින් වන අතර 9 දෙනෙකු ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් බවයි.

ආසාදිතයින් තිදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙකු පකිස්ථානයේ සිට පැමිණි අයෙකි.

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට ද ඊයේ කොරෝනා අසාදනය වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ මීට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් ආසාදිතයා ඇසුරු කළ රැඳවියෙකුට එලෙස කොරෝනා අසාදනය වී ඇති බවයි.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 463 කි.

කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1980 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ කන්දකාඩු නේවාසිකයින් බහුතරයකට රෝගය වැළඳී ඇති බවට විශ්වාස කරන බවයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුනරුත්ථාපනය වී නිවෙස් වෙත ගිය පුද්ගලයින් යළි කැඳවීමේදී ජනතාව අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

වත්මන් තත්ත්වය යටතේ ප්‍රදේශ හුදෙකලා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.

කොරෝනා තවදුරටත් පැතිරයාම වැළැක්වීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ වෙළෙඳ සංකීර්ණ ඇතුළු ආයතන සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ය.

මේ අතර කොරෝනා අසාදිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බව සඳහන් කරමින් විවිධ කටකතා සහ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවිධානාත්මකව පතුරුවන බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙසයි.

අසත්‍ය ප්‍රචාර සිදු කරන තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කළේ ය.

Comments