වළලපු ධනය ගොඩගන්නයැයි ඈපාට උපදේශයක් | සිළුමිණ

වළලපු ධනය ගොඩගන්නයැයි ඈපාට උපදේශයක්

වල් ඌරා උඹ දන්නවද උඹේ ධනය උඹම තණ කොල බිස්සක් යට හංගලා තියනවා කියලා. මතක තියාගනින්, උඹ ඒ ධනය ඉක්මනට එළියට ගන්න ඕනැ. දැන් දණ ගහපන්.

“ඒයි ඈපාසිංහ, අම්පයර්ට පස්ස හරවන්නේ නැතුව ස්ටම්ප් එක ගනින්” කියලා ජෙරී ගුණරත්න සර් කෑගැහැව්ව මට අද වගේ තාම මතකයි. ඇත්තෙන්ම මම ඒකවත් හරියට දැනගෙන හිටියේ නැහැ.

 කිසිවිටෙකත් ඇඟිලි තුඩගින් ස්පර්ශ කළ නොවූව ද අතීතය බොහෝවිට මනරම් ය. එවන් වූ සොඳුරු මතකය ස්නායු තන්තු කෙළවරින් ස්පර්ශ කරන්නකු තුළ එක්වරම ඇතිවන්නේ හිරිවැටීමකි.

ජීවිතයේ නිසොල්මන් භාවය පොත පත ඇසුරේ බිඳ දමන ඈපාසිංහයෝ කියැවීමෙන් ඉසිඹුලන මොහොතක අදත් අතීත මතකයන් සිහිපත්කර සතුටින් සිනාසලති. ඇතැම් විට අකම්පිතව බලා සිටිති. ඔහුගේ මනසේ මතුවී වියැකී යන එවැනි මතක සමුදායක සංක්ෂිප්ත සජ්ජානයක තවත් පියවරකි මේ.

එකපාරටම කන්දසාමි සර් කතා කරපු විදිහට මාව ගැස්සිලා ගියා. මොකද මම ඊට ඉස්සරින් කිසිම දවසක ඔහුව මුණගැහිලා තිබුණේ නෑ. මම හෙමින් කිට්ටු වෙන කොටම එතුමා කේන්තියෙන් පුටුව වැරෙන් පස්සට තල්ලු කරගෙන නැගිටල මගේ කනක් තදින් මිරිකුවා.

“වල් ඌරා උඹ දන්නවද උඹේ ධනය උඹම තණ කොල බිස්සක් යට හංගලා තියනවා කියලා. මතක තියාගනින්, උඹ ඒ ධනය ඉක්මනට එළියට ගන්න ඕනැ. දැන් දණ ගහපන්.”

ඇත්තෙන්ම මට දවල් තරු පෙණුනා. ඇයි දෙයියනේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා ගෙන වැටුණා වගේ වැඩක්නෙ මට වුණේ. ඊට වඩා හපන් ප්‍රයිමරි කොල්ලෝ ඉස්සරහ දණ ගහන්න වුණු එක වස ලජ්ජාව. උන් සර්ට හොරෙන් මා දිහා බලාගෙන කට තද කරගෙන හිනා වෙනවා. එකත් එකටම මම ඊයේ සෙල්ලම් කරන්න ගිහින් මොකක් හරි වරදක් කරන්න ඇති. මදැයි නොදන්න ක්‍රිකට් ගහන්න ගිහින් මම කර ගත්ත කරුමය කියලා ඒ වෙලාවේ මට හිතුණා. අනිත් එක මම දැනුවත්ව කිසිම දෙයක් හංගලා නැහැ. මේ වගේ සිතුවිලි මගේ හිතට වද දෙනවා.

මෙහෙම ටික වෙලාවක් ඉන්න කොට සර් හිටි තැනින් නැගිටලා නැවත මා ළඟට ආවා. ඒ පාර බයෙන් මගේ ඇඟ සීතල වෙලා ගියේ අර වළලපු ධනය ගොඩ අරගෙන වරෙන් කියලා කියයි කියන බයටයි. මගේ සමීපයට ආපු කන්දසාමි සර් මගේ ඔලුව අතගාලා “ නැගිටපන් ” කියලා බොහොම නිවුණු හඬින් කතා කළා.

“පුතා මට උඹ ගැන හරිම ආඩම්බරයි. උඹ ඊයේ අපේ ‘ෆස්ට් ඉලවන් ’ක්‍රිකටර්ස්ලට පාඩමක් කියලා දුන්නා. ඒක හරිම ප්‍රාතිහාර්යක් වගේ. උඹ හෙට ඉඳල ක්‍රිකට් පුහුණුවීම්වලට එන්න ඕනෑ.”

කන්දසාමි සර් මේ මොනවද කියන්නේ කියලා මට අදහගන්න බැරි වුණා. ඒ නිසාම මට සර්ගේ මුහුණ දිහා එක එල්ලේම බැලුණා. ඔහු මඳ සිනහවක් නගමින්,

“ඈපාසිංහට මම මේ අරන් දෙන්නේ කාටවත් නොලැබුණ අවස්ථාවක්. ඒ නිසා මේක මගහැර ගන්න එපා.”

ඒ කතාව නම් ඇත්ත. කනිෂ්ඨ කණ්ඩායමිවලට තරග නොකර එකපාරටම ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට එක් වෙන්න අවස්ථාවක් ලැබුනේ මට විතරයි. මම හිතන්නේ ලංකාවේ පාසල් ක්‍රිකට් ඉතිහාසයේ එවැනි අවස්ථාවක් තාමත් කාටවත් ලැබිලා නැහැ. එහෙම බැලුවොතින්

ඒක කාටවත් කඩන්ඩ බැරි වාර්තාවක්.

“සර් මට පුහුණුවීම් වලට එන්න පුළුවන්. ඒත් මට දාන්ඩ සපත්තු දෙකක් නැහැ.” මම බොහොම අමාරුචෙන් වචන ටිකක් ගලපගෙන එළියට දැම්මා. මොකද මම එදා මැච් එක ගැහැව්වේ මගේ ළඟ තිබුණ පරණ කැන්වස් සපත්තු දෙකක් දාගෙනයි.

“ඒක මගේ ප්‍රශ්නයක් නෙමේ ඈපාසිංහ. සපත්තු දෙකක් නැත්තම් සල්ලිවලට ගන්න ඕනේ. නැත්නම් ඒක කාගෙන් හරි ඉල්ල ගන්න. හැබැයි හොරකම් කරන්න එපා. මොනව උනත් හෙට ප්‍රැක්ටිස් එන්ඩ අමතක කරන්ඩ එපා තේරුනාද ?”

පහුවෙනිදාට එළි වුණා. ඒත් මට බූට් දෙකක් හොයා ගන්න බැරි වුණා. කියපු ඉක්මනට තාත්තට වුණත් බූට් අරන් දෙන්න කාලයක් තිබුණෙත් නැහැ. මොනව වුණත් මගේ කැන්වස් සපත්තු දෙකත් අරගෙන එදා පුහුණුවීම් වලට ගියා. ටික වෙලාවක් යන කොට කන්දසාමි සර් තව දෙන්නෙක් එක්ක එතනට ආවා.එක්කෙනෙක් ජෙරී ගුණරත්න මහත්තයා. එතුමා පසු කාලයේ මගේ ක්‍රිකට් උපදේශක ලෙස කටයුතු කළා. අනිත් කෙනා තමයි ස්ටැන්ලි ජයසිංහ. ඔහු නාලන්දාවෙන් බිහිවුණ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

එදා තිබුණෙ පුහුණුවීම් තරගයක්. එදා මම මුලින්ම බැට් එක අරගෙන මගේ ස්ටම්ප් එක ගන්ඩ හදන කොටම,

“ඒයි ඈපාසිංහ, අම්පයර්ට පස්ස හරවන්නේ නැතුව ස්ටම්ප් එක ගනින්” කියලා ජෙරී ගුණරත්න සර් කෑගැහැව්ව මට අද වගේ තාම මතකයි. ඇත්තෙන්ම මම ඒකවත් හරියට දැනගෙන හිටියේ නැහැ.

මට එදා මුලින්ම පන්දුව දැම්මේ අපේ රටේ කීර්තිමත් ඇමතිවරයෙක් ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාම්ණී ජයවික්‍රම පෙරේරායි. එයා නාලන්දාවෙන් බිහි කළ අති දක්ෂ පන්දු යවන්නෙක්. ගාමිණී ඒ කාලේ හරියට චමින්ද වාස් වගේ ගින්දරට බෝලේ දානවා.

එදා අපේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ නාලන්දාවෙන් බිහිවුණ තවත් අති දක්ෂ ක්‍රීඩකයෙක් වූ චන්ද්‍රසිරි වීරසිංහයි. තරගයේ කඩුලු රකින්න මාව දැම්මා. ඒ ලද අවස්ථාවෙන් මම උඩපන්දු දෙකක් සමග කඩුල්ල බිඳගැනීමක් ගන්න සමත් වුණා. එදා කන්දසාමි සර් මගේ කන මිරිකලා,

“හංගපු ධනය ගොඩගනින් කියපු දේ” මේ වෙන්න ඇති කියලා මට හිතුනා. පුහුණුවීම් තරඟය අවසානයේදී කන්දසාමි සර් මට අලුත්ම බූට් කුට්ටමක් තෑගිකරන ගමන් මට පුහුණුවීම් සඳහා දිගටම එන ලෙස දැන්වුවා.

 ලබන සතියට-

ගාමිණී ජයවික්‍රමට ඈපාගෙන් තල්ලුවක්.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments