
ඒකාලේ රෝයල්-තෝමියන් තරගය බලන්න රොද බැඳුණේ කොළඹ ඉහළ සමාජයේ අය.
මම ක්‍රිඩකයෙක් වෙන්න කලින් හොඳ නරඹන්නෙක් කිව්වොත් නිවැරැදියි. ඒ උනන්දුවම තමයි මාව ක්‍රිකට් පිටියට අරගෙන ගියේ.
බොහෝ විට මතක මිහිරි ය. එවැනි බොහෝ මතක ඉමිහිරි ය. එවැනි ඉමිහිරි මතක නැවත නැවත සිහිපත් කිරීමද සුවදායක ය. එහෙත් ඒ මතක යනු මතකයක්ම පමණි. අප එසේ කියන්නේ ඒවා යළි ඒ මතක ආවර්ජන ඇසුරේ හැරුණු කල කිසිම දිනෙක ස්පර්ශ කළ නොහැකි හෙයිනි. එහෙයින් ඉමිහිරි වුව මතකයන් සිහිපත් කරද්දී ඇතිවන්නේ ශෝකී තානයකි. එකී ශෝකී භාවය නිකිණි කොටන්නාක් සේ සිතේ මතුවී වියැකී යයි. ඈපාසිංහයන්ට ද එහි වෙනසක් ඇත්තේ නැත. එහෙත් ඔහු තම අතීතයේ අභිරමණීය මතක අසපුව තුළ මහත් අභිරුචියෙන් සක්මන් කරයි. අපි ද ඔහු පසුපසින් එකී ස්මරණ චාරිකාවේ නියැලීමු.
ප්‍රේමසරගේ පාසල් ගමනේ සහායකයා වූයේ පාපැදියයි. හිමිදිරියේ පොත් අසුරාගත් කුඩා සූට්කේසය පාපැදියේ පසුපස රඳවනයේ තබා ගන්නා ඔහු කොළඹ විශ්ව විද්‍යාල කොලිජ් හවුස් ගොඩනැගිල්ල අසල පිහිටි සිය නිවසේ සිට නාලන්දාවට පැමිණෙන්නේ ද, නැවත පාසල් නිමාවී නිවසට යන්නේ ද, එකම මගක් ඔස්සේය. ඇතැම් දිනවල ඔහු සමග ඒ ගමනට සහායකයකු ද එක්විය. ඒ නාලන්දාවේ ජ්‍යෙෂ්ඨ පංතියේ සිංහල ගුරුවරයා වූ රිජ්වේ තිලකරත්න මහතා ය.
“තිලකරත්න සර් උදේ වරුවේ නාලන්දාවෙ උගන්නලා දවල්ට උගන්වන්න ටවුන් හෝල් එක ළඟ තිබුණ බෞද්ධ කාන්තා විද්‍යාලයට යනවා. මම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න කලින් ඉස්කෝලේ ඇරිලා ගෙදර යන කොට තිලකරත්න මහත්තයත් එයාගේ සයිකලේ පැදගෙන මාත් එක්කම එනවා. අපි ටවුන් හෝල් හන්දියෙන් දෙපැත්තකට හැරිලා යනවා. මම වික්ටෝරියා පාක් එක පැත්තේ පරණ එස්.එස්.සී. පිට්ටනිය තිබුණ හන්දියෙන් වමට හැරිලා කුරුඳුවත්ත පොලීසිය පැත්තෙන් ගෙදරට යනවා.
ඒ කාලේ ඇහැළ, මාර, නා, ගස් අපි යන මේ පාර දිගටම මහා හෙවනක් ගෙන දුන්නා. ඒ නිසා ගතට සිතට කිසිම වෙහෙසක් දැනුනෙ නැහැ” මනරම් සිනහවක් මුවග රඳවමින්, දෙනෙත් පියටාගනිමින් අප කතා නායකයෝ එසේ පවසති.
පාසල හා නිවස වශයෙන් සිදුවුණු ඒකාකාරී දිවියට අහඹු ලෙස මුණගැසුනු ක්‍රිකට් හිතවතා ගැටවර ප්‍රේමසරගේ ජීවිතය නව මානයකට රැගෙන ගියේය. දැන් ඔහු දෛනික අධ්‍යාපනික කටයුතු නිමාවෙන් පසුව යොමු වන්නේ ක්‍රිකට් පුහුණුවකට හෝ තරගයකටය. එය මහත් මානසික හා කායික ප්‍රබෝධයකි.
පරණ එස්.එස්.සී. පිට්ටනිය තිබුණේ අද නෙළුම් පොකුණ රඟහල තියන තැනයි. ඒ පිට්ටනිය දැන් තැනට ගෙනියපුවහම පරණ තැන ‘නොමෑඩ්ස්’ ක්‍රීඩා සමාජයේ පිටිය ලෙස නම් කළා. ඒ කාලේ රාජකීය, සාන්ත තෝමස් මහා තරගය පැවැත්වුණේ මේ පිට්ටනියෙ යි. නමසිය හතලිස් ගණන්වල පැවැතුණු රොයල් -තෝමියන් තරගයක් පිට්ටනියේ පාර අයිනේ තිබුණ මාර ගහක් උඩ අත්තකට නැගලා බැලුවා මට හොඳට මතකයි. ඒක හරිම සුන්දර අත්දැකීමක්.
‘ඒකාලේ රෝයල් - තෝමියන් තරගය බලන්න රොද බැඳුනේ කොළඹ ඉහළ සමාජයේ අය. විසිතුරු ඇඳූමටම ගැළපුණු පාට තියෙන තොප්පිවලින් සැරසුණු කාන්තාවෝ, ටයි, කෝට් දාගෙන ඉන්න මහත්වරුන්ගේ අත්වල එල්ලීගෙන එන අපූරුව අර ගහ උඩ හිටපු මම හොඳට දැක්කා. එතන හරියට එංගලන්තයේ කොටසක් වගේ. ඒ විසූක දසුන් මැද්දේ වුණත් මම තරගය හොඳින් බැලුවා. ඒකෙදී රාජකීය විද්‍යාලයේ ගාමිණී ගුණසේන කඩුලු අටක් ගත්තා මට හොඳට මතකයි. ඒ වගේම ශාන්ත පීතර- ශාන්ත ජෝසප් මහා තරගය පැවැත්වුණෙත් ඔය පිට්ටනියෙමයි. එදා ශාන්ත පීතර නායක එච්. අයි. කේ. ප්‍රනාන්දු ලකුණු සීයක් ගත්තා. ඔහු ඒ කාලේ දක්ෂ කඩුලු රකින්නෙක්. ඔහුගේ කණ්ඩායම වෙනුවෙන් වමතින් දඟ පන්දු යවන ඩයන් වොලස් වගේම වයිමන් පන්දුයැවීමෙන් සහාය වුණා. ඔහු තමයි පසු කලෙක ඩොක්ටර් වයිමන් ලෙස ප්‍රකට වුණේ. ඒ වගේම එච්. අයි. කේ. ප්‍රනාන්දුත් වෛද්‍යවරයෙක් වුණා.
‘මේ වෙලාවේ මගේ මතකයට එනවා තවත් දක්ෂ වෛද්‍යවරයෙක්. ඒ තමයි මහාචාර්ය වෛද්‍ය ෂෙරිෆ්ඩීන්. ඔහු කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. වමතින් දඟ පන්දු යවන ඔහුට මම මුල් ම තරගයේදී මුහුණ දුන්නා. මොනව වුණත් මම ක්‍රිඩකයෙක් වෙන්න කලින් හොඳ නරඹන්නෙක් කිව්වොත් නිවැරැදියි. ඒ උනන්දුවම තමයි මාව ක්‍රිකට් පිටියට අරගෙන ගියේ. 1957 මගේ ජීවිතයේ සුවිශේෂී වර්ෂයක්. මොකද මගේ පාසල් දිවියේ වගේම පාසල් ක්‍රිකට් දිවියේ අවසානයත් ඒ වසර වීම නිසයි. ඒ අවුරුද්දේ මුල් මාස තුන ඇතුළත ආනන්ද - නාලන්දා මහා තරගයට කලින් තරග නවයකට අපි ක්‍රීඩා කළා. ඒ හැම තරඟයකදීම ආරම්භක පිතිකරුවෙකු ලෙසත් කඩුලු රකින්නා ලෙසත් මම උපරිමයෙන්ම මගේ වගකීම ඉෂ්ට කළා. හැබැයි මට වැරදුණ තැනුත් තිබුණා. රාජකීය විද්‍යාලය සමග පැවති තරගය ඒ වගේ තරගයක්.’ ප්‍රේමසර ඈපාසිංහයෝ පවසති.
එදා මුලින්ම ලකුණු රැස් කිරීමේ අවස්ථාව ලැබුණේ අපිටයි. මමත් සරත් සිල්වාත් පිට්ටනියට ආවා. දෙවැනි පන්දුවාරයට මුහුණ දුන්නේ මම. එවකට රාජකීය විද්‍යාලයේ හිටපු දක්ෂ වේග පන්දු යවන්නෙක් වූ මයිකල් වෙල්ලේ ක්‍රීඩාගාර අන්තයේ සිට වේගයෙන් ඇවිත් මට පන්දුව යොමු කළා. අපේ මැටින් පිච් එකේ යට රැඳීලා ඉලිප්පිලා තිබුණ ගලක ගැටුණු පන්දුව මගේ මැද ඉන්න ගැලෙව්වේ ක්‍රිකට් ජීවිතයේ එකම රාජකීය බිංදුව සටහන් කරමිනුයි. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒකත් හරියට අපි ගත කරන ජීවිතය වගේ.’ ඔහු කීවේ හුස්මකින් ළය සැහැල්ලු කරගනිමින් අප දෙස බලමිනුයි.
ලබන සතියට- අවසන් සටනේ ප්‍රේමසරට මොකද වුණේ?
ඡායාරූප - ජගත් ඉරෝෂණ