
පෙම්සර රන් ස්වර වරුණ-8
එදා මට ඇහුණ මිහිරිම වචන පෙළ නිසා හිතේ දුකක් නැතුව පාසල් ක්‍රීඩා පිටියෙන් සමුගන්න පුළුවන් වුණා.
පළමු ඉනිමේ හැඳි පහරකින් හෙම්බත් වෙලා සිටි මම දෙවැනි ඉනිම ආරම්භ කළේ ඉතාමත් දැඩි කල්පනාකාරීවයි. ඒ නිසා පැය දෙකකට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු නවයක් ලබා ගත්තා.
'ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. එය එසේ සැලකෙන්නේ අවසන් පන්දුව නිමවනතුරුත් තරගයක ප්‍රතිඵලය සම්බන්ධයෙන් පැවසීමට අසීරුවන හෙයිනි. එය අදට වඩා එදා සාධාරණ ප්‍රකාශයක් වූයේ තරග පාවාදීම්, මුදලට ඔට්ටු ඇල්ලීම් එකල වාර්තා නොවූ හෙයිනි.
ප්‍රේමසර ඈපාසිංහයෝ ක්‍රිකට් ක්‍රිඩාවේ නියැලුණේ මෙම මහත්මා ගති ලක්ෂණ ක්‍රීඩාව තුළ ප්‍රබලව සංකේන්ද්‍රනය වූ කාලයකය. අදටත් ඔහු පවසන ක්‍රිකට් සාරධර්ම ඉහළම අයුරින් රක්ෂාවී තිබුණේ ඒ සමයේ දී යැයි පැවසිය හැකිය. ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවකැයි සමාජය තුළ පිළිගැනීමක් වර්ධනය වූයේ ඒ හේතුවෙනි. තමන්ගේ අතීතය දෙස බලා ඔහු වර්තමානයට හා අනාගතයට කියන්නේ ක්‍රීඩාව තුළ පැවැති එම අතීත මහත්මා ගුණයන් ආරක්ෂා කරගැනීම සම්බන්ධවය. පාසල් ක්‍රීඩකයන් තුළ ඉස්මතු කළ යුතු, වර්ධනය කළ යුතු ගුණාත්මක හැඟීම් පිළිබඳය. 'ක්‍රීඩා' ඔහුගේ මතක අසපුව තුළ තවත් දිනක සංචාරයක නිරත වූයේ එමගින් වර්තමාන ක්‍රිකට් ලෝලීන්ට හා ක්‍රීඩකයන්ට ගත හැකි පාඩම් බොහොමයක් පවතින හෙයින්මය.
‘පනස් හතේ ආනන්ද නාලන්දා මහා තරගයට මුහුණ දෙන විට අපි පාසල් ක්‍රිකට් කණ්ඩායම් අතරින් ඉදිරියෙන්ම සිටියා. අපි ඒ වෙන විට තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්නුම් කරලා තිබුණා. විශේෂයෙන් ඒ වෙද්දී නාලන්දා විදුහල් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඩේලි නිවුස්, ඔබ්සර්වර් වැනි පත්තර ඔහුව හැඳින්වූයේ ‘බැටින් මැෂින්’ එක කියලයි.’ ඈපාසිංහයන් අතීතය සිහිපත් කරමින් මදහසක් මුවගට නඟා ගන්නේ හදවත අභ්‍යන්තරයෙන් මතුවන සැබෑ සතුටක් සිත තුළ පොපියන බව නිහඬවම ප්‍රකාශ කරමිනි.
‘අපේ කණ්ඩායම ශක්තිමත් කළ ස්ටැන්ලි ජයසිංහ ගැන කතා කළ යුතුමයි. ඔහු චන්ද්‍රසිරිට වඩා ප්‍රහාරාත්මක පිතිකරුවෙක්. හැබැයි චන්ද්‍රසිරි කියන්නේ තාක්ෂණික පිතිකරුවෙකුට. ඒ වසරේ ඔහු ශතක හතරක් රැස්කළා. ඔහු 1954 සිට 1957 දක්වා කාල සීමාවේ ආනන්ද නාලන්දා තරගවලදී පමණක් ලකුණු 444 රැස්කරපු ක්‍රීඩකයෙක්. හැබැයි කවුරුහරි චන්ද්‍රසිරි කියන පිතිකරුවා ගැන ස්ටැන්ලිගෙන් ඇහැව්වත් ඔහු කිව්වේ චන්ද්‍රසිරි කියන්නේ දක්ෂ පිතිකරුවෙක් කියලයි. ඒ වගේම අපේ පන්දු යවන බලඇණියත් ශක්තිමත්. නාලන්දාවේ හිටිය හොඳම දඟ පන්දු යවන්නා තමයි මහවත්ත ප්‍රේමචන්ද්‍ර. ඔහු ඒ වසරේ නාලන්දාව සහ රාජකීය විද්‍යාලය අතර පැවැති තරගයේදී එකම පන්දුවාරයේ එක දිගට කඩුලු හතරක් දවාගෙන වාර්තාවක් පිහිටෙව්වා. එවැනි දක්ෂතාවලින් පූර්ණ කණ්ඩායමක් තමයි නාලන්දා විදුහල නියෝජනය කළේ. නමුත් එදා ආනන්ද විදුහල සමඟ තිබුණු මහා ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී අපි අසාර්ථක වුණේ කසිවකුටත් විශ්වාස කරන්න බැරි ආකාරයටයි. අපේ පළමු ඉනිම ලකුණු 125 කට සීමා වුණා. ඒ ඉනිමට චන්ද්‍රසිරි තනිව ලකුණු 76ක් එකතු කළා මට මතකයි.’ අමිහිරි මතකයක් සිහිපත් කරන්නේ නමුදු ඈපාසිංහයන්ගේ කට හඬේ කිසිදු වෙනසක් නොමැත.
‘අපිට ඉක්මනින්ම දෙවැනි ඉනිම සඳහා ලකුණු රැස් කිරීමට ආනන්ද කණ්ඩායම ආරාධනා කළේ ඉනිමක ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙනුයි. පළමු ඉනිමේ හැඳි පහරකින් හෙම්බත් වෙලා සිටි මම දෙවැනි ඉනිම ආරම්භ කළේ ඉතාමත් දැඩි කල්පනාකාරීවයි. ඒ නිසා පැය දෙකකට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු නවයක් ලබා ගත්තා. මගේ කඩුල්ලේ හිමිකරුවා වුණේ ආනන්ද රණසිංහයි. මිත්‍ර ලකුණු 15ක් වගේ රැස්කළා. හැබැයි අපි දෙන්නා වාර්තාගත වේලාවක් කඩුල්ලේ රැඳී සිටියේ කණ්ඩායම පරාජයෙන් බේරාගන්න අපේක්ෂාවෙනුයි. ඒ වෙලාවේ ආනන්ද ප්‍රේක්ෂකාගාර වගේම පන්දු රකින්නන් “මුන් දෙන්නා රබර් ගිලලා ඇවිත් ද කොහෙද” කියා අපේ ඒකාග්‍රතාව බිඳින්න උත්සාහ ගත්තා. ඒත් අපි ඒ එක උගුලකටවත් අහුවුණේ නැහැ.’ ඔහු තුළ ඇත්තේ ජයග්‍රාහී සිනහවකි.
‘දෙවෙනි ඉනිමේදී පන්දුවට පහරදෙන්න සරත් සිල්වා ආවේ නෑ. ඒ නිසා මායි මිත්‍රයි තමයි ආරම්භක පිතිකරුවන් වශයෙන් කටයුතු කළේ. එතැනදී ෂර්ලි වීරසිංහ නොදැවී ලකුණු 30ක් රැස්කළේ අපේ අරමුණට ශක්තියක් එක් කරමිනුයි.චන්ද්‍රසිරි නොදැවී ලකුණු 60ක් ලබා ගත්තා. ඇත්තටම කියනවා නම් නාලන්දාවේ ගෞරවය රකිමින් තරගය ජය පැරදුමකින් තොරව නිමා කරන්නට ඔහු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළා යැයි කිව හැකියි. එදා ගුවන් විදුලි නිවේදකයන් අපේ දෙවැනි ඉනිමේ ක්‍රීඩා විලාශය වර්ණනා කළේ, “ඈපාසිංහත්, මිත්‍රත් දෙදෙනා එකතු වෙලා පැය දෙකකට වැඩි කාලයක් කඩුල්ලේ රැඳී සිටීමින් නාලන්දාව පරාජයෙන් ගලවා ගන්න විශාල ශක්තියක් ලබා දුන්නා. ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික ලක්ෂණයක් අද ඔවුන් දෙදෙනා ප්‍රදර්ශනය කළා” කියායි.’ අපේ කතානායකයානන් පවසන්නේ සතුටිනි.
‘ඇත්තෙන්ම එදා මට ඇහුණ මිහිරිම වචන පෙළ නිසා හිතේ දුකක් නැතුව පාසල් ක්‍රීඩා පිටියෙන් සමුගන්න පුළුවන් වුණා. ගුවන් විදුලි නිවේදන කලාව කියන්නේ ඒකයි. විෂයානුබද්ධ දැනුම හා නිවැරැදි විචාරය මා ඒ තුළින් ඉගෙන ගත්තා වගේම ඒ නිවේදන කලාවට මගේ හිත ඇදිලා ගියා.’ අපේ කතානායකයා තම ජීවිතයේ සිදු වූ සුවිශාල වෙනසක පෙරමඟ නිමිති ගැන පැහැදිලි කළේය.
‘එදා තරඟය නරඹන්නන් අතර මගේ තාත්තාත් හිටියා. ඒ නිසා මගේ නමට ලැබුණු ඒ සහතිකය මට ලොකු හයියක් වගේ දැනුනා. අපේ තාත්තා ක්‍රිකට් ගැන දැනගෙන හිටපු කෙනෙක් නොවෙයි. වරක් ඔහු මහනුවර ධර්මරාජයත් එක්ක තිබුණඅ තරගයක් බලන්න ආවා මට මතකයි. මම ලකුණු 79ක් රැස්කළ ඒ තරගයේ මම ක්‍රීඩාගාරයට ආපු වෙලාවේ තාත්තා බොහොම සතුටින් මා ළඟට ඇවිත් රුපියල් පනහක් මගේ අතට දීලා, “යාලුවන්ට අයිස් ක්‍රීම් අරන් දෙන්න” කියලා යන්න ගියා මට අද වාගේ මතකයි. ඒ කාලේ ළමයි ක්‍රිකට් ගහනකොට අම්මලා, තාත්තලා ඇවිත් බලාගෙන හිටියා. එයාලා දැන් වගේ ක්‍රිකට් ගහන්ඩවත් පුහුණුකරුට උගන්නන්නවත්, බලපෑම් කරන්නවත් ගියේ නැහැ. එදා ගුරුවරුන් දක්ෂයාට නිසි තැන ලබාදුන් නිසා අති දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහි වුණා කියලා නිර්භයව කියන්න පුළුවන්.’ ඔහු පවසන්නේ එදා හා අද අතර වෙනස අවබෝධ කරගනිමිනි.
ලබන සතියට -
ඈපාසිංහ තවත් කඩඉමක් පනී
ඡායාරූප - ජගත් ඉරෝෂණ