
පෙම්සර රන් ස්වර වරුණ-9
ලෝකයේ යුගයෙන් යුගය විවිධ පෙරළි සිද්ධ වුණා. ඉදිරියටත් එහෙම වේවි. අධ්‍යාපනයත් ඊට අනුගත විය යුතුයි. ඒත් ඉතිහාසය, සාහිත්‍ය, දර්ශනය, එමඟින් බැහැර කරනවා නම් ඒ සමාජය තුළින් බිහි වෙන්නේ හිතක් පපුවක් සංවේදීකමක් නැති කෘත්‍රිම හිස් මිනිස්සු.
'ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. එය එසේ සැලකෙන්නේ තරගයක ප්‍රතිඵලය සම්බන්ධයෙන් අවසන් පන්දුව නිමවනතුරුත් පැවසීමට අසීරුවන හෙයිනි. එය අදට වඩා එදා සාධාරණ ප්‍රකාශයක් වූයේ මුදලට තරග පාවාදීම්, හෝ ක්‍රිකට් ක්‍රීඩාවේ ඔට්ටු ඇල්ලීම් සංසිද්ධීන් ඉතිහාසය තුළ වාර්තා නොවූ හෙයිනි. එහෙයින් ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් විය. අද එය මහත්හොරුන්ගේ ක්‍රීඩාවදැයි කියන්නට අපි උත්සහ නොකරන නමුත් අතීත ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ මහත්මයකු වන ඈපාසිංහයන්ගේ හඬට මෙවරද දෙසවන් සුසර කළෙමු.
අප මේ ජීවත්වන්නේ පරිගණක යුගයේ ය. බොත්තමක් එබූ සැණින් ලෝකයේ සතර දිග් භාගයේ සැරිසරන්නට අපට හැකිය. එයට අතීතය හෝ අනාගතය කියා වෙනසක් නැති තරම්ය. එහෙත් පරිගණකය පරදන්නට තරම් මතක ගබඩාවක් මිනිස් මනස තුළ ද තැන්පත්ව පවතී. එය වේගයෙන් ක්‍රියාත්මක නොවන්නේ වියපත් භාවයට පත්වද්දී ය. එකී නිර්නායකයට අනුව අපේ කතානායක ප්‍රේමසර ඈපාසිංහයන් තවමත් තරුණයැයි අපට හැඟේ. ඒ ඔහුගේ මතක ගබඩාවේ බොත්තමක් එබූ සැණින් අතීතය පැහැදිලිව අප ඉදිරියේ දිදුලන කතාන්තරයක් වන හෙයිනි.
වයසින් මුහුකුරා ගිය ද ඈපාසිංහයන්ගේ ස්මරණ ශක්තියෙහි කිසිදු කඩතොඵවක් නොමැති සේය. ඔහු ක්ෂණයෙන් නෙත් පියවා ගෙන දසක තුන හතරක් ඔබ්බට සිත දුවවන්නේ අපව ද ඔහු හා රැගෙන ය. රසවතකු සේ අවිවාදයෙන් හැඳින්විය හැකි ඈපාසිංහයෝ ජ්‍යෙෂ්ඨ නැතහොත් සීනියර් විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණේ 1957 දෙසැම්බර් මාසයේ ය. පාසල් දිවියේ මෙතෙක් පැමිණි මඟෙහි සියලු දේ විනිශ්චය කෙරෙන්නේ එම කඩඉමේ සාර්ථකත්වය මතය. එහෙත් එය ඔහුට අභියෝගයක් නො වූයේ ය. ඇතැම්විට එය ඔහුගේ දෛවය ඔහුගේ අනාගය සම්බන්ධයෙන් නිර්මාණය කරන ලද විභව ශක්තියක් වන්නට ඇත.
‘පනස් හතේ සීනියර් විභාගය තිබුණත් මම ඒක එච්චර බරක් කරගත්තේ නැහැ. මොකද මම ක්‍රීඩා කළේ පිට්ටනියේ දි විතරයි. පාසල් වේලාවේදි මගේ ඉගෙනීමේ කටයුතු නිසි අයුරින් කළා. එයට මූලිකම හේතුව වුණේ ඒ කාලේ අපට ඉගැන්වූයේ පියරුවරුන්ට සමාන ගුරුවරු නිසයි. අද වගේ ‘ටක් - ටික් -ටුක්’ අධ්‍යාපන ක්‍රමයක් නෙමේ ඒ කාලේ තිබුණේ. ඒක හරිම ක්‍රමවත් ඉගැන්වීමක්. අදාළ විෂය කිසිදු අඩුපාඩුවක් නැතිව මතකයේ ගබඩා කරගන්න අපට හැකිවුණා. අපේ ඉතිහාසය ගුරුවරයා වුණේ කේ. එම්. කේ. රාජරත්න මහත්තයයි. (පසු කාලෙක ඔහු වැලිමඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසත් පත්වුණා.) ඇත්තෙන්ම එතුමා ඉතිහාසය ඉගැන්නුවේ නැහැ. ඔහු අපිට ඉතිහාසය පෙව්වා කිව්වොත් නිවැරැදියි. එදත් අදත් අපේ රටේ ඉතිහාසයට ආදරය කරන තැනට මාව වර්ධනය කළේ එතුමායි. මම විශ්වාස කරන්නෙ රටක ඉතිහාසය ගැන නොදන්න මිනිහාට අම්මා තාත්තවත් අමතක වෙනවා කියලයි.’ ඈපාසිංහයෝ පවසන්නේ ගාම්භීරවය. අපි ඔහුට බාධා නොකර බලා සිටිමු.
‘ඒ වගේම තමයි ජීවිතය සංවේදී වෙන්නේ, ලස්සන වෙන්නේ, නිර්මාණශීලී වෙන්නේ, සාහිත්‍යයෙන්. අද ළමයි අපේ රටේ ඉතිහාසය ගැන සාහිත්‍ය ගැන මොනවද දන්නේ? කොටින්ම කිව්වොත් ගම්පෙරළිය කාගෙද කියලා ඇහැව්වොත් ඒකට නිරුත්තර වෙයි.’ ඒ තුළ උපහාසය මෙන් ම කලකිරීමේ සලකුණු ද ගැබ්ව ඇත.
‘ඇත්තටම අද තියෙන්නේ කෘත්‍රිම අධ්‍යාපන ක්‍රමයක්. ළමයි ගිරව් වගේ කට පාඩම් කරනවා. මොකද ප්‍රශ්න පත්තරේට ඉරි කෑලි ගහන්න. විෂය පිළිබඳව ගැඹුරු අත්දැකීමක් ගන්න නම් පාසල් පොත පතට අමතරව ඒ විෂයානු බද්ධ පත පොත පරිශීලනය කරන්න ඕනැ. දැනුමෙන් සන්නද්ධ වෙන්නෙ එතකොටයි. ලෝකයේ යුගයෙන් යුගය විවිධ පෙරළි සිද්ධ වුණා. ඉදිරියටත් එහෙම වේවි. අධ්‍යාපනයත් ඒ අනුව අනුගත විය යුතුයි. ඒත් ඉතිහාසය, සාහිත්‍ය, දර්ශනය, එමඟින් බැහැර කරනවා නම් ඒ සමාජය තුළින් බිහි වෙන්නේ හිතක් පපුවක් සංවේදීකමක් නැති කෘත්‍රිම හිස් මිනිස්සු. බලන්න අද අධ්‍යාපනය තුරඟ තරග පිටියක් වෙලා. දරුවෝ විතරක් නෙමේ අම්මලත් ඒ පස්සේ දුවනවා. ජනප්‍රිය පාසලට ළමයව දාගන්න දඟලන පොරකෑමේ ඉඳලම ඉස්කෝලෙට බොරු කියන්න ළමයට උගන්වනවා. ඒ නිසා ඉස්සර වගේ ළමයි සංවේදී නැහැ. මම එදා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අතර අතපසුවුණු පාඩම් පංතියේ මිතුරන් මට ලියලා දුන්නා. ඒ නිසා මට පාඩම් සටහන් කිසිවක් අතපසු වුණේ නැහැ. ඒත් දැන් එකිනෙකාට සහාය ලබාදීම හරිම දුර්වලයි. ඒක අපේ ක්‍රීඩාවටත් දරුණු විදිහට බලපාලා. ලෝක කුසලාන ගත්ත ක්‍රීඩාවක් අද පදික වේදිකාවෙනුත් පහළට වැටිලා තියෙන්නේ.’ එම ප්‍රකාශය තුළ මහා ගැඹුරක් තිබේ.
‘මට සීනියර් විභාගේ ඒ තරම් අපහසු නොවුණත් නාලන්දාවෙන් සමුගන්න නම් ටිකක් අපහසු වුණා. පාසලට, ඉගෙනීමට ආදරය කරන ඕනෑම කෙනෙකුට ඒ සංවේදී හැඟීම පහළ වෙනවා. පාසලෙන් මම නික්මුණේ ක්‍රීඩා පිටියටයි. ‘ජෙරී ගුණරත්න සර්’ නායකත්වය දැරූ සැරසන් ක්‍රීඩා සමාජයට එක්වන්න අපට අවස්ථාව ලැබුණා. ඒ සර්ගෙන් ලැබුණු උපදෙස් පිටයි. මට අමතරව චන්ද්‍රසිරි වීරසිංහත් එතැන සිටියා. අද ගුවන් හමුදා ක්‍රීඩා පිටිය එදා හැදින්වූයේ සැරසන් නමිනුයි. ඒ කාලේ නාලන්දාවේ සහ ආනන්දයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලණු බොහෝ දෙනෙක් පාසල් ගමනෙන් පසුව ක්‍රීඩා කරන්න සැරසුණේ ‘සැරසන්’ සමඟයි. ඒකට හේතුවකුත් තිබුණා. මොකද ලංකාවේ තිබුණු අනෙක් ක්‍රීඩා සමාජ කිසිවක් බෞද්ධ විද්‍යාලවලින් එළියට එන අපිව ගණන් ගත්තේ නැහැ. මරිය කඩේ ක්‍රිකට්කාරයෝ කියලා අපට කෙනෙහිලිකම් කළා. ඒ නිසා චන්ද්‍රසිරි වීරසිංහලා වගේ දක්ෂයින් හුඟ දෙනෙකුට ජාතික තලයට යන්න තිබුණු අවස්ථා මඟ හැරුනා.
ලබන සතියට - ඈපාසිංහ පිත්තත් සමග පෑනත් අතට ගනී
ඡායාරූප - ජගත් ඉරෝෂණ