
“උඹ ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න විශ්ව විද්‍යාලයට යන්න වැඩ කරපන්” ‘ඇත්තෙන්ම උන්වහන්සේගේ අවවාදයෙන් දිරිමත් වුණු මම විශ්ව විද්‍යාල ප්‍රවේශයට හොඳින් ඉගෙන ගෙන පෙනී හිටියා.
මගේ මුල් ම රස්සාවේ වැටුප රුපියල් හැට හතරයි. මා සමග ගුරුවරු පස් දෙනෙක් හිටියා. මටත් ප්‍රධානාචාර්ය වේහැල්ලේ ධම්මානන්ද හාමුදුරුවන්ටත් විතරයි වැටුප් ලැබුණේ.
අතීතයේ ක්‍රිකට් හෝ වෙනයම් ක්‍රීඩාවක නියැලුණෝ කිසිවිටකත් එම ක්‍රීඩාව පමණක් උගත් අයවලුන් නොවූහ. ඔවුහු විවිධ ක්‍රීඩා, අධ්‍යාපන, කලා ඇතුළු සමාජ ක්‍රියාවලීන් සමූහයක නිමග්න වූවහන් වූහ. එය එක්තරා ආකාරයක සමාජයීය බුහුටිකමකි. ඈපාසිංහයන්ටද එය එසේම විය. ඔහුගේ දිවියේ සුපහන් මතක ගැඹරේ තවත් පරිච්ඡේදයක සංක්ෂිප්ත සටහන් කිරීමකි මේ.
ඈපාසිංහයන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම විවිධ කේෂත්‍රයන් තුළ දැනුමේ නිම්වළලු පුළුල් කරගැනීමට තිබුණේ දැඩි පිපාසයකි. එය සාහිත්‍ය, ඉතිහාසය, දේශපාලනය ආදී වශයෙන් පුළුල් කළ හැකිය. ඒ පිළිබඳ පතපොත පරිශීලනයෙහි පැවති ලොල් බව වියපත් වුව ද ඔහු තුළ තවමත් වියැකී නැත්තේ එහෙයිනි. ඇපාසිංහයන් ගේ ඇසුර හා රොද බඳින්නට හැක්කේ ඔහුගේ මෙම රසවත් භාවය හේතුවෙන්ම ය. අපි ඔහු හා මුනිවත රකිමින් සංවාදයේ නියැළෙන්නේ එකී මහාර්ග ආස්වාදය අත්විඳින්නට ය.
‘මම ජ්‍යෙෂ්ඨය සමත් වුණේ 1958 මාර්තු 30 දා යි. ලැබුණු ප්‍රතිඵලවලට අනුව මම ඉහළින්ම සාමාර්ථ්‍යය ලබා තිබුණා. මගේ ඊළඟ කඩඉම වුණේ විශ්ව විද්‍යාල ප්‍රවේශයයි. මේ අතර කොල්ලුපිටියේ වාලුකාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ මාවිත්තර ශ්‍රී රේවත නායක හාමුදුරුවෝ එවලා තිබුණු පණිවිඩයකට අනුව මම උන්වහන්සේ මුණගැහෙන්න පන්සලට ගියා. රේවත නායක හාමුදුරුවෝ ගිහි කල මගේ මහප්පා වෙනවා. ඒ නිසා මම උන්වහන්සේට කිව්වේ සාධු මහප්පා කියලයි. ඒ අවුරුද්දේ මැයි 05 දා විහාරස්ථානයේ පටන් ගන්න විද්‍යාලයේ ඉංග්‍රීසි උගන්වන්න එන්න කියලා උන්වහන්සේ පණිවුඩයක් එව්වා. ගුරු වෘත්තිය ට මගේ තිබුණ ඇල්ම නිසා මම ඉතා කැමැත්තෙන් ඒ තනතුර භාර ගත්තා. ළමයි හැටපහකින් පටන් ගත්ත ඒ විද්‍යාලය රේවත නායක හාමුදුරුවෝ ‘මහානාම’ කියලා නම් කළා. ඔය විද්‍යාලය ආරම්භ කරන්න හේතුව වුණේ අද කාලේ වගේම ඒ කාලෙත් කොල්ලුපිටිය පැත්තේ හිටපු සාමාන්‍ය පැලැන්තියේ ළමයින්ට රාජකීය, තර්ස්ටන් විද්‍යාලවලට ඇතුළු වෙන්න බැරි වුණු නිසයි.’ ඈපාසිංහයන් ශිෂ්‍ය භාවයෙන් මිදී ගුරු වෘත්තියට පිවිසීම පිළිබඳ හෙළිදරවු කරමින් පැවැසීය.
‘මගේ මුල් ම රස්සාවේ වැටුප රුපියල් හැට හතරයි. මා සමග ගුරුවරු පස් දෙනෙක් හිටියා. මටත් ප්‍රධානාචාර්ය වේහැල්ලේ ධම්මානන්ද හාමුදුරුවන්ටත් විතරයි වැටුප් ලැබුණේ. අපි කළේ අපේ වැටුප් දෙකම එකතු කරලා සම සමව පස්දෙනා අතර බෙදා ගත්ත එකයි. මහානාම විද්‍යාලයේ අදටත් භාවිතා කරන “විද්වාන් සර්වත්‍ර පූජතේ” (වියත් දස දෙස පුදත් සැමකල්) උදෘත පාඨය යෝජනා කළේ මමයි. මේ අතර 1959 දි ලේක් හවුස් ආයතනයට වාර්තාකරුවන් බඳවා ගන්නා සම්මුඛ පරික්ෂණයට මමත් ගියා. එදා අපිව සම්මුඛ පරීක්ෂණයට භාජනය කළේ පුවත්පත් කලාවේ හිටපු දැවැන්තයෙකු වුණු එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයයි. එතුමා සමග දිනමිණ කර්තෘ එම්. ඒ. ඩී. සිල්වා, ප්‍රවෘත්ති කර්තෘ ඩී. සී. රණතුංග, ඩේලි නිවුස් කර්තෘ සිසිල් ග්‍රැහැම්, මාර්ටින් වික්‍රමසිංහ මහත්තයත් එතැන හිටියා. අවසානයේදී මාවත් එවන්ස් කුරේවත් රස්සාවට තෝරා ගත්තා. මම මුලින්ම කටයුතු කළේ ක්‍රීඩා වාර්තාකරුවකු ලෙසයි. මගේ මාධ්‍ය ජීවිතයේ මුල් ම ගුරුවරයා වුනේ ඩී සී රණතුංග මහත්තයයි. ඒ වගේම සිසිල් ඉලංගකෝන්, යු.එල්.ඩී. චන්ද්‍රතිලක, එල්මෝ ගුණරත්න, බන්දුල මෙත්තානන්ද, මහත්වරුන් මගේ මාධ්‍ය ජීවිතයේ අමතක නොවන චරිත ලෙස සිහිපත් කළ යුතුමයි. මම ගුරු වෘත්තියත් මාධ්‍ය වෘත්තියත් යන දෙකේම කටයුතු සමබරව පවත්වාගෙන ගියා. මේ අතර දවසක් රේවත නායක හාමුදුරුවෝ මට කතා කළා,’ අපේ කතානායක පැවැසීය.
“උඹ ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න විශ්ව විද්‍යාලයට යන්න වැඩ කරපන්” ‘ඇත්තෙන්ම උන්වහන්සේගේ අවවාදයෙන් දිරිමත් වුණු මම විශ්ව විද්‍යාල ප්‍රවේශයට හොඳින් ඉගෙන ගෙන පෙනී හිටියා. ඒ වගේම 1962 මගේ ජීවිතේ තවත් කඩ ඉමක අවුරුද්දක්,’ ඔහු කියන්නේ අලුත් මතක තලයකට සිය වෘත්තීය ජීවිතය ගලනය වූ ආකාරය ගැනය.
‘ඒ කාලේ ලංකා ගුවන් විදුලි සේවයට සහන නිවේදකයෝ ගන්නවා. මමත් ඉතින් ඉල්ලුම් කළා. මොකද මගේ අන්තිම තරගයේදී ඇහුණු ගුවන් විදුලි විස්තර ප්‍රචාරය ඒ වෙනකොටත් මගේ හිතේ පැලපදියම් වෙලා තිබුණු නිසා. ලේක් හවුස් පුවත්පත්වල මගේ ක්‍රීඩා විස්තර පළවද්දී ගුවන් විදුලි නිවේදන කටයුතුවලට සහායක් වන නිසා නිවේදන වෘත්තියට මගේ උනන්දුව තවත් වැඩි වුණා. ඒ කාලේ ගුවන් විදුලියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කරපු වින්සන්ට් පණ්ඩිත මහතාත් ඔහුගේ සහායට සිටි නෙවිල් ජයවීර මහතාත් තෝරා ගැනීම් සිදු කළේ. මා ඇතුළු අමරබන්දු රූපසිංහ, නන්දසේන ලියනපටබැඳී, පාලිත පෙරේරා, ඩී එස් දයාරත්න නිවේදකයින් ලෙස එදා පත්වීම් ලැබුවා. නමුත් ඒ වෙනකොටම විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණේ මාව විශ්ව විද්‍යාලයට තේරුණා කියන ආරංචිය ද සමඟ. ඒ, විද්යෝදය විශ්ව විද්‍යාලයටයි. මෙහිදී මට විශ්ව විද්‍යාලය ද ගුවන් විදුලිය ද තෝරාගත යුත්තේ කියන ගැටලුව මතු වුණා. මා දෙවරක් නොසිතා මේ පිළිබඳව ගුවන් විදුලියට ගොස් වින්සන්ට් පණ්ඩිත මහතාට පැවසුවාම “ඈපාසිංහ මෙය ඔබට දෛවයෙන් ලැබුණු ලොකු තෑග්ගක් ඒ නිසා ඔබ විශ්ව විද්‍යාලයට යන්න”. ඔහු මගේ අතට අත දීලා ඉතා සතුටින් සුබ පතලා මගේ මඟ නිවැරැදි කළා.
ලබන සතියට - ඈපා ක්‍රිකට් එක්ක විශ්ව විද්‍යාලයට
අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ
ඡායාරූප - ජගත් ඉරෝෂණ