අද ඊයේ කියලා වෙනසක් නෑ වාස් හැමදාම ෆිට් | සිළුමිණ

අද ඊයේ කියලා වෙනසක් නෑ වාස් හැමදාම ෆිට්

 

ඒක මගේ පැෂන් එක

අර්ජුන අයියා අමුතු මිනිහෙක් එයාගෙන් බේරෙන්න මට අනතුරු අඟවලා තිබුණා

චමින්ද වාස් හතළිස් හත්වැනි විය සම්පූර්ණ කළේ මේ වසරේ ජනවාරි මාසයේය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා වශයෙන් තාවකාලික පත්වීමක් ලැබූයේ ද පසුගිය සතියේය. ඊට පැය කීපයකට පසු ‘ක්‍රීඩා’ හා සංවාදයක් පැත්වූ හේ සාකච්ඡාව පවත්වා පෑ කීපයකට පසුව එකී තනතුරෙන් ඉල්ලා අස්වී තිබුණේය. ඊට ඉවහල් වූ කරුණ වූයේ මූල්‍යමය ගෙවීම් සම්බන්ධ ගැටලුවකැයි ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි. මේ ඒ සම්බන්ධයෙන් නොව වාස් ස්වකීය යෝග්‍යතාව පවත්වාගෙන ගැන යාම හා අතීත ක්‍රීඩා ජීවිතයේ ස්වර්ණමය අවස්ථා කීපයක් ගැන ‘ක්‍රීඩා’ හා අදහස් බෙදාගැනීමක සංක්ෂිප්ත සටහනකි.

‘අර්ජුන අයියා අමුතු මිනිහෙක්, පරිස්සම් වෙන්න කියලා තමයි හැමෝම වගේ මට කියලා තිබුණෙ. ඒ ජාතික ක්‍රිකට් සංචිතයට ආපු මුල්ම දවස්වල. කොහොමත් අර්ජුන අයියා නිකං උකුස්සා වගේ. හැමදෙයක් දිහාම බලං ඉඳලා ගැළපෙන්නෙ නැති වැඩක් වුණොත් අම්මා මුත්තා නැතිව

බනිනවා කියලයි බොහෝ දෙනෙක් අනතුරු හැඟෙව්වෙ. ඉතින් මමත් අර්ජුන අයියා එක්ක ගනුදෙනු කළේ බයෙන්, බයෙන්.’ ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකළ සුපිරිතම වේග පන්දුයවන්නකු වූ චමින්ද වාස් පැවසූයේය.

‘කොහොම හරි මම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ මුල් තරග දෙක තුනේම බැණුම් ඇහුවා. මුලදී උපදෙස් දෙනවා. ආයෙ ඒ වැරැද්දම කළොත් බැණුම් කෝටියයි. පස්සේ මමම හිතුවා අර්ජුන අයියාගෙන් බැණුම් අහන්නේ නැතිව ඉන්න ක්‍රමයක් සොයාගන්න ඕනෑ කියලා. මම ඒකට පුහුණු වුණා. හරියට, හරිතැනට බෝලය දාන්න පටන් ගත්තා.

ඒක සාර්ථක වුණා. අර්ජුන අයියා ඊට පස්සේ බැන්නෙ නෑ. මට හරි සතුටුයි. තරග පහළොවක් විතර ජාතික කණ්ඩායම නියෝජනය කළාට පස්සේ අර්ජුන අයියා කණ්ඩායම් රැස්වීමේදී මට කිව්වා,

‘වාස් දැන් ඔයා කතාකරන්න’ කියලා. මම උඩබිම බැලුවා.

එතකොට අර්ජුන අයියා ආයෙත් කිව්වා, දැන් වාස් කණ්ඩායම් රැස්වීම්වල කතාකරන්න ඕනෑ, මොනවද කරන්න ඕනෑ කියලා කියන්න ඕනෑ කියලා. මට පුදුම හිතුණා. අර්ජුන අයියාගේ තිබුණු ඒ දැක්ම නියම නායකයකුට තිබිය යුතු ගුණාංගයක් විධිහටයි මම දකින්නෙ. ඊට පස්සේ මම කණ්ඩායම් රැස්වීම්වල කතාකළා. ප්‍රතිවාදී පිතිකරුවෝ කවුද, ඔවුන්ට පන්දුයවන්නේ කොහොමද, කොයි කොයි තැන්වලද පන්දුයවන්නෝ තියන්න වෙන්නේ, මොනවද ඔවුන්ගේ දුර්වලතා වගේ දේවල් අධ්‍යයනය කරන්න, ඒවා කණ්ඩායම් රැස්වීමේ සාකච්ඡා කරන්න හුරුවුණා. මේ හැමදෙයක්ම වුණේ අර අමුතු මිනිහෙක් කියපු අර්ජුන අයියා ලබාදීපු අවස්ථාවන් නිසයි. හැබැයි වැඩේ අවුල් කළානම් අර්ජුන අයියාගෙන් සමාවක් ලැබෙන්නෙ නෑ. ඒක මම අදත් විශ්වාස කරනවා.’ යැයි චමින්ද වාස් පැවසුවේය.

කිලෝ මීටර් දෙකක දුර ප්‍රමාණය විනාඩි දෙකයි තත්පර තිහකින් දිව යමින් ඔහු ස්වකීය යෝග්‍යතාවය සම්බන්ධයෙන් දැක්වූ දස්කම් සම්බන්ධයෙන් ද ඔහු අදහස් දැක්වූයේය.

‘මම කොහොමත් යෝග්‍යතාව ගැන හැමදාම උනන්දුයි. ඇත්තටම කියනවා නම් අපේ යෝග්‍යතා මට්ටම වෙනස් වුණේ 1995 වසරේ ඉඳලයි. ඒ ඇලෙක්ස් කොන්ටෝව්රි කියන භෞතචිකිත්සකවරයා කණ්ඩායමට එක්වීමත් එක්කයි. ඒ කාලේ අපි එන්.සී.සී. පිට්ටනියේ කිලෝ මීටර් 5 ක් දුවනවා. බදාදා 7ක් සිකුරාදා 10ක් දුවනවා. ඊට පස්සේ හවස පුහුණු වෙනවා. ඒ පුරුද්ද නිසා මම දැනටත් දිනපතා කිලෝ මීටර් හයක් හතක් දුවනවා. හැම සෙනසුරාදාකම අර්ධ මැරතන් තරගයක් කරනවා (කිලෝ මීටර් 21ක්) ඉතින් දුවනවා කියන්නේ මගේ පැත්තෙන් නම් උදේට කෑම කනවා වගේ සාමාන්‍ය වැඩක්.’ සමාජය තුළ ඔහුගේ යෝග්‍යතාව පිළිබඳ මතවාද ගැන වාස් පැවසූයේ එසේය.

වර්තමාන ක්‍රීඩකයන්ටත් වඩා දරා ගැනීමේ හැකියාවක් හතළිස් හත් හැවිරිදි ඔහු සතුව පවතින්නේ යන මතය සම්බන්ධයෙන්ද ඔහු මෙසේ කීය. ‘මම අපේ ක්‍රීඩකයන්ට දොස් කියන්නේ නෑ. අනෙක දුවන එකෙන් විතරක් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන්න ක්‍රීඩකයාගේ ඇති යෝග්‍යතාව මනින්නත් බෑ. දරාගැනීමේ හැකියාව ගැන ඒක එක්තරා සාධකයක්. යෝග්‍යතාවයට අතිරේකව තවත් දක්ෂතා එක්විය යුතුයි. තමන් තරගයක් විශ්ලේෂණය කරන්න සමත්වෙන්න ඕනෑ. දිනෙන් දින දියුණුව ඇතිකරගන්න පෞද්ගලිකව අවශ්‍යතාවයක් පවතින්න ඕනෑ. ඒක අතනොහැරිය යුත්තක්.’ ඔහු කීවේය.

‘අපේ කාලයේ වේග පන්දුයවන්නෝ හැටියට අපි ගොඩාක් දිව්වා. තරගයකදිත් අපි ගොඩාක් දුර දුවනවා. ඒකට ශක්තිය පවත්වාගත යුතුයි. පිතිකරුවනුත් අපි වගේම පුහුණු වුණා. හැබැයි පසුගිය අවුරුදු හය හත අපේ ක්‍රීඩකයෝ දිව්වේ ළඟ. කෙටි දුර දුවලා තමයි ඔවුන් කිලෝ මීටර් 1-2 දෛනිකව සම්පූර්ණ කළේ. එකපාර ඒ දුර කිලෝ මීටර් 2 ක් කරලා කාලය මැන්නාම ක්‍රීඩකයන්ගේ පැත්තෙන් එතැන අසාධාරණයක් තියෙනවා. නමුත් මම හිතන්නේ ඔවුන්ට ඒකට කාලයක් දෙන්න ඕනෑ කියලයි. ක්‍රීඩකයෝ තුළ ශක්තිය තිබෙනවා. අනික මේ යෝග්‍යතාව පෙන්නලා විතරක් රටේ ක්‍රිකට් ගොඩදාන්න බෑ. ඊට වැඩිය වෙනස් වෙන්න උවමනා දේවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළේ තියෙනවා.’ ඔහු පවසන්නේය.

තරග රටාව වෙනස්වීම සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී ස්වකීය අවධානය යොමුකළේ මෙසේය.

‘අද ක්‍රිකට් ක්‍රීඩා කරද්දී ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස වගේම පන්දුවාර දහයේ ක්‍රිකට් තරගත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ක්‍රීඩකයන්ට තියෙන අභියෝගය වැඩියි. ඒක තේරුම් අරගෙන තමන්ගේ හෘද සාක්ෂියට අනුව වෙහෙසවෙලා හැකියාව වර්ධනය කරගන්න එක තමයි ක්‍රීඩකයන්ට සිදුකරන්න තිබෙන්නේ.’ ඔහු පෙන්වා දෙයි.

‘දැන් රොනාල්ඩෝ බලන්න. ඔහු තරුණ ක්‍රීඩකයෝ එක්ක තමුන්ගේ ශක්තිය තියාගන්න ගන්න කරන කැපවීම. ඒක විශිෂ්ටයි. හැම ක්‍රීඩකයෙක්ම ඒ විධිහට තමන්ගේ ක්‍රීඩාව එක්ක ඉන්න අවශ්‍යයයි. අපි අපේ කාලයේ ක්‍රීඩාව එක්ක හිටියේ ඒ වගේ.’ වාස් තවදුරටත් තඳහන් කළේය.

ඔහු වේග පන්දුයැවීමේදී ප්‍රශස්ත මට්ටමකට පත්වීම පිටුපස ඇති තවත් රහස් කීපයක්ද අනාවරණය කරන්නට අමතක කළේ නැත.

‘මම ක්‍රීඩා කරන කාලේ ලෝකයේ හිටපු විශිෂ්ට වේග පන්දුයවන්නන්ගෙන් මම හැමවිටම උපදෙස් පැතුවා. ලොකුකම පැත්තකින් තියලා ජ්‍යෙෂ්ඨ, විශිෂ්ට ක්‍රීඩකයෝ ළඟට ගිහිල්ලා පන්දුයැවීමේ උපක්‍රම ගැන ඉගෙන ගන්න උත්සහ කළා. ඒ කාලේ වසීම් අක්‍රම්, වකාර් යුනිස්, සර් රිචඩ් හැඩ්ලි, සර් ඩෙනිස් ලිලී වගේ පන්දුයවන්නෝ බොහෝ දෙනෙක් මම ඇසුරු කළා. ඒ කාලේ මම කොච්චර ඇහුවත් අක්‍රම්, යුනිස් රිවර්ස් ස්වින්ග් (පසු දෝලිත) පන්දුව ගැන රහස් කියන්නැතිව මඟහැරියා. හැබැයි මමත් උත්සහය අතහැරියේ නැහැ. ඔවුන් හමුවුණු හැම අවස්ථාවකම ඒ ගැන කතා කළා. ඒත් ඔවුන් රිවර්ස් ස්වින්ග් පන්දුව ගැන කිව්වේ අඩුවෙන්. ඒත් මම උත්සහය අතහැරියේ නෑ. දවස ගානේ ඔවුන් හා සාකච්ඡා කරලා ඉගෙන ගත්ත දේවල් පුහුණුවෙලා පුහුණුවෙලා මගේ ක්‍රමයක් හදාගත්තා. ඒ නිසයි මට දීර්ඝ කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න හැකිවුණේ.’ ඔහු පැවසූයේය.

තමන් එතරම් විශිෂ්ට පන්දුයවන්නකු නොවන බව එදා එම්.ආර්.එෆ්. වේගපන්දු ඇකඩමියේ ප්‍රධානී ඩෙනිස් ලිලී කීපවරක් පැවසුව ද එයින් කඩා නොවැටී වඩාත් ධෛර්යයෙන් පුහුණු කටයුතු කර ඉදිරියට පැමිණීමට සමත්වූ බවද ඔහු මෙහිදී සිහිපත් කළේය.

‘සර් ඩෙනිස් ලිලී මගේ ජීවිතයේ ඉදිරියෙන්ම ඉන්න පන්දුයවන්නෙක්. ඔහු පුරාවෘතයක්. මාව මුලින්ම දකිද්දී ඔහු කිව්වේ වේග පන්දුයවන්නෙක් හැටියට

මට ඒතරම් දුරක් යන්න බෑ කියලයි. ඒත් මම අධෛර්යයට පත්වුණේ නෑ. ඒ වචන ශක්තියක් කරගෙන කඩුලු හත් අටසීයයක් දවාගන්න පුලුවන්, දීර්ඝ කාලයක් ක්‍රීඩා කරන්න හැකි වේග පන්දුයවන්නෙක් බවට පෙරැලුණා. අද ඉන්න ක්‍රීඩකයන්ගෙන් මම ඉල්ලන්නෙත් තමන් කරන වැඩේට අවංක වෙන්න. දාන්න ඕනෑ බර උපරිමව දාන්න. රටට ක්‍රිකට් ගහන්න. එතකොට තමන්ට දෙයක් ඉතුරු වෙනවා. ඒක සදාකාලික කීර්තියක්.’ හතළිස් හත් හැවිරිදි චමින්ද ජෝශප් වාස් අවසන් වශයෙන් කීවේය.

 

 

 

Comments