නොහැකියාව හමුවේ නොපැකිලුණු මැනිලාවේ | සිළුමිණ

නොහැකියාව හමුවේ නොපැකිලුණු මැනිලාවේ

 

MANNY Pacquiao

ඩොලර් තුනේ සටනින් ඇරැඹි ගමන සෙනෙට් සභාව දක්වා විහිදෙයි

දුප්පත්කම, නොහැකියාව යනු පොහොසත්වන්නට හැකියාව ඇතිකරගන්නට අභිප්‍රේරණයකි. මාතෘ ස්නේහය එකී ගමන වෙනුවෙන් සැරයටියකි. අතපසුවූ සියල්ල කෙසේ හෝ ඉටුකරගැනීම ජයග්‍රහණය සදාකාලිකත්වයට පත්කිරීමකි. පිලිපීනයේ ‘එම්මානුවෙල් ඩැපිඩ්‍රන් පැකියෝ’ මේ සියලු කරුණු වෙනුවෙන් ගතහැකි පොදු නාමයකි.

එම්මානුවෙල් ඩැපිඩ්‍රන් පැකියෝ උපන්නේ දුකත්, අසරණකමත් දෑතින් මිට මොළවාගෙනය. 1978 දෙසැම්බර් 17 වැනිදා පිලිපීනයේ කිබාබේ පළාතේදී ඔහු ජන්ම ලාභය ලද්දේය. ඔහු උපන් පවුලේ දරුවන් හය දෙනෙකි.

දරුවන්ගේ පියා වෙනත් කාන්තාවක් සමඟින් හාදකමක් ඇතිකරගෙන පවුල් බරින් ‘නිදහස්’ විය. දරුවන් හයදෙනෙකුගේ බර මවගේ කර - උර මත පැටවිණි.

“අනේ..... තනි මම මොනව කරන්න ද? මම කොහොමද තනියම මේ දරුවන් හය දෙනෙකුගෙ බඩවල් පුරවන්නෙ” ඇය අසරණ බවේ පතුලටම ඇදවැටුණාය. එහෙයින් වේලක් හැර වේලක් හෝ දරුවන්ගේ කුස් පිරවූයේ ඉඳහිට ලැබෙන කුලී වැඩකිනි. මේ අවාසනාවේ ඇරඹුමත් සමගින් පැකියෝගේ පාසල් ගමන නිම විය.

“මම කැමති නෑ අම්මාට බරක් වෙන්න. මමත් තනියම කීයක් හරි හොයාගෙන අපේ පවුලේ බඩගිනි නිවන්න අම්මාට උදව් වෙනවා” දහතුන් හැවිරිදි පැකියෝ තීරණයකට එළැඹුණේය. ඒ, අම්මා තමා ඇතුළු සොයුරු සොයුරියන්ගේ කුස් පුරවන්නට දැරූ වෙහෙස මැනවින් දැක, දැන සිටි හෙයිනි.

ජීවිත සටනට තනිවම මුහුණ දෙන්නට සිතට ගත් දහතුන් හැවිරිදි වියේ පසු වූ පැකියෝ, මැනිලා නගරයට ඉරණම් ගමනක් ආවේය. එහිදී කීයක් හෝ උපයා සපයා ගත්තේ බරින් තමාට වඩා කිහිප ගුණයකින් යුත් මුට්ට කරගැසීමෙනි. කරගසන්නට මුට්ට නොලැබුණුවිට කුලී වැඩ කළේය. කුලියක් මලියක් නොලැබුණු විට පාන්, බනිස් විකිණුවේය. කෙටියෙන් කිවහොත් පැකියෝ ට මැනිලාවේ නිකම් සිටින්නට වෙලාවක් කලාවක් තිබුණේම නැත. හැම තත්පරයේම කුමක් හෝ කර කීයක් හෝ සොයාගන්නට දත කෑවේය.

පැකියෝ ට පුෂ්ටිමත් ශරීරයක් තිබිණි. එයින් ප්‍රයෝජන ගැනීමට සිතූ ඔහු සටන් ශිල්පය ඉගෙනීමට මුලපිරුවේය. හොඳ පුහුණුවක් ලැබූ ඔහුට කඩිනමින් හොඳ සටන් ශිල්පියෙකු වන්නට ඒ තරම් කලක් ගතවූයේ නැත.

ඒ අනුව එතැන් පටන් ඔහු ජීවිත සටන ගෙන ගියේ සටන් කිරීමෙනි. ඒත් මේ සටන් කෙරුවාවෙන් ලැබුණේ ඩොලර් 3 ක් වැනි සොච්චමකි. මේ සටන්වලින් අත මිට සරු කරගත්තේ ඔහු වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ තැරැව්කරුවන්ය.

“කමක් නෑ. මොනවා කරන්නද? ලැබෙන මුදල කීය වුණත් භාරගන්නවා. නිකම් හිටියොත් මේකත් නෑනෙ” පැකියෝ හිත හදාගත්තේය. ඔහු මේ අන්දමින් ඉපැයූ මුදලෙන් වැඩි කොටසක් යැව්වේ අම්මාට ය. ඇයට වැඩිපුර මුදලක් යැවීමේ බලාපොරොත්තුවෙන් ඔහු වැඩි වැඩියෙන් සටන් කළේය.

මේ අතර පැකියෝ වඩාත් කැපවීමෙන් හා උද්‍යෝගයෙන් සටන් ශිල්පය උගත්තේය. මෙහි ප්‍රතිඵලය ලෙසින් අවුරුදු 17 වෙද්දී ඔහු වෘත්තීය බොක්සිං ක්‍රීඩකයකු ලෙස මැනිලාවේ නමක් දිනාගත්තේය.

එහෙත් පැකියෝ මුල්වරට ෆ්ලයිවේට් බර පන්තියේ ලෝක ශූරතාව දිනාගන්නා විට හේ පසුවූයේ 29 වැනි වියේ ය. පසු කළක ඔහු බැන්ටම් වේට් ලෝක ශූරයා ද පැරදවීමට තරම් සමතකු විණි. එයින් නොනැවතුණු පැකියෝ බොක්සිං ක්‍රීඩාව තුළින් බර පන්ති 8 ක ලෝක ශූරතාව දිනාගත්තේය. එවැනි දස්කමක් දැක්වූ ලොව පළමුවැන්නා ඔහු ය.

එදා ඩොලර් 3 ක් වෙනුවෙන් සටන් කළ පැකියෝ වර්ෂ 2016 වෙද්දී ලෝකයේ ඉහළ මටට්මේ ගෙවීම් ලබන බොක්සිං ක්‍රීඩක ලැයිස්තුවේ දෙවැන්නා බවට පත්විය.

සටන්කරුවකු ලෙස කොතරම් ලෝක ප්‍රසිද්ධ වුව ද මහත් ධනයක් ඉපැයුව ද ඔහු උගත්කමට කවදත් ගරු කළේය. දුප්පත්කම නිසා අහිමි වූ උගත්කම හෙවත් අධ්‍යාපනය

සම්පූර්ණ කරගන්නට ඔහු අවධානය යොමු කළේ ඒ නිසාය. ඒ කෙරෙහි

කැපවීමෙන් නිරත වූ ඔහු තමාට මඟහැරුණු ද්විතියික විභාගවලින්

2007 දී සමත් වූයේ විශිෂ්ට ප්‍රතිඵල සමගිනි.

පැකියෝ කිසිදු මොහොතක බොක්සිං ක්‍රීඩාවෙන් උපයාගත් ධනස්කන්ධයෙන් තනිවම සුර සැප වින්දේ නැත. ඒ වෙනුවට එය අර්ථවත් මහජන සේවාවන් වෙනුවෙන් පරිත්‍යාග කළේය. ඔහු තමා වැනි අන්ත දිළිඳු දරුවන්ගේ ඉගෙනීම, සනීපාරක්ෂාව, සෞඛ්‍යාරක්ෂාව, පෝෂණය වෙනුවෙන් තම ධනය වැය කළ නිර්ලෝභි මානව හිතවාදියකු විය.

ඒ උතුම් සමාජ මෙහෙවර ඇගයෙමින් 2009 දී පිලිපීන රජය පැකියෝ ට ගෞරව උපාධියක් ප්‍රදානය කළේය. අද ඔහු පිලිපීන පාර්ලිමේන්තුවේ සෙනෙට් සභිකයෙකි.

“මම බොක්සිං ක්‍රීඩාවෙන් විතරක් නෙවෙයි මුලු ජීවිතයම ජයගත්ත කෙනෙක්. මගේ මේ ජයග්‍රහණයට හේතුව මොකක්ද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා. ඔය ප්‍රශ්නෙට මට දෙන්න තියෙන්නෙ එකම එක පිළිතුරයි. ඒ තමයි අසීමිත කැපවීම”, පැකියෝ පවසයි.

 

Comments