දෛව රේඛාව | සිළුමිණ

දෛව රේඛාව

මට පොලීසියට බැ‍ඳෙන්න ඕන වුණා ඒත්, දෛවය මාව කලාකරුවෙක් කළා

 

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි

තුලා ලග්නය හිමියෝ සමාජශීලී ජීවිතයක් ගෙවන නිරායාසයෙන් කොයි කාගේත් ආදර බුහුමනට පාත්‍ර වන වැඩුණු සිරුරින් යුක්ත ජනප්‍රිය ප්‍රසිද්ධ පුද්ගලයෝ වෙති. තම බිරියට හෝ සැමියාට දැඩිව බැ‍ඳෙන, විවාහයෙන් පසු දියුණුවක් ලබන, උසස් අයගේ ඇසුරට කැමැති කලාව ප්‍රියකරන, තම බිරියගෙන් දැඩි සෙනෙහසක් බලා‍පොරොත්තු වන අයයි. ආත්මාර්ථකාමී නොවන, නිතර දෙතොල රැඳුණු කාටත් ප්‍රියමනාප පෙනුමක් තුලා ලග්න හිමියා සතුවන අතර මේ ගති ලක්ෂණ සනත් නන්දසිරි ‘සතුවන බව ‘දෛව රේඛාව’ තුළින් පැහැදිලි වෙයි.

 

මහාචාර්ය සනත් නන්දසිරි නම් වන ඔහු ගායනය, වාදනය, ස්වර සංරචනය ඈ සංගීතයේ ත්‍රිස්ථාන ශෝභමාන කළ මහා කලාකරුවෙකි. ගුවන් විදුලි ළමා පිටියෙන් ඇරැඹි ගායන දිවිය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය දක්වා ජීවන ගමන් මඟ සැකැසුණේ දෛවෝපගත අයුරිනි. සංගීත් නිපුන් උපාධිය ලත් ප්‍රථම ගායන ශිල්පියා වීමේ වාසනාව ලත් මහා ගාන්ධර්වයා ඔහුය.

ක්ෂේත්‍ර ගණනාවකින් සිය පෞරුෂත්වය මේ යැයි විදහා පෑ මහාචාර්ය සනත් නන්දසිරිගේ ඉරණම් ගමන දෛවයට අනුව සැකැසුණු ආකාරය මෙවර දෛව රේඛාවෙන් නිරූපණය කෙරේ.

නිවෙසට ඇතුළුවෙත් ම බිත්තියේ පැත්තක සම්මාන ගොන්නකි. මෙවැනි සම්මාන ලබලා කලා ජීවිතයේ මහා දුර ගමනක් යන බව උපන් වෙලාවේ හැදූ වර්ගෝත්තම කේන්දරේ සටහන් වෙලා තිබුණා. සනත් නන්දසිරි පිළිසඳරට එක්වුණේ මෙහෙමයි.

“මගේ පවුලේ පස් දෙනයි. අපි හැමදෙනාගේ ම උපන් වෙලාවල් බලලා අම්මයි තාත්තයි කේන්දර හදලා තිබුණා. 1942 පෙබරවාරි 15 දා උපන් මගේ ලග්නය වගේ ම නවාංශකයත් තුලා. මට අවුරුදු හයේදි අම්මා කේන්දරය ඇසුරින් මගේ තොරතුරු විමසද්දි, ජ්‍යොතිශාස්ත්‍රඥයෙක් කියලා තිබුණා රටේ නමක් දිනන කෙනෙක් වෙනවා කියලා. ඒ වගේ ම හොඳ කලාකරුවෙක් වෙන බවත්. ඉගෙනීමට දක්ෂයෙක් වෙන බවත් සඳහන් වුණා. දෙමවුපියෝ ගුරු වෘත්තියේ යෙදුන නිසා අධ්‍යාපනයට නැඹුරුව කොහොමත් තිබුණා.

ඒ කාලේ ගොතටුව අපේ ගෙදර තිබුණු ග්‍රැම‍ෆෝනය ගමට ම තිබුණු එකම ග්‍රැමෆෝනයයි. තාත්තා ගොඩනැඟිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වශයෙන් කටයුතු කළේ. හවසට වැඩ ඇරිලා ගෙදර ආවාම ග්‍රැම‍ෆෝන් තැටිය ක්‍රියාත්මක කරනවා. තාත්තට ගායන හැකියාවක් තිබුණා. 1940 අගභාගයේ තාත්තා මිලර්ස් කොම්පැනියෙන්, ගෙනාව රේඩියෝව තමයි ඒ කාලේ ගමට ම තිබුණු එකම රේඩියෝව. ටික ටික මටත් ගීත ගයන්න හැකිවුණා. ඒ නිසා ම ගමේ විවිධ ප්‍රසංගවල මම ගීත ගායනා කළා.

සංගීත ගුරුවරයෙක් නොවුවත් සංගීතය ගැන දැනුමක් තියන හේමතිලක දයානන්ද ගුරුවරයාගෙන් තමයි සංගීත ජීවිතයේ මුල් අ‍තපොත් තැබුවේ. ඒ මට අවුරුදු 14 දි. ගුවන් විදුලි ළමා මණ්ඩපයට සම්බන්ධ වුණාම, ගුවන් විදුලියේ මඩවල එස් රත්නායක, නන්දා ජයමාන්න, කරුණාරත්න අබේසේකර, සනත් විමලවීර යන මහත්වරු දැන හඳුනාගෙන කටයුතු කරන්න ලැබුණා. තබ්ලාවට හුඟාක් ආසා කළ නිසා ඉන්දියාවෙන් ලංකාවට ආව තබ්ලා වාද්‍ය විශාරද ඩී.ආර්. පීරිස් මහතාගෙන් ඉගෙනගන්න ගියා. බොරැල්ල YMBA ශාලාවේ පැවැත්වූ මෙම පන්තියේදී ඔහුගේ මුල්ම ගෝලයා වුණෙත් මමයි. ඒ මට වයස අවුරුදු 17 දී. ඔහුගේ විවිධ වැඩසටහන්වලට මාව සම්බන්ධ කරගත්තේ මගේ දක්ෂතාව දැක්කාට පස්සේ. ගුවන් විදුලි ජනගායනා වැඩසටහන්වලට මසකට වරක් සහභාගිවෙන්න ලැබුණා. මට අවුරුදු 19 දි (1960) දී භාරතයට යන්න ලැබුණේ මගේ දෛවෝපගත ගමන් මගට අවතීර්ණ වීමට‍ වෙන්න ඇති.”

 මල්කාන්ති පීරිස් යුවතිය හමු‍වුණෙත් දෛවෝපගත විදිහට ද?

සත්තකින් ම ඔව්. 1965 මම භාරතයේ ඉඳලා ලංකාවට ඇවිත් ගුවන්විදුලියට සම්බන්ධවෙලා ගායන දිවිය ඇරැඹුවා. රජයේ සංගීත විද්‍යාලයට තේරිලා අම්පාරේ පාසලක උගන්වමින් සිටියේ. විශ්ව විද්‍යාල කථිකාචාර්ය තනතුරකට ඉල්ලුම් කළේ තනතුරට බලාපොරොත්තුවන සුදුසුකම්වලට වඩා දෙගුණයක් සුදුසුකම් ඇතිවයි. ඒත් මට ඉන්ටවීව් එකටවත් කතාකළේ නැහැ. අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මන්ත්‍රීවරයා මැදිහත් වෙලා මට සාධාරණය ඉටුවුණා.

මම ගුවන්විදුලියට සම්බන්ධවෙලා ඉන්න කාලයේ තමයි මට දෛවෝපගත ලෙස මල්කාන්ති හමුවුණේ. සංසාර පුරුද්දට ඇය මා සමඟ බැ‍ඳෙන්න දෛවයේ ලියැවිලා තියෙන්න ඇති. මගේ ජීවිතයේ මේ තරම් දුරක් නොඑන්න තිබුණා ඇගේ සහාය නොතිබුණා නම්.

 ඒත් ඔබ බලාපොරොත්තු වුණේ ගුවන් නියමුවෙක් නැත්නම් පොලිස් නිලධාරියෙක් වෙන්නයි...

“ඇත්තට ම මම රැකියාවක් වශයෙන් තෝරගන්න මනාප වුණේ ගුවන් නියමුවෙක් වෙන්න. එහෙම නැත්නම් පොලීසියට බැ‍ඳෙන්න. ඒත් දෛවයේ හැටියට මගේ ඉරණම මේ හැම දෙයක් ම වෙනස් කළා. ඒ වුණත් මම දැනට වුණත් ගුවන් නියමු තනතුරු තොරතුරු කතා කිරීමෙන් ආශ්වාදයක් ලබනවා. ඒ වගේ ම පොලීසියේ විස්තර දැනගන්නත් මා ප්‍රිය කරනවා. පොලීසියේ සිටින හිතවතෙක් හමුවුණා ම පොලීසියේ නීතිරීති ගැන බොහෝ අල්ලාප සල්ලාපයේ යෙදෙනවා. ඒ විතරක් නෙමෙයි. ක්‍රිකට් වලට, වනජීවී විෂයට, ගෘහාශ්‍රිත සුරතල් සතුන්ටත් මම මනාපයි. ඒ කාලේ අපි ක්‍රිකට් නරඹන්නේ පිට්ටනියට ගිහින්. දැන් ඉතිං රූපවාහිනිය ළඟනෙ.”

 ජීවිතය හරි පුදුමාකාරයි. දෛවයෙන් ඔබ දෙපලට තිළිණ ක‍ළ පුතා... දෛවය විසින් ම සොරාගත්තා.

“පුතා ඉපදෙනකොට සාමාන්‍ය බර ඉක්මවූ පිරිපුන් දරුවෙක්. අපි නමකුත් තැබුවා. සංජය මාධව කියලා. සනත්, මල්කාන්ති නම්වල මුල්අකුරු අරන්. දරුවා නැතිවුණාට පස්සේ අපි එයාගේ කේන්දරේ බැලුවා. එය ඉතා බලවත් කේන්ද්‍රයක්. අපි වගේ සාමාන්‍ය පවුලක රඳාපවතින්න බැරි තරමේ ප්‍රබල හඳහනක්.”

 ඊට පස්සෙ ලැබුණු දූ අනුරාධා... ඔබේ ලෝකයේ අඩුව සම්පූර්ණ කළා....

“අපේ දුව ඉපදුණේ රාත්‍රියේ අනුර නැකතින්. එයාට නිශාමනී අනුරාධා කියලා නම තැබුවා. එහි අර්ථය රාත්‍රියේ මැණික යන්නයි. දෙමාපියන්ට හා හිතවතුන්ට ආදරය කරන සංවේදී හදවතක් තියන, ඉගෙනීමට දක්ෂ දරුවෙක් වෙන බව එයාගේ කේන්දරේ ලියැවිලා තිබුණා. දුව මට තමයි වැඩිපුර ආදරේ. පියරජු ලෙස මා කිරුළ දරා.... ගීතය මා ගයන්නෙත් දුව වෙනුවෙන්මයි.”

 ඇය කතෝලික, ඔබ බෞද්ධ, ඒත් මේ ආගම් ඔබේ සෙනෙහසේ කැදැල්ලට බාධාවක් වුණේ නැහැ...

“මල්කාන්ති කතෝලික, මම බෞද්ධ වුණාට අපේ ගෙදර බුදුන් වහන්සේත් ජේසුස් වහන්සේත් වැඩ හිඳින්නේ එකම පූජාසනයක. අපි පන්සල් පල්ලි දෙකට ම යනවා. ඇය පූජාවට යද්දි මමත් ගිහින් පැත්තකට වෙලා බලාන ඉන්නවා. සාංසාරික දෛවෝපගත බැඳීමට ආගම, ජාතිය බාධාවක් නැහැ. මන්ද මල්කාන්ති මගේ ඉරණම්කාරිය හින්දා.”

 ඉන්දියාවෙදි හස්ත රේඛා විද්‍යාඥයෙක් ඔබේ අත බලලා බොහෝ දේ කීවා.

“දවසක් මම ඉන්දියාවේ හෝටලයක් ළඟ ඉද්දි ඉන්දියාවේ කෙනෙක් මගේ ළඟ නතර වුණා. ඔහු මගේ අත බලලා බොහෝ දේ කීවා. මා සංගීත ක්ෂේත්‍රයේ දුරගමනක් යන බව කීවා. මේ අතේ රේඛා පිහිටා තියෙන විදිහට හොඳ කලාකරුවෙක් වෙනවා කියලත් කීවා.”

 ඔබ ජ්‍යෙතිෂය ගැන පැහැදිලි විශ්වාසයක් තියෙන‍ කෙනෙක්.

“ජ්‍යෙතිෂය අපට ජන්මයෙන් පුරුදුවෙලා තියෙන්නේ අම්මා තාත්තා දැඩිව එය විශ්වාස කළ නිසයි. මල්කාන්ති කතෝලික වුණත් විවාහයේදි අපි නැකතටයි අත්සන් කළේ. අලුත් නිවෙස හදද්දි නැකැත්, රාහු කාලය ගැන බලනවා. දිනපතා රැකියාවට යද්දි රාහු කාලය බලලා වැඩකරන්න බැරි වුණාට විශේෂ අවස්ථාවල රාහු කාලය අනිවාර්යයෙන් බලනවා. අපි දෙවියෝ බුදුන් විශ්වාස කරනවා. ඒවායින් අපිට ලැබෙන පිහිට බොහොමයි.

 සංගීත දිවියේ මෙපමණ දුරක් එන්න ඔබට හේතු වුණේ කැපවීමට උත්සාහයද? දෛවයෙන් ගෙනා වාසනා ගුණයද?

මේ හැම එකක් ම කියලා කීවොත් නිවැරැදියි. දේශපාලන වශයෙන් ගරු බුහුමන් තාන්න, මාන්න මම බලාපොරොත්තු වුණේ නැහැ. ඒ සියල්ල ලබාගත්තේ මගේ උත්සාහයෙන් හා උගත්කමින්. ඒත් මේ හැම දෙයක් ම ලැබෙන්න සංසාරෙන් ගෙනාව වාසනා ගුණයත්, ලැබීමත් නොඅඩුව මට පිහිටලා තිබුණා.

Comments