ඔහු එහෙම කළා නම් අද මම කියන කෙනා නැහැ | සිළුමිණ

ඔහු එහෙම කළා නම් අද මම කියන කෙනා නැහැ

- මේ දවස්වල මම ලංකාවේ පැරණිම වෘත්තිය ගැනත් පොතක් ලියමින් ඉන්නේ
- කොළඹට එනවා කියන එකත් හීනයක් වෙච්ච ගම්බද ඉස්කෝලවල දරුවන්ට සූම් තාක්ෂණය හරහා උපදේශන වැඩසටහන් කරනවා

“ගන කළුවරට අපි පෙම් කළොත් 
ඉරහඳ තරුවලට ණය ගැතියි 
ලොව දුන්නු දේවල් අද අපිට 
හෙට ලොවට පෙර දිය යුතුයි 
ඔබ මේ ලොවට ආදරෙයි නම් 
මුළු ලොවම ඔබටත් ආදරෙයි...”

අපිට මෙහෙම කියන්නේ අනීෂා ජයකොඩි. මේ කවිය ඇගේ ජීවියේ ආදර්ශ පාඨය යැයි ඇය කියන්නේ බොහෝම ආඩම්බරයෙන්. අනීශා කියන්නේ ධනාත්මක චින්තනයට මුල් තැන දෙමින් වැටුණ මිනිසුන්ට නැඟිටින්නට, ජීවිතය දෙස අලුතින් බලන්නට, ජීවිතය ගැන අලුතින් සිතන්නට පමණක් නොව ලෝකය ඉදිරියේ නොබියව කෙලින් සිට ගන්නට මඟ පෙන්වන්නියක් කිව්වොත් නිවැරදියි. මේ වන විට සිය සැමියා සමඟ සිංගප්පුරුවේ පදිංචිව සිටින ඇය එක් දරු මවක්. 

බාල වියේදී පාසල් කිහිපයකම ඉගෙන ගත් ඇය උසස් පෙළ හදාරන්නේ පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයෙනි. නැගණියන් දෙදෙනෙකු සිටින පවුලක වැඩිමලී වූ අනීෂා තමන් පැමිණි ගමන් මඟ ගැන අපට පැවැසුවේ මෙලෙසිනි.

“මගෙ අම්මා අනුලා ජයන්ති. තාත්තා නිමල් ජයකොඩි. තාත්තා ව්‍යාපාර කළේ. අම්මා රැකියාවක් නොකළත් ඇය බොහෝම උගත් කෙනෙක්. මම උසස් පෙළ විභාගය ලියලා සති දෙකක් යන විට මට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රස්සාවක් ලැබුණා. පාසල් වියේ ඉඳලම මට හොඳට ප්‍රොජෙක්ට් ලියන්න පුළුවන්. ඒ හැකියාවත් තිබුණ නිසා මාව රැකියාවට බඳවා ගත්තා. උසස් පෙළ ප්‍රතිළුල එන විටත් මම ඒ රාජ්‍ය නොවන සංවිධානයේ වැඩ. පසුව මම ව්‍යාපාර කළමනාකරණය පිළිබද උපාධිය හැදෑරුවා. මම විවාහ වුණේ අවුරුදු විසිතුනේදී. ඔහු අරුණ විජේසුන්දර. අරුණ රැකියාව කළේ සිංගප්පුරුවේ. විවාහයෙන් පස්සේ මම ඔහු සමඟ සිංගප්පුරුවේ පදිංචියට ආවා. මම මේ රටට ආවට පස්සේ මානව සම්පත් කළමාකරණය ගැන ඉගෙන ගත්තා. ඒ අතරම මං ලංකාවට ආවාම රාජ්‍ය නොවන සංවිධාන හරහා මිනිස්සු හා ළමයි සමඟ වැඩ කරනවා. දැන් මම සිංගප්පුරුවේ හිටියත් මට ඒකෙන් මිදෙන්න බැහැ. මම මීට අවුරුදු හතරකට කලින් මනෝ විද්‍යා උපාධිය ලබා ගත්තේ. මම ආයෙමත් ලියන්න පටන් ගත්තේ ඒ ඉගෙන ගන්න කාලෙමයි. අද වන විට මා වටා විශාල පිරිසක් ඉන්නවා. “

අද වන විට අනීශා විවිධ අන්දමින් අපේ සමාජයේ මිනිසුන්ගේ මානසික ආතතිය දුරලන්නට කටයුතු කරන්නීය. ඇය මුහුණු පොත හරහා මෙන්ම පුවත්පත් හරහා මිනිසුන් දැනුම්වත් කරන්නීය. ඒ වෙනුවෙන් පොත පත ලියන්නීය.

“මට නිතරම මතක් වෙනවා මගෙ තාත්තා කියපු දෙයක්. අපි හැදුණේ අපේ රටේ. අපි හැම කෙනෙක්ම අපේ රටට ණයයි. තාත්තා කිව්වේ “පුතේ අපි මොනවා කළත් රටේ ණය ගෙවලා ඉන්න ඕන“ කියලා. මගෙ හිතේ ඒ කියපු දේ හැමදාම තියෙනවා. මම දැනට සූම් නෙට්වර්ක් එකක් කරගෙන යනවා. මේක මුදල් අය කරන එකක් නෙමෙයි. මෙයින් කරන්නේ, කොළඹට එනවා කියන එකත් හීනයක් වෙච්ච ගම්බද ඉස්කෝලවල ඉගෙනුම ලබන අපේ දරුවන්ට සූම් තාක්ෂණය හරහා උපදේශන වැඩසටහන් කරනවා. ඇත්තටම එය බොහෝම සාර්ථකයි. මේක සල්ලිවලට කරන එකක් නෙමෙයි. සමහර ඉස්කෝලවල ඉන්නේ ළමයි විස්සයි තිහයි. දවස ගානේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනවා. මම මේ හැමදේමත් කරලා මට විවේකයක් තිබුණොත් පොතුත් ලියනවා. සින්දුත් ලියනවා.“

අනීශා දියණියක් සිටින මවක්. මෙතරම් වැඩ කොටසක් කරන ගමනුත්, ඉගෙනීමේ කටයුතුත් කරන අතරේ ඇගේ පවුලට ලබාදෙන සහාය, දියණියට සැමියාට වෙන් කළ ඉඩ කොතෙක් දැයි යන්න ගැනත් අපි අගෙන් ඇසුවා.

“කවුරු හරි මගෙන් ඇහුවොත් මට තිබෙන වටිනාම දේ මොකක් ද කියලා මම කියන්නේ මේ ලොකේ මට තියෙන වටිනාම දේ මගෙ පවුල කියලා. ඉදිරියේදි මම ලියු පොත් දෙකක් එළි දක්වන්න තිබෙනවා. දුව තවමත් පාසල් යනවා. මගෙ මහත්තයා රැකියාවට යනවා. අපි තුන්දෙනා අතර අපි ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මම මේ හැමදේමත් කරලා උදේ ගෙදරින් ගිය අය නැවත ගෙදරට එන විට මං ඔවුන්ව පිළිගන්න සුදානමින් ඉන්නේ. මහත්තයා වැඩ ඇරිලා ගෙදර එනතුරු මම ලියනවා. මම මගෙ පවුල අතහැරලා මාව හොයන්නේ නැහැ. කවදාවත් මම ලියනවාට ඔහු අකුල් හෙළලා නැහැ. ඔහු එහෙම කළා නම් අද මේ මම කියන කෙනා නැහැ. මහත්තයා ගෙදර ආවාම අහන්නේ ඔයා බොන්නේ තේ ද කෝපි ද කියලා. ඔහු මට හොඳ සහකරුවෙක්. එයා පොත් කියවන්නේ නැහැ. නමුත් ඔහු මගෙන් හැම විටම අහන්නේ ඊළඟ පොත කවද්ද එන්නේ කියලා. .. එහෙම නැත්නම් පොත ලියලා ඉවර ද කියන එක ඔහු හොයනවා. එහෙමත් නැත්තනම් ඔහු මගෙන් අහන්නේ ඊළඟට මොවනවද ඉගෙන ගන්නේ කියලා. ඔහුගෙන් ලැබෙන ඒ දිරිමත් කිරීමම මට හොඳ සහායක්.“

ගීත ලියන්න, පොත් ලියන්න, උපදේශනයට, මෙන්න ඉගෙන ගන්නත් දක්ෂ අනීශා වැඩියෙන්ම දක්ෂ මොනවටද කියලා මං ඇහුවොත් මොකද කියන්නේ? මම ඇයට එහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.

“මට දෙන්න තියෙන උත්තරය තමයි මම වඩාත්ම දක්ෂ උයන්න. ඇත්තටම මට හොඳ රහට උයන්න පුළුවන්. අපේ ගෙදර උයන්න කෙනෙක්, වැඩට කෙනෙක් නෑ. එහෙම කවුරු හරි හිටියත් මම තමයි උයන්නේ. මම මගේ දියණිය ෂෙනාරා හා සැමියා වෙනුවෙන් කාලය වෙන් කරලා තමයි අනිත් හැමදේටම කාලය හදා ගන්නේ. මගේ ජීවිතේ හැමදාම එක වුණේ මගේ පවුල. ඉතිරි ඉඩ තමයි අනෙක් මිනිසුන් වෙනුවෙන් වෙන් වුණේ. මගෙ තාත්තා තමයි මගෙ පිටි පස්සේ ඉදලා මට ලොකුම හයියක් වුණේ. ධනාත්මක චින්තනය ගැන වගේම ලංකාවේ පැරණිම වෘත්තිය ගැනත් පොතක් ලියමින් ඉන්නේ. මේ හැමදේම මැද්දේ අපි බොහෝම සතුටින් ඉන්න පවුලක්.“

අනිශා තමන්ගේ පවුල ගැන පවසන්නෙ එලෙසිනි.

පොත් ලියන, ගී ලියන, දුකට පත් මිනිසුන්ට ජීවිතයේ ඉදරියට යන්නේ කෙසේ දැයි කියා මඟ පෙන්වන, ධනාත්මක චින්තනය ගැන උපදෙස් දෙන ඒ සියල්ලටම වඩා තමන්ගේ ජීවිතයේ සහකාරිය වූ අනීශා ගැන අරුණ කියන්නේ මෙවැනි කතාවක්.

“ඇය තමයි හොඳම බිරිය. ඇය මට හොඳ යෙහෙළියක්. විටෙක මට මවක් සොයුරියක් වගෙයි. අපේ දියණියට ඇය හොඳ මවක්. ඇය හැම දේම කරන්නේ හොඳ තේරුම් ගැනීමකින්. ඒ නිසා අපිට අපේ ජීවිතය ගෙන යන්න බොහෝම පහසු වෙලා තියෙනවා. අනීශා කියන්නේ බොහෝම ආදරණීය කෙනෙක්.“

Comments