විජේ ෂාරුක් එකට රඟපෑ පළමු සිනමාපටය ජවාන් නව ආදායම් වාර්තා තබමින් තිරගත වෙයි | සිළුමිණ

විජේ ෂාරුක් එකට රඟපෑ පළමු සිනමාපටය ජවාන් නව ආදායම් වාර්තා තබමින් තිරගත වෙයි

වසර හතරක පමණ විරාමයකින් පසු ෂාරුක් ඛාන් රඟ පෑ පළමු සිනමාපටය වූ ‘පතාන්’ සිනමාලෝලීන් තුළ උන්මාදයක් ඇති කරන්නට සමත් වුණා. එය මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු චිත්‍රපටය හැටියටත් මේ වන විට වාර්තාවක් පිහිටුවා තිබෙනවා. කෙසේ හෝ වේවා, ‘පතාන්’ ලැබූ සුවිසල් සාර්ථකත්වයෙන් පසු ෂාරුක්ගේ රසික රසිකාවියන් පුල පුලා බලා සිටියේ ඔහුගේ ඊළඟ සිනමාපටය ඔවුන් හමුවට පැමිණෙන තුරු යි. දැන් ඔවුන්ගේ එම බලාපොරොත්තුව ඉටු වී තිබෙනවා. ඒ ෂාරුක්ගේ අලුත්ම සිනමාපටය වන ‘ජවාන්’ සිනමා ශාලා වෙත නිකුත් වීමත් සමඟ යි. දක්‍ෂ අධ්‍යක්‍ෂවරයකු වන ඇට්ලි කුමාර් අධ්‍යක්‍ෂණය කළ ‘ජවාන්’ පසුගිය 7 වැනි දින ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණියා. එය ද මේ වන විට දැවැන්ත ආකර්ෂණයක් දිනා ගනිමින් සාර්ථක අන්දමින් තිරගත වෙමින් තිබෙනවා.

මාධ්‍ය වාර්තා කරන ආකාරයට චිත්‍රපටයේ ප්‍රවේශපත් අලෙවි කිරීම ආරම්භ කර තිබුණේ පසුගිය 1 වැනි දා යි. ඒ චිත්‍රපටය තිරගත වීමට දින 6කට කලින්. පැය දෙකක් තුළ ප්‍රවේශ පත් 41,000 ක් අලෙවි වී තිබූ බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා. ප්‍රවේශපත් වේගයෙන් අලෙවි වෙද්දී ඒවායේ මිල ඉන්දීය රුපියල් 2.400ක් තරම් ඉහළ නැඟ තිබූ බවත් සඳහන්. එය ලංකා රුපියල් 10,000කට ආසන්න මුදලක්. බොලිවුඩ් සිනමා කර්මාන්තය පිළිබඳ විශාරදයන් බොහෝ දෙනෙකු පවසන්නේ ‘ජවාන්’ නව ආදායම් වාර්තා තබමින් තිරගත වනු ඇති බවයි. සමහර විට එය ‘පතාන්’ විසින් පිහිටුවන ලද වාර්තා ද බිඳ හෙළන්නට ඉඩ ඇති බවයි පෙනෙන්නේ. 

‘පතාන්’ තිරගත වූ පළමු දිනයේ ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉන්දීය රුපියල් කෝටි 100කට වැඩි ආදායමක් ඉපැයුවා. හින්දි චිත්‍රපටයක් එම දස්කම කළ පළමු අවස්ථාව එය යි. ‘ජවාන්’ද පළමු දිනය තුළ ඉන්දියන් රුපියල් කෝටි 100කට වඩා උපයනු ඇති බවට විශ්ලේෂකයන් මුල සිටම අනාවැකි පළ කර තිබුණා. ‘ජවාන්’ තිරගත වන පළමු දිනය සැමරීම සඳහා ෂාරුක්ගේ රසික සමාජ (Fan Clubs)විශේෂ ක්‍රියාකාරකම් මෙන්ම විශේෂ දර්ශන ද සංවිධානය කර තිබූ බව වාර්තා වුණා.

‘ජවාන්’ හි පූර්ව ප්‍රචාරක පට (Trailers) නිකුත් වූ දිනවල සිටම ඒ ගැන ඉතා උණුසුම් ප්‍රතිචාර පළ වෙන්නට පටන් ගත්තා. ෂාරුක් එහි ඇතැම් දර්ශනවල සම්පූර්ණයෙන් හිස මුඩු කර සිටීම විශාල ආකර්ෂණයක් දිනා ගන්නට සමත්ව තිබුණා. මෙම චිත්‍රපටයේ ඔහු චරිත දෙකක් රඟපාන බවත් සඳහන්. ඒ පිය-පුතු දෙදෙනකුගේ චරිත දෙකක්. මෙහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ දකුණු ඉන්දියානු සිනමාවේ අතිශයින් ජනප්‍රිය නිළියක වන නයන්නතාරා යි. ඊට අමතරව තවත් දක්‍ෂ සහ ජනප්‍රිය නළුවකු වන විජේ සේතුපති ද ‘ජවාන්’ හි ප්‍රධාන චරිතයක් රඟපාන අතර දීපිකා පාදුකෝන් ද මෙහි කෙටි චරිතයක් නිරූපණය කරනවා.

‘ජවාන්’ රඟපාද්දී ෂාරුක් ඛාන් සමඟ ඇති වූ ඇසුර ගැන විජේ සේතුපති පසුගිය දිනවල මහත් උද්්‍යා්ගයෙන් යුතුව අදහස් දක්වා තිබුණා. ෂාරුක්ගේ ගතිගුණ ගැනත් ඔහු විශේෂයෙන් සඳහන් කර තිබෙනු දකින්නට ලැබුණා. විජේ ෂාරුක් සමඟ එකට රඟපෑ පළමු සිනමාපටය ‘ජවාන්’ වීමත් විශේෂත්වයක්. මේ නිසාම මෙම සිනමාපටයේ රූපගත කිරීම්වලට සූදානම් වෙද්දී තමාගේ සිත තරමක් නොසන්සුන්ව තිබූ බවත් විජේ කියා තිබුණා. එම අවස්ථාවේ තමාගේ සිත සන්සුන් කිරීමට කටයුතු කළේත් ෂාරුක් ම බවයි ඔහු පවසන්නේ.

‘ෂාරුක් සර්‘ කිසිවිටෙක තමා සුපිරි නළුවෙක්ය කියන හැඟීමෙන් හැසිරෙන කෙනෙක් නෙවෙයි. ඔහු පොළොවේ පයා ගසා ජීවත් වන ඉතා නිහතමානී කෙනෙක්’ යැයි ද විජේ පවසනවා. ‘චිත්‍රපටයේ දර්ශනයක් රූපගත කිරීමට පෙර මට ඒ ගැන සාකච්ඡා කරන්න වුවමනා වුණොත් මා ඔහු වෙත යනවා. ඔහු ඕනෑම වෙලාවක ඊට සූදානම්. මම සමහර වෙලාවට කියනවා “ඔබේ වැඩවලට බාධා කළා නම් සමාවෙන්න” කියලා. ඔහු ඒ වෙලාවට කියනවා “නැහැ විජේ, ඕනෑම වෙලාවක සාකච්ඡා කරන්න එන්න” කියලා’.

විජේ පවසන්නේ ෂාරුක් සමඟ වැඩ කළ කාලය ඉතා රසවත් කාලයක් වූ බව යි. ඒ කාලයේ තමා ඔහුට දෙමළ ටිකක් කියා දුන් බවත්, ඔහු තමාට හින්දි ටිකක් කියා දුන් බවත් විජේ සඳහන් කර තිබුණා. විජේ සමඟ රඟපාන්නට ලැබිම තමා ආඩම්බරයක් ලෙස සලකන බව ෂාරුක් ද පවසා තිබෙනවා.

‘ජවාන්’ මේ වසරේ ප්‍රේක්‍ෂකයන් හමුවට ආ ෂාරුක්ගේ දෙවැනි සිනමාපටය යි. දුන්කි නම් තවත් චිත්‍රපටයක් ද දෙසැම්බර් මාසයේ ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙනවා. ඒ නිසා මේ වසර ෂාරුක්ගේ රසික රසිකාවියන්ට තරමක් කාර්යබහුල වසරක් බවයි පෙනෙන්නේ.

Comments