එයා මාව වෙනස් කරන්න උත්සාහ ගත්තා නම් සමහර විට මම සතුටින් ජීවත් නොවෙන්න පුළුවන් | සිළුමිණ

එයා මාව වෙනස් කරන්න උත්සාහ ගත්තා නම් සමහර විට මම සතුටින් ජීවත් නොවෙන්න පුළුවන්

- එයාට රඟපාන්න චරිතයක් ලැබුණොත් එයා මාත් එක්ක කතාබහ කරනවා
- එයා මට ලස්සනට අඳින්නත් කැමැති විලාසිතා කරන්න උපරිම නිදහස දීලා තියෙනවා
- එයා මුණ ගැහෙන්නෙත් මම රංගනයට අවතීර්ණ වුණාට පස්සේ නිසා තවම නම් මට බලපෑමක් කරලා නැහැ
- එයාගේ දඟකාර කටකාර ගතියට මම කැමැතියි ඒ නිදහස මම කොයිම මොහොතකවත් නැති කරන්නේ නැහැ

ධනංජී තාරුකා පුංචි තිරයේ ඉන්න දඟකාර කටකාර චරිතයක්. සැබෑ ජීවිතයේදිත් එලෙසින් හැසිරෙන ඇය පුංචි තිරයෙන් නිතරම දකින්න ලැබෙනවා. ඇය මේ දිනවල අතිශය ජනප්‍රිය සික්ස් පැක් නාට්‍යයේ රඟපානවා. ධනංජි විවාහ වෙලා ඉන්නේ ශැගී වීරනායක සමඟ. විවාහයත් එක්ක නළුවෙක් වූ ඔහු ව්‍යාපාරිකයෙක්. අද අපේ කතාබහ ඔවුන් ගැනයි. 

මේ දවස්වල හැම චැනල් එකකම ධනංජිව දකින්න ලැබෙනවා නේද..?

සංසරණි හා සික්ස් පැක් නාට්‍ය දෙකේ රඟපානවා. ඒ නාට්‍ය දෙකට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් ප්‍රතිචාර එන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ. ආදරණීය රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක මට හිතෙනවා මම ඒ චරිත දෙකටම සාධාරණයක් කරනවා කියලා. ඒ වගේම නිතරම නිර්මාණවලට කතා කරන එක ගැනත් මටත් සතුටක් තියෙනවා

මේ දවස්වල ලැබෙන හැම චරිතයක්ම භාර ගන්නේ රංගනයට සමු දෙන්න වත් හිතිලද..?

මම කිසිම විදිහකින් රංගනයට සමු දෙන්නේ නැහැ. මම රංගනයට සම්බන්ධ වෙන්නේ ගොඩක් කල් ඉඳලා. ඒ නිසා කිසිම හේතුවක් මත මම ඒ තීරණය ගන්නේ නැහැ.

සැමියා කිව්වොත් රංගනයට සමු දෙන්න කියලා ඒත් ඔබ ඔය තීරණයේමද ඉන්නේ..?

මගේ සැමියා කිව්වොත් මොකක් හෝ හේතුවක් මත ඔයා රඟපෑවා ඇති, දැන් අයින් වෙන්න කියලා එතකොට මට පවුල් ජීවිතේ ගැන හිතලා ඉවත් වෙන්න සිදු වෙයි. මම එහෙම කියන්නේ මට පවුල් ජීවිතේ වටින නිසා. නමුත් එයා මුණ ගැහෙන්නෙත් මම රංගනයට අවතීර්ණ වුණාට පස්සේ නිසා තවම නම් මට බලපෑමක් කරලා නැහැ.

ධනංජිට හිතෙන්නෙ නැද්ද ඒ හැම චරිතයක්ම එකම රාමුවකට කොටු කරලා කියලා ..?

මම මුල් කාලේ කටකාර දඟකාර චරිත කරද්දී මට එක දිගට ඒ කාලේ එකම රාමුවේ චරිත ලැබුණේ. දැන් ටිකක් ඒක වෙනස් වෙලා කියලා මට හිතෙනවා. මේ දවස්වල රඟපාන චරිත ටිකක් එකිනෙකට වෙනස්. සික්ස් පැක් වගේම සංසාර්නි නාට්‍යයේ චරිතයත් එකිනෙකට වෙනස්. ඉදිරියේ දි වෙනස් චරිත ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම ලැබුණොත් මම සතුටින් භාර අරගෙන ඒ ඒ චරිතයට සාධාරණයක් කරන්න මම උත්සාහ ගන්නවා.

ධනංජි කියන්නෙත් ඇත්ත ජීවිතේ ඔය විදියටම කෑකෝ ගහලා ඉන්න කෙනෙක් නේද…?

ඔව්. මම ජීවිතේ විඳින්න ආස, සතුටින් ඉන්න කැමැති කෙනෙක්. අනිත් අය දුකින් ඉන්නවටවත් මම කැමැති නැහැ. මම වගේම හැමෝම සතුටින් ඉන්න ඕන කියලා මම හිතන්නේ. ඉතිං මම ඉන්න තැන පාළුවක් නැහැ කියලා තමයි හැමෝම කියන්නේ , ඒ දඟකාරකම ඇතුළේ සීමාව ඉක්මවා යෑමක්වත් වගකීමකින් තොරව වැඩ කරනවාවත් නෙමෙයි තියෙන්නේ. මගේ සීමාව ඇතුළේ මම කෑකෝ ගහලා සතුටින් ජීවත් වෙනවා. ඒක මම හිතන්නේ නැහැ නරකක් කියලා. 

ඔය කටේ සද්දේ එක්ක හස්බන්ඩ් කියන්නේ නැද්ද කෙල්ලෙක් වගේ ජීවත් වෙන්න කියලා ..?

මගේ මේ කටකාර දඟකාරකමට තමයි එයා මට ආදරේ කරන්නෙත්. ඒ නිසා පොඩ්ඩක් වැදගත් විදිහට ජීවත් වෙන්න කියලා කියන්නේ නැහැ. එයා එහෙම උත්සාහ කරන්නේත් නැහැ. අපේ විවාහ ජීවිතේ හොඳින් ගෙවෙන්නෙත් එයා කැමැති විදිහේ කෙනෙක් එයාට ලැබුණු නිසා හා අපි අතර හොඳ අවබෝධයක් තිබීම වෙන්න ඇති. එයා මාව වෙනස් කරන්න උත්සාහ ගත්තා නම් සමහර විට මම සතුටින් ජීවත් නොවෙන්න පුළුවන්. ඒ වගේම තමයි එයා මට ලස්සනට අඳින්න, කැමැති විලාසිතා කරන්න උපරිම නිදහස දිලා තියෙනවා. නමුත් නිදහස දුන්නා කියලා මම මට හා පවුල් ජීවිතේට බලපෑමක් වෙන කිසිම දෙයක් කරන්නෙ නැහැ.

ඔහුත් රංගනයට සම්බන්ධයි. ඔබත් රංගනය එක්ක කාර්යබහුල වෙලා, පවුල් ජීවිතය මඟහැරිලා නැද්ද..?

මුල් කාලේ එහෙම ගැටලු ආවා. දෙන්නම ගෙදර නැති තරම්. මම තමයි වැඩිපුර ගෙදර හිටියෙම නැත්තේ. එයා එයාගේ ව්‍යාපාර ජීවිතේ එක්ක කලාව සමබරව කරගෙන යනවා. සමහර දවස්වලට නාට්‍ය දෙක තුනක වැඩ එක දිගට කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම පවුල් ජීවිතේ නිසා කාලය හදාගෙන අපි දෙන්නගේ ජීවිතේ සතුටින් ගෙවන්න ඕන වටපිටාව හදා ගත් අවස්ථාත් තියෙනවා. කාලයක් යද්දී කලාවයි පවුලයි සමබරව ගෙනි යන්න කාලය කොහොමද කළමනාකරණය කරගන්නෙ කියලා අපි දෙන්නම තේරුම් ගත්තා. ඊට පස්සේ දෙන්නා වැඩ භාර ගද්දි කතාබහ කරලා ඒවා භාර ගන්නවා. ඒ නිසා දැන් පවුල් ජීවිතේ මඟ ඇරෙන්නේ නැහැ

දෙන්නම එකම ක්ෂේත්‍රයක ඉන්න එක අවාසිදායක ඇති..?

මම හිතන විදිහට ඒක වාසියි. සැමියා රඟපාන්නේ විවාහ වුණාට පස්සේ. ක්ෂේත්‍රයට අවතිර්ණ වුණාට පස්සේ එයා තේරුම් ගත්තා ක්ෂේත්‍රයේ හතර කොණ හා මේක ඇතුළේ මොනාද වෙන්නේ කියලා. එතකොට එයාටත් අවබෝධයක් ආවා මගේ රැකියාව ගැන. මම මොනවද කරන්නේ, කොහොමද ඉන්නේ කියලා. ඒ නිසා මට නම් වාසියක් වුණේ. තවම අවාසිදායක දෙයක් වෙලා නැහැ. 

කොහොමද සැමියාගෙන් ලැබෙන උදව් රංගනයට වගේම පවුල් ජීවිතයට..?

කොයිතරම් කාර්‍යබහුල වුණත් මට මගේ වැඩ ටික හොඳින් නිදහසේ කරගෙන යන්න එයා උදව් කරනවා. එයා මට නිතිරීතී දැම්මා නම් අද මම මෙතන නැහැ. විවාහයත් එක්ක මගේ රංගන ජීවිතේත් අවසන් වෙලා. එයාගේ ඒ තේරුම් ගැනීම හා අවබෝධය තමයි මාව සතුටින් තියන්නේ. ඒ වගේම තමයි එයාගේ වැඩ හැමදේම මම කරලා දෙන්න ඕන. ඔයා වයිෆ්, යුතුකම් ඉටු කරන්න කියන සැමියෙක් නෙමෙයි ඔහු. එයාගේ දෙමාපියන් එක්ක අපි ඉන්නේ. මම ගෙදර ඉන්නකොට ගෙදර වැඩ හොයලා බලලා කරනවා. සමහර දවස්වලට ගෙදරින් පාන්දර තුන හතරට යන්නේ. කෑම බීම හදලා යන්න බැහැ. එයාගේ අම්මා තමයි ඒවා කරන්නේ. ඉතිං ගෙදර අයත් එයත් මට හැම පැත්තකින්ම උදව් කරන එක මට හයියක්.

ආදරේ කරන කාලයේ ලිහිල් කරලා තිබ්බ නීති දැන් වැඩි කරල ද ..?

එදා වගේමයි අදත්. ඔහු කිසිම විදිහකින් නීති දාලා නැහැ. මම වරදක් කරන්නේ නැහැ කියලා එයා දන්නවා.

ධනංජිගෙන් පසුව ඇයගේ සැමියා ඇය ගැන කෙටියෙන් මේ විදිහට කතාබහට එකතු වුණා.

එයාගේ දඟකාර කටකාර ගතියට මම කැමැතියි. ඒ නිදහස මම කොයිම මොහොතකවත් නැති කරන්නේ නැහැ. එයා ගැන මම දන්නවා. ඒ නිසා මොන දේ කළත් හරි දේ විතරයි කරන්නෙ කියලා මම දන්නවා. කෑකෝ ගහලා හිටියේ නැතිතම් ඒ කියන්නේ එයා නිහඬ වෙලා කියන්නේ එයා දුකින් ප්‍රශ්නයක කියන එක. මාත් එක්ක තරහා වෙලා කියලා තමයි හිතන්නේ. එයා ඉන්න විදිහ හොඳයි. ඒ දේ නැති වුණොත් තමයි මම කලබල වෙන්නේ. එයා වගේ සැහැල්ලුවෙන් ජීවිතේ දිහා බලන බිරියක් ලැබීම සතුටක් කියලා තමයි කියන්න තියෙන්නේ. එයාට රඟපාන්න චරිතයක් ලැබුණොත් එයා මාත් එක්ක කතාබහ කරනවා. එයාව හරිම කැමැත්තෙන් තමයි නිර්මාණවලට යවන්නේ.

ඔහු එලෙසින් කෙටියෙන් කතාබහ අවසන් කළා.

Comments