සිනා කතා | සිළුමිණ

සිනා කතා

ඒකෙ වරදක් නැහැ

“අපේ සමහර කලාකාරයෝ කසාද බැඳලා අවුරුදු විසිපහක් සම්පූර්ණ වුණයි කියල, ඔන්න හිටපු ගමන් ඇහැරිලා, මඟුල් ඇඳුම් ඇඳලා, මංගල උත්සව තියලා, ඒ මදිවට මඟුල් ෆොටෝ අරගෙන, අන්තිමට පත්තර වලින් ඒ ගැන ලොකු ප්‍රචාරයකුත් ලබා ගන්න එක දැන් අලුත් ම විලාසිතාව වෙලා නේද?” කලා පුවත්පතක් කියවමින් සිටි ශාන්ති තම සැමියා දෙස බලා කීවා ය.

“නෑ හාමිනේ, ඒක විලාසිතාවක් විදියට දකින එක වැරැදියි කියලයි මට නං හිතෙන්නේ. මොකද ඔය හුඟක් කලාකාරයෝ චිත්‍රපටි වලදි, එහෙමත් නැත්නම් ටෙලිනාට්‍යවලදි මුණ ගැහිලා කතාබහ කරලා, ඊට පස්සෙ පවුල් කන්ඩ පටන් ගන්නවා මිසක් ලෝක චාරිත්‍රවල විදියට කසාද බඳින පුරුද්ද හරි අඩුයිනෙ හාමිනේ. ඉතින් අවුරුදු විසිපහක් ගිහින් හරි උත්සවයක් අරගෙන සිරිත් විරිත් වල හැටියට හැම දෙයක් ම කරගෙන, හෝඩියෙ ඉඳලා ආපසු ඉස්සරහට යන එකේ වැරැද්දක් තියෙනවයැ?’ චන්ද්‍රසිරි කීවේ ය.

 

තාත්තා වගේ ම වුණොත්...

“පහුගිය කාලෙ මැරුණු නන්දසේන අයියගෙ පුතා, තාත්තගෙ පරණ නාට්‍යයක අළු ගසාදාලා අරගෙන වේදිකාවට ආයෙත් ගේනවයි කියල පත්තරේකට ලියලා තියෙනවා මම දැක්කා. තාත්තා රඟපෑව ප්‍රධාන චරිත එයා රඟපානවයි කියන්නෙ.” කුමාරි නාට්‍ය දර්ශනය අතරතුර ලද විවේකයේදී තුෂාරි දෙස බලා කීවේ ඉඟිමරමිනි.

“ඇත්තද...? එහෙම නං තාත්තා තමන් එක්ක රඟපාන නිළියන්ට ඇම දීලා, ඇම නොකා පිටුපාපු නිළියන්ට හෙමින් සීරුවේ බොරු හේතුවක් පිටදාලා කපලා දැම්මා වගෙ පුතාත් නිළියන්ව කපා දායිද දන්නෙ නෑ නේද අනේ?” තුෂාරි කීවේ තම අතීතය සිහිපත් කරමිනි.

 

රහකරලා කෑවේ ඒවද?

“උඹ අපි ඉල්ලුවා ම නං කජුමද දෙක තුනක් දෙන්නේ හරියට ඇ‍ඟෙන් ඇටයක් දෙනවා වගෙ තද ලෝබ කමෙන්නෙ. ඒත් අර වසන්ත ඉල්ලුව ගමන් උඹ එයාට කජු අහුරක් ම පැනලා දුන්නා නේද? මං බලාගෙන වසන්තයා ඒ කජු බොහොම රහකරකර කකා පාර දිගේ යනවා.” විජිත කජු තොග ගෙනැවිත් කඩවලට ගෙන ගොස් විකිණීමේ ව්‍යාපාරයක් කරන ගුණපාල දෙස බලා කීවේ නෝක්කාඩුවට මෙනි.

“වසන්ත මහත්තයා ඉල්ලුවා ම මම කජු ‍අහුරක් ම එයාට දුන්න එක හැබෑව. ඒත් විජිත මහත්තයා ඒ දුන්නේ, විසි කරන්න හිතාගෙන මම පැත්තකට අයින් කරලා තිබුණු පුස්කාපු කජු වගයක්නෙ.” ගුණපාල කීවේ බුලත් කහට බැඳුණු තම දත් දෙපෙළ පාමිනි.

 

ඊට වැඩිය දඬුවමක්

ඔය චන්ද්‍රපාලයා මට කළේ ම හතුරුකම්. අවුරුදු පහක් විතර තිස්සෙ මිනිහා මට නොයෙක් තාලෙන් රිද්දුවා. ඔන්න අද මිනිහාට ඒකට නියම දඬුවම ලැබිලා.” සිරිපාල තම මිතුරු ප්‍රේමදාස සමඟ කීවේ සැනසුම් සුසුමක් හෙළමිනි.

“මොනවා...! ඒ කියන්නෙ චන්ද්‍රපාල මේ හදිස්සියෙ මළාද?” ප්‍රේමදාස ඇසුවේ අදහාගත නොහැකිවය.

“ඒ යකා මළේ නැහැ බං. ඌ ඊයේ රෑ මගෙ ගෑනිත් එක්ක පැනලා ගිහින්. ඉතින් ඌට ඊට වැඩිය දඬුවමක් තියෙනවද? සිරිපාල කීවේ හක.. හක.. ගා සිනාසෙමිනි.

 

දික්කසාදෙත් ඕන

“තමා මේ තැනැත්තාගේ මුදල් පසුම්බිය සොරකම් කළාට වැරැදිකාරයද, නිවැරැදිකාරයද?” විනිශ්චයකරු විත්ති කූඩුවේ සිටි අජිත් දෙස තියුණු බැල්මක් හෙළමින් ඇසී ය.

“වැරැදිකාරයා ස්වාමීනි. ඒකට ඕනෑම දඬුවමක් විඳින්ඩ මම ලැහැස්තියි. ඒත් එක්ක ම මගෙත් පොඩි ඉල්ලීමක් තියෙනවා ස්වාමීනි. මට මගේ බිරිඳගෙන් වහාම දික්කසාද වෙන්ඩ අවසර ලබා දෙන්න.” අජිත් විත්තිකරු දෙසට හිස නමා කීවේ ය.

“මොනවා! මොකක්ද ඒ කිසිම අදාළකමක් නැති ඉල්ලීමේ තේරුම?” විනිශ්චයකරු විමසුවේ තද විමතියකිනි.

“මම ඔය හාදයගෙ පර්ස් එකට බස් එකේදි විද්ද බව හැබෑව. එහෙම කරලා ඒකෙ සල්ලි කොච්චර විතර තියෙනවද කියල අවුස්සලා බලද්දි මට ඒ පර්ස් එකේ තිබිලා මගේ පවුලගේ ෆොටෝ එකක් හම්බවුණා ස්වාමීනි.” විත්තිකාර අජිත් කීවේ ය.

Comments