තුන්පාද කනප්පුවක රැඳවූ මල් බඳුන | සිළුමිණ

තුන්පාද කනප්පුවක රැඳවූ මල් බඳුන

සේකර නමැති ගීත රචකයාත් සේකර නමැති කවියාත් එක් අයකු නොව දෙදනකු යැයි කිව හැකිය. මා එසේ කියන්නේ හුදෙක් ඒ ඒ නිර්මාණ වෙතින් ප්‍රකට වන දෘෂ්ටිවාදය සැලකිල්ලට ගනිමිනි. සේකර නමැති ගීත රචකයා වැඩවසම්වාදය, මිනිස් ශ්‍රමය වර්ණනාවට ලක් කළ කලාකරුවකු වූ අතර සේකර නමැති කවියා ධනේශ්වර අර්බුදය විනිවිද ගොස් එහි යථාර්ථය ඥානනය කළ කලාකරුවකු වූයේ යැයි කිව හැකිය.

ගීතයේදී විශේෂයෙන් ගුවන්විදුලි සංස්ථාවේ සේවකයකු ලෙස සිටියදී ලියු ගීතවලදී කවියට යොදාගත් විෂය ක්ෂේත්‍රය සේකර සපුරා බැහැර කළේය. ඔහු එක් පැත්තකින් රජයේ ඕනැඑපාකම්වලට අනුව ‘මහවැලි ගීතය’ ලියු අතර තවත් පැත්තකින් ප්‍රබුද්ධ ගී වැනි ප්‍රචාරකවාදී ගී ලීවේය. ‘ප්‍රබුද්ධ ගී’ යනු 1970 - 77 සභාග ආණ්ඩුවේ වගා සංග්‍රාමය යටතේ ජනතාව කුඹුරට බැස්සීම සඳහා කෙවිටක් සේ භාවිත කළ කබල් ගී විශේෂයකි. සේකර වැනි ගීත රචකයන් මෙන්ම ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වැනි සංගීතඥයන් ද මේ ප්‍රබුද්ධ ගී නිර්මාණවලට කැතක් නැතිව දායක වූ ආකාරය පෙනේ. එහෙත් සින්දුවෙන් පමණක් වගාව කළ නොහැකි වූවා පමණක් නොව මේ ප්‍රචාරකවාදී කලාව ප්‍රතික්ෂේප කළ රටේ ජනතාව 1977 දි සභාග ආණ්ඩුවම අනිත් පැත්තටම පෙරළා දැමුවේය.

කවියේ වස්තු විෂය ගීතයේදී යොදාගත නොහැකි වූ පසුබිමක සේකර රන් එතනලා ගැන, රන්වන් කරල් ගැන, වනසපුමල් ගැන වක්කඩ ගැන ගී ලිවීම පුදුමයට කාරණාවක් නොවේ. ඔහු මෙය කළේ දැනුවත්වය. රජයේ සේවකයකු බැවින් ඔහුම කිසියම් ආකාරයක ස්වයං වාරණයක් පනවා ගත්තේය.

සේකර වරක් ඔරුවල බන්දු ලේඛකයා සමඟ කී දෙයක් මගේ මේ මතවාදය සනාථ කරවන්නකි.

“හිතට එකඟව ලියන්න කියන්න ගියොත් රජයේ රැකියාව නැති වෙනවා. එතකොට මගෙ ගෑනියි, ළමයි ටිකයි බඩගින්නෙ. රජයේ රැකියාවක නිරත වී සිටින නිසා මට මුළු කාලයම කලාව වෙනුවෙන් කැප කරන්න ඉඩක් නැති බවත් ඇත්ත. ඔහේ ඉවර ඇති වෙලාවක යම්කිසි නිර්මාණ කාර්යයක යෙදෙනවා විතරයි.”

(දිවයින ඉරිදා සංග්‍රහය 1991 මාර්තු 24)

සේකර මහවැලි ගීතය පමණක් නොව ලංකා සමසමාජ පක්ෂ සංවත්සරය සඳහා, පනාගොඩ යුද හමුදා මූලස්ථානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ශ්‍රම බළකාය සඳහා ‘කොන්ත්‍රාත්’ ගීත ලිව්වේය. එහෙත් සේකර කිසිදා පටු වාණිජවාදයකට (කරුණාරත්න අබේසේකරලා මෙන්) වැටී ගීතය පරිහානිගත කළේ නැති බව ඔහුගේ ගෞරවය පිණිස කිව යුතුය.

එසේම සේකර කොළඹ කවීන්ගේ සමනල අදහස්ම අලුත් කෘතියකින් එළිදැක්වූයේ ද නැත. එබදු චෝදනාවක් ඔහුට ගෙන ආවේ සේකර චූල කවියකු යැයි ගර්හා කළ ගුණදාස අමරසේකරය. ‘මළහිරු බැස යන සැන්දැ යාමේ’, ‘මා මළ පසු සොහොන් කොතේ’ වැනි ගී අමරසේකර දුටුවේ කොළඹ කවීන්ගේ සමනළ අදහස් ලෙසය.

සේකරගේ ඉතා විශිෂ්ට ගණයේ ගී නොපවතිනවා නොවේ. ඒවා සාහිත්‍යමය බවින් අනූනය. ‘ඈත කඳුකර හිමවු අරණේ’ වැනි ගීතයක් පමණක් වුව එයට හොඳ නිදර්ශනයකි.

ගීතය, සාහිත්‍යයක් නොවේ ය යන අදහසක් ඇතැමුන් තුළ පවතී. පුවත්පත් ‘තීරු ලිපි’ සම්බන්ධයෙන් ද සමහරු එබඳු අදහසක් දරති. ගීතය කවියේම සොහොයුරකු ලෙස සැලකූ ආචාර්ය මහගමසේකර එය සාහිත්‍යාංගයක් ලෙස පිළිගත්තේය.

1968 දී ප්‍රවීණ ලේඛක චන්ද්‍රසිරි සෙනෙවිරත්න සමඟ ‘සරසවිය’ පුවත්පත වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවකදි මහගමසේකර මෙසේ කියා තිබිණි.

“නවකතාව, කෙටිකතාව, පද්‍ය වගෙ ගීතය ද සාහිත්‍ය අංගයක් කියලා මම කල්පනා කරනවා.”

සේකර ලියූ ගීත සාමාන්‍යයෙන් කොටස් පහකට පමණ වර්ගීකරණය කළ හැකිය. (1) සරල ගී (2) චිත්‍රපට ගී (3) වේදිකා නාට්‍ය ගී (4) මුද්‍ර නාට්‍ය ගී (5) ගුවන්විදුලි ගීත නාටක යනාදි වශයෙනි.

මෙයින් සේකර හා අමරදේවයන් නිර්මාණ සුසංයෝගයෙන් ඉදිරිපත් වූ (සභාග ආණ්ඩුව බලයට පත්වන්ට පෙර) ‘මධුවන්ති’ ගී සරණිය අමරදේවයන්ගෙත් සේකරගෙත් මධුර ඵලයකැයි සිතමි. සිංහල සුභාවිත ගීතය පරිපෝෂණය වන්ට මෙයින් ලැබුණු ප්‍රභාව අතිමහත්ය. කිසියම් රාගයක් පදනම් කරගත් සරල ශාස්ත්‍රීය (LIGHT CLASSICAL) ගී රැසක් මොවුන් වෙතින් බිහි වූයේය. (‘මධුවන්ති’ යනු ද රාගයක නමකි)

‘අපාර වූ ආකාසේ - විසිරී සඳ රේඛාවේ’ වැනි ගීයක් මොවුන් දෙදෙනා එක්ව නිර්මාණය කළේ ඛ්‍යාල් නමැති රාගධාරී සංගීතයේ එන රාගය මෙරටට හඳුන්වා දීම සඳහාය. මෙහිදී රචනය ඉතාම කෙටි වන අතර ප්‍රමුඛත්වය දෙන්නේ ගායනයට හා වාදනයටය.

සේකර වන් ගීතයේ ව්‍යවහාරික පක්ෂය වටහාගත් ගීත රචකයකු තවත් නැති තරම්ය. ඔහු අවශ්‍ය තැනට ‘ෆොටෝජෙනික්’ යන වචනය පවා භාවිත කළේය. (ගන්න ගන්න මාගේ රූපෙ මං ෆොටොජෙනික්) සම්ප්‍රදාය ගැන අදහස් දක්වමින් සේකර වරක් මෙසේ කියා සිටියේය.

“සම්ප්‍රදාය යනු වැව් දියක් නොව ගංගාවක් වන බැවින් වෙනස් වෙමින් ගලා ඒම වැළැක්විය නොහැකිය. එසේ ගලාගෙන එන ගමනේදී පස් පියුම්, හා මෙණෙවියන්, රණ තිසරුන්, දිය කෙළින වරඟනන්, නිල් කඳු වැටි, මිටියාවත්, කේතකි ගුහා ආදිය පමණක් නොව බෝක්කු, යකඩ පාලම්, ෆැක්ටරි, කුණු කන්දල් ආදිය ද එමට හමු වෙයි. එක් එක් කවියාගේ පෞද්ගලිකත්වය නමැති අතු ගංගා එකතු වීමෙන් ඒ ගඟ වඩ වඩා පුළුල් වෙයි.” (කවිය හා කවියා ‘සිළුමිණ’ 1966 ඔක්තෝබර් 21)

අවසාන වශයෙන් ගීතයක කර්තෘත්වය පිළිබඳ සේකර දැක්වූ මතවාදය ගැන අවධානය යොමු කළ යුතුය. ඔහු ගීතය හැඳින්වූයේ “තුන්පාද කනප්පුවක් (ස්ටූලයක්) මත රැඳවූ මල් බඳුනක්” වශයෙනි. ඔහු එය විවරණය කළේ මෙපරිද්දෙනි.

“ගීතය කීප දෙනකුගේ දක්ෂතා කැටුව උපදින්නක්. රචකයා නිබන්ධනය කරනවා. සංගීතඥයා තනුවේදි එය සංගීතවත් කරනවා. ගායකයා ගයනවා. හරියට තුන්පාද ස්ටූලයක් වගේ උසස් ගීතය ඒ මත තැබු මල් බඳුනක් වගෙ කියලා මට හිතෙනවා.” (සරසවිය 1968 ජුනි 9)

ගීතයේ ස්වාමිත්වය ගීත රචකයාගේ ය යන මතවාදය මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් පසු කලෙක ඉදිරිපත් කරන ලදි. එය සදොස් මතයකි. බොහෝ විට සංගීතඥයා පදමාලාව සංශෝධනය කරයි. සුනිල් සාන්ත, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, ගුණදාස කපුගේ පමණක් නොව ආචාර්ය අමරදේව පවා ගීත වෙනස් කර ඇත. එය භාෂාව පිළිබඳ, සාහිත්‍යය පිළිබඳ සංවේදිතාවක් ඇති සංගීතඥයකු අතින් සිදුවීම වරදක් නැත. ගීතය අනිවාර්යයෙන්ම සුගායනීය විය යුතු බැවිනි.

Comments