එක්සත් ජනපද ඉතිහාසයේ දොරට තට්ටු කරන දොර දොර කළුවර | සිළුමිණ

එක්සත් ජනපද ඉතිහාසයේ දොරට තට්ටු කරන දොර දොර කළුවර

ඓතිහාසික වෘත්තාන්තයක් නවකතානුසාරීව සොඳුරු ලෙස හකුළුවන Laurie Andersonගේ 'Fever'' 1793 කෘතිය ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ විසින් සිංහලට නඟනු ලැබ ඇත්තේ ‘දොර දොර කළුවර’ නමිනි. ඉතිහාසය පසුබිමේ තබාගෙන කිසියම් සිද්ධිදාමයක් කියවීමට රුචිකර ලෙස හකුළුවාලීමේ ශක්‍යතාවට පොතේ කර්තෘ මෙන් ම පරිවර්තිකාව ද හිමිකම් කියන බව මෙය කියවන පාඨකයාට හැඟෙයි. විද්‍යා ප්‍රබන්ධයක් නිරවුල්ව වටහාගැනීම සඳහා විද්‍යා දැනුම උපකාරි වන්නේ යම් සේ ද ‘දොර දොර කළුවර’ වඩා හොඳින් අවශෝෂණය කරගැනීමට නම් අමෙරිකානු විප්ලව සමය පිළිබඳ දැන සිටීම ද වැදගත් ය. පොතේ පසුසටහන්වලින් මේ අවශ්‍යතාව ද යම් තාක් දුරකට ඉටු වෙයි. විශේෂයෙන් කිව යුතු වන්නේ ඇන්ඩර්සන් මේ කතා පුවත ගොතා ඇති සරල, සුගම හා සුමට ආකාරය පිළිබඳ ය. 14 හැවිරිදි දැරියකගේ දෑසින් ලෝකය බලන කර්තෘ ඇයගේ ලාලසාවන් මෙන් ම සෝතැවුල් ද නිරූපණය කරන්නේ ළමා වයසට සාකල්‍යයෙන් ම සරිලන පරිද්දෙනි.

කතාව ඇරඹෙන්නේ 1793 අගෝස්තු 16 දිනයෙනි. කහ උණ වසංගතය ෆිලඩෙල්ෆියාවට රකුසකු මෙන් කඩා වැදී මහත් විනාශයක් සිදු කළ වසර වන්නේ එය යි. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් මේ කතාව කියන මැටිල්ඩා කුක් තම මව වන ලුසිල් හා සීයා වන විලියම් කුක් මේ වන විට වාසය කරන්නේ ද ෆිලඩෙල්ෆියාවේ ය. ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් පවා ජීවත් වන සෞභාග්‍යසම්පන්න නගරය වන්නේ ෆිලඩෙල්ෆියාව යි. ඇඩම් ගෝර්ඩන් සාමි තබන (1765) දින සටහනක ‘ෆිලඩෙල්ෆියා නගරය සමහර විටෙක ලෝක පුදුමයන්ගෙන් එකක් විය හැකි ය’ යනුවෙන් ලියැවී යන්නේ ද මේ නිසා විය හැකි ය. ඒ වූකලි පොතේ මුල් ම පරිච්ඡේදයේ ආරම්භක දින සටහන යි. ඉනික්බිති සමාප්තිය දක්වා ම (පරිච්ඡේද 29ක්) මැටිල්ඩා කුක් සිය කතාව කියාගෙන යන්නේ එවැනි සුවිශේෂ ආරම්භක සටහන් කීපයක් ද සමඟ යි.

ෆිලඩෙල්ෆියා ප්‍රදේශය හා මිනිස් ජීවිත උඩු-යටිකුරු කරමින් කහ උණ වසංගතය පැතිර යන ආකාරය පිළිබඳ විස්තරය පාඨකයා තුළ ශෝකය, බිය හා පිළිකුල ද දනවනසුලු ය. මේ විස්තරය බෞද්ධ සාහිත්‍යයෙන් අප අසා, කියවා ඇති විසාලා මහනුවර දුර්භික්ෂය සිහියට නංවයි. බුෂ්හිල්හි පිහිටා තිබූ මහා මන්දිරයක් උණ රෝගීන්ගේ රෝහලක් බවට පත් කෙරෙන අතර, මිනිසුන් කියන්නේ ‘බුෂ්හිල් යනු අපායෙන් එක් අඩියක් මෙපිටින් පිහිටි තැනකි’ යි කියා ය. කුණුලොරි, කුණු ගේන්නැයි ඉල්ලාගෙන එන ආකාරයට සෑම උදෑසනකම පාහේ ‘ඔහේ මිනී තියෙනවා නම් ගේන්නැයි’ කෑගසන අත්කරත්තකරුවෝ වීදි සරති. ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් ද ඇතුළුව බොහෝ නගරවැසියෝ නගරය හැර යති. 1793 සැප්තැම්බර් 10 වැනිදා නගරය හැර යන ජෝර්ජ් වොෂිංටන්, ඒ වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන්නේ මෙසේ ය:

‘වොෂිංටන් මහත්මිය අද පවතින මේ දුස්සාධ්‍ය උණ රෝගි තත්ත්වය යටතේ මා හැරදමා යන්නට අකමැති ය. ඇයට හා දරුවන්ට මුහුණ පාන්නට සිදු වන භයානක තත්ත්වය හමුවේ තවදුරටත් නගරයේ රැඳී සිටීමට මට හිතහදා ගත නොහැකි ය. (251 පිටුවේ පසුසටහන)

කහ උණ රෝගයට ගොදුරු වූ ඇතමුන් පල්ලිභූමිවල හා සුසානභූමිවල මිහිදන් කෙරුණ ද බහුතරය වළ-දැමුණේ අද දවසේ ‘වොෂිංටන් චතුරස්‍රය’ ලෙස නම් කෙරෙන අනාථයන් වළ දැමෙන භූමිභාගයේ යැ යි පොතේ පසුසටහන්වලින් කියැවේ. පවුලේ ඥාතීන් පවා රෝගීන් අතහැරදැමූ අතර, සමහරකු මහමඟට බැස්සූ අවස්ථා ද විය. මෙවැනි තත්ත්වයක් මත රෝගීන්ට පිළිසරණ වූවෝ අලුතින් පිහිටුවාගනු ලැබූ නිදහස් අප්‍රිකානු සංගමයේ සාමාජිකයෝ ය.

වෛද්‍ය විද්‍යාව නොදියුණු මට්ටමක පැවැති එකල කහ උණ රෝගය ගෙන එන්නේ මදුරුවකු විසින් බව කිසිවෙක් නොදනිති. කිසිවකු ‘ස්ටෙතස්කෝපය’ හෝ උණකටුව පවා ඒ වන විට සොයාගෙන නැත. සුදුසුකම් ඇති හා නැති වෛද්‍යවරුන් රෝගීන් විෂයයෙහි විවිධ ප්‍රතිකර්ම අත්හදා බලන අතර, රෝගීහු විශාල සංඛ්‍යාවක් මියැදෙති. කිසිවකු, කිසිවකුට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වන්නේ නැත. ‘මිත්‍රත්වය අපගේ නගරයෙන් සම්පූර්ණයෙන් ම පලාගොසිනි’ යි යනුවෙන් වෛද්‍ය උණ රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍ය බෙන්ජමින් රෂ් ලිපියක ලියා තබන්නේ ඒ නිසා ය. රෝගියකු දුටු පමණින් මිනිස්සු බිය වැද පලා යති. කෝකටත් තෛලය බඳු විෂබීජනාශකයක් ලෙස ඔවුන් පිහිට පතා යන්නේ විනාකිරිවල ය. මේ කතාව කියන මැටිල්ඩා කුක් දැරිය ද නහය ඔතාගෙන ඉන්නේ විනාකිරි පෙඟවූ රෙදි කැබැල්ලකිනි.

මැටිල්ඩා කුක්ට ද අන් බොහෝ දැරියන්ට මෙන් බොහෝ සිහින තිබේ. පවුලේ ව්‍යාපාරයක් වශයෙන් ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන කෝපි අවන්හල මතු අනාගතයේදී ෆිලඩෙල්ෆියාවේ ප්‍රශස්තතම කෝපිහල බවට පත් කිරීමේ සිහිනය දකිමිනි, ඇය පසුවන්නේ. මේ සියලු සිහින බොඳ කරදමන්නේ කහ උණ වසංගතය යි. වෙළෙන්දෝත්, ගොවියෝත් නගරය හැර යති. බරපතළ ආහාර අහේනියකින් නගර වැසියෝ පෙළෙති. ‘කැහැටු ටර්නිෆ් අලවලින් සහ බෝංචි කරල් කිහිපයකින් රසවත් කළ තම්බාපු අර්තාපල් තිබුණු රාත්‍රි ආහාරයක් රාජකීය භෝජනයක් වී ය’ යි මැටිල්ඩා කියයි.

කෝපි අවන්හලේ සේවිකාවක වන එලිසා ඉතා අවංක හා කාර්යශූර තරුණියකි. ඇය කුක් පවුල වෙනුවෙන් සිය ශ්‍රමය වැය කරන්නේ ඉතා පරිත්‍යාගශීලි ලෙසිනි. මැටිල්ඩාගේ අම්මා (ලුසිල්) බරපතළ ලෙස රෝගාතුර වූ විට ද ඇය ඔවුන් හැර නොගොස් ඔවුන් සමගින් රැඳී සිටී. කළු කබායක් ඇඳ, කුඩා වෙද පෙට්ටියක් රැගෙන එන කුඩා මිනිසකු වන වෛද්‍ය කර්ගේ නිගමනය වන්නේ සුවපත් වීම සඳහා රෝගිනියගේ ලේ ඉවත් කළ යුතු බව ය.

‘වෛද්‍ය කර් සිය බෑගයෙන් කුඩා සැත්කම් පිහියක් ඉවතට ගත්තේ ය. එය හිරු එළියෙහි දිලුණේ ය. ඔහු මට බේසමක් දී අම්මාගේ උරහිස අල්ලාගන්නැයි එලිසාට කීවේ ය. මම ක්ලාන්ත වීමි. ‘ඇගේ නාඩි වේගවත්, ඒ වගේ ම එය ඉක්මන්’ අම්මාගේ ඇඳුමෙහි අත තල්ලු කරමින් ඔහු කීවේ ය. ‘ඒ වසංගතය ඇගේ සිරුර ඇතුළෙ දැවෙනවා. අපි ඒක ඉවතට ගන්න ඕනෑ.’ සැත්කම් පිහිය දිලෙන විට හා ලෙය බේසමට එකතු වන විට මම හැකිළ ගියෙමි. පළමු බේසම පිරෙන විට වෛද්‍ය කර් දෙවැනි බේසම මා අතට දුන්නේ ය. (72 පිටුව)

දහඅටවන සියවස අගභාගයේදී වෛද්‍ය වෘත්තිය මේ අයුරින් ඉතා රළු තත්ත්වයක පැවැති අතර, වෛද්‍ය වෘත්තිකයෝ 80ක් පමණ ෆිලඩෙල්ෆියාවේ සිටියහ. ඒ සියල්ල පුහුණු වෛද්‍යවරු නොවූහ. කඳවුරු දෙකකට බෙදී සිටි ඔවුන්ගේ එක් පාර්ශ්වයක විශ්වාසය වුණේ රෝගීන්ගේ ශරීරවලින් රුධිරය ඉවත් කිරීම සමඟින් වසංගත රෝගය ද ඉවත්ව යනු ඇතැයි කියා ය. රෝග සුවයට අත්‍යවශ්‍ය වන්නේ විවේකය, නැවුම් වාතය හා හැකි තරම් දියර වර්ග පානය කිරීම බවට නිර්දේශ කරන ලද්දේ ප්‍රංස වෛද්‍යවරුන් විසිනි.

කහ උණ වසංගතය ෆිලඩෙල්ෆියාව අතැර යන්නේ තුහීනය පතිත වීමත් සමඟිනි. තුහීනය, කහ උණ පතුරුවන මදුරුවා නසා දමයි. කහ උණ වසංගතය හේතුවෙන් නන්නත්තාර වන මැටිල්ඩා කුක්ගේ පවුල යළි එක් වන්නේ ද ඉන් අනතුරුව ය. පවුල යැ යි කීව ද මැටිල්ඩාගේ සීයා, විලියම් කුක් ඒ වන විට සිටින්නේ මරුතුරුලෙහි ය.

මේ හමුවීමට පෙර දිනෙක හුදෙකලාව මහමඟ ඇවිද යමින් සිටියදී කැඩුණු බෝනික්කකු පයේ ගැටී වැටෙන්නට යන අවස්ථාවේ එය අහුලාගන්නා මැටිල්ඩාට ඉකිබිඳුම් හඬක් ශ්‍රවණය වෙයි. ඇඟිලි උරමින් හඬාවැටෙන කුඩා දැරියක දකින ඇය බෝනික්කා පෙන්වා මෙසේ අසයි:

‘මේක ඔයාගෙද?’ මම ඇසුවෙමි.

‘කැඩිලා’ ඈ කීවා ය.

‘ඔයාගෙ අම්මා තාත්තා ඉන්නව ද? සමහර විට ඒ ගොල්ලන්ට පුළුවන් වෙයි මේක හදන්න.’

‘අම්මා කැඩිලා’ ඈ කීවා ය.

ප්‍රවීණ ලේඛිකාවක වන සුමිත්‍රාගේ ඒ නිර්මාණාත්මක ශක්‍යතා පරිවර්තන කාර්යය සඳහා කොතරම් ප්‍රශස්ත දායකත්වයක් ලබාදෙන්නේ ද යන්න ‘දොර දොර කළුවර’ පැහැදිලි කරයි. මේ පරිවර්තන කාර්යයේදී පරිවර්තිකාව නිර්මාණාත්මක ලක්ෂණ කෙරෙහි සැලකිලිමත් වී ඇති ආකාරය විශද කරන සාක්ෂියක් වන්නේ ‘දොර දොර කළුවර’ යන යෙදුම යි. වචනාර්ථයෙන් ගත් කල 'Fever' යන්නට යෙදෙන්නේ ‘උණ’ හෝ ‘කැලඹීම’ වැන්නක් වෙතත් වෘත්තාන්තයේ සමුදයාර්ථය ගත් විට 'දොර දොර කළුවර' නාමයේ ඖචිත්‍යය හා කාව්‍යාත්මක බව ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු වෙයි.

Comments