අද හේතුවාදීන් කියන්නේ ආගම් විරෝධීන්ට | සිළුමිණ

අද හේතුවාදීන් කියන්නේ ආගම් විරෝධීන්ට

 ඔහු පුවත්පත් කලාවට පිවිසෙන්නේ යොවුන් වියේදී ම ය. 1982 වසරේ දී කුමරි, සරසි පුවත් පත්වල සේවය කරන ඔහු පසුකාලීන ව මාධ්‍යවේදියකු ලෙස වෙනස් ම මඟක් තෝරාගනී. දශක හතරකට ආසන්න කාලයක් මාධ්‍ය කේෂත්‍රයේ කටයුතු කරන තිලක් සේනාසිංහ නම් වන ඔහු අද වන විට කවුරුත් හඳුනන්නේ ජන විශ්වාස ගවේෂකයකු, ජන ශ්‍රැති පර්යේෂකයකු ලෙසිනි. තිලක් සේනාසිංහ පුවත්පත් කතුවරයකු, කවියකු, නවකතාකරුවකු වශයෙන් පමණක් නොව විවිධ විෂයන් අලළා පොත් පත් ගණනාවක් ලියා පළ කර ඇත්තේය. අග්නි චාමර, සුදු පරෙවි මල්, සසල විල තිලක් සේනාසිංහයන් විසින් ලියන ලද නවකතා වේ. ජනකාන්ත මිථ්‍යා මත, කෙම්මුර තැන්න, මනරංජන මිථ්‍යා කතා, අවතාර ලුහුබැඳ, සිංහල අවුරුද්දේ මායාව සහ යථාර්ථය , අද්භුත ලෝකය පියැවි ඇසින්, ඔහු විසින් ලියන ලද අනෙකුත් පොත් වේ. මාධ්‍ය කේෂත්‍රයේ දිර්ඝ කාලීන අත්දැකීම් ඇති තිලක් සේනාසිංහයන් විසින් ලියන ලද මනරංජන මිථ්‍යා කතා කෘතියේ යාවත්කාලීන සංස්කරණයක් පසුගියදා එළි දැක්විණි.

කලා පුවත්පත්වල, මෙන්ම කාන්තා පුවත් පතක කතුවරයකු ලෙස කටයුතු කරමින් සිටි තිලක් ජන විශ්වාස, මිථ්‍යා මත පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට වූයේ අහුන්ගල්ල ඛේදවාචකයත් සමඟ ය.

අපි පුවත්පත් කලාවට යොමු වූ කාලයේ මේ අද වගේ දිනපතා පුවත් පත් බොහෝමයක් තිබුණේ නැහැ. ඒ වගේම එදා විද්‍යුත් තාක්ෂණයත් අද තරම් දියුණු නැහැ. ඒ නිසා අද තිබෙන ක්‍රමයට වඩා එදා තිබු ක්‍රමය වෙනස්. එක් දහස් නවසිය අසූනවය අවුරුද්දේ අහුංගල්ලේදී මාරක දුම්රිය බස් රථ අනතුරක් සිදු වුණා. මේ පිළිබද පුවත්පත්වල විවිධ තොරතුරු කියැවුණා. ළමයි තිස් අට දෙනෙකු අනතුරින් මිය ගියා. මේ දරුවන්ට අපල තිබුණා , මාරක අපල තිබුණා ආදි වශයෙන් විවිධ තොරතුරු පළ වුණා. මට ෙජ්‍යා්තිෂ්‍ය පිළිබඳ උනන්දුවක් තිබුණා. ඒ නිසා මේ තොරතුරු දැක්කට පස්සේ ඒ ගැන සොයලා බලන්නත් ඇත්ත ද නැත්ත ද කියලා සොයලා බලන්න මට හිතුණා .මේ නිසා මම මිය ගිය දරුවන්ගෙ නිවෙස්වලට ගියා. මියගිය දරුවන්ගේ කේන්දර පිළිබඳ ඒ දරුවන්ගේ දෙමව්පියන්ට යම් අවබෝධයක් තිබුණා. මියගිය දරුවන් අතරින් හතර දෙනකුට සාමාන්‍ය අපල. තවත් හතර දෙනෙකුට මාරක අපල. අනිත් අයට කිසිම අපලයක් නැහැ. නමුත් මෙහි තිබෙන සත්‍යතාව කුමක්ද යන්න පිළිබඳ මම තව දුරටත් ගවේෂණය කරන්න ගත්තා.

මා කළ ගවේෂණයට අනුව කේන්දරයක අපල තිබූ අය ආසන්න වශයෙන් සියයට තිහයි. මාරක අපල තිබුණේ ආසන්න වශයෙන් සියයට පහළොවයි. නමුත් මියගිය දරුවන්ගෙන් සියයට හැත්තෑවක් ම මිය ගිහින් තිබු‍ණේ කිසිම අපලයක් නැතිව. ඉන් පසුව එදා මෙදාතුර මා මේ පිළිබඳ ගවේෂණය කරනවා. මම හිතනවා මාධ්‍යවේදියෙක් හැටියට මේ රටේ මිනිසුන්ට හරි පාර පෙන්වීමේ වගකීම අපට තිබෙනවා කියලා.

• ඔබ එහෙම කිව්වත් අද මේ රටේ මිනිස්සු දේව විශ්වාස, භූත විශ්වාස වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හඳහන් විශ්වාස කිරීම්වලින් පෙරමුණ ගෙන සිටින්නේ. එහෙම සමාජයක ඔබ වැනි අයට ඉඩත් තිබෙනවා ද?

ඇත්ත . මේ සමාජය අද උඩු යටිකුරු වෙලා තියෙන්නේ . මේ පවතින සමාජ ක්‍රමයත් සමඟ මිනිස්සු නොපෙනෙන බලවේගවලින් පිහිටක් පතන කාලයක් මේක. ඒ අතරම මිනිසුන්ගේ අනුවණකම්වලින් ‍ප්‍රයෝජන ගන්න; මිනිසුන් කඩා වඩා ගන්න වෙනම පිරිසක් ලක ලැස්තිවී ඉන්නවා. අද වන විට ගවේෂණාත්මක පුවත්පත් කලාවේ ලොකු අඩුවක් තිබෙනවා. සමාජයේ සිදුවෙන සිදුකැරෙන මිථ්‍යා දේවල් පිළිබඳ ගවේෂණාත්මකව තොරතුරු සොයා බලා කරන හෙළිදරව්වක් නැති තරම්. සමාජය මේ වැරදි දේවල් පිළිබඳ දැනුවත් වී නැහැ. මීට කලකට“පෙර ඔළු නැති සමාජයේ බුදු බව පතන දොළුකන්දේ හාමුදුරුවෝ” නමින් මම පුවත්පතකට ලිපියක් ලිව්වා. එවැනි දේ හෙළිදරව් කළාම එන තර්ජන ගර්ජන වැඩියි. ගුප්ත විද්‍යාවට ඇබ්බැහි වෙමින් මිනිසුන් සොයන්නේ මානසික රැකවරණය. මෙය බුදු දහමට විරුද්ධයි. ජ්‍යොතිෂ්‍ය කියන්නේ වෛදික සංකල්පයක්. බුදු දහම අවෛදිකයි. නමුත් අද ගිහි පැවිදි සියලු දෙනා මේ බොරුවට අහුවෙලා. ඔවුන් ඒ පස්සේ යනවා.

• යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් භූතයෝ හොල්මන් ආදි දේ පිළිබඳ ඔබ කලක් තිස්සේ ගවේෂණය කරනවා. ඒ ගැන පොත පත ලියනවා. ඔබ මෙයින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

මේ විෂය ගැන ගවේෂණය කරනවා කිව්වට මම මෙය ආවාට ගියා‍ට කරන්නේ නැහැ. මේ සම්බන්ධව ලියැවුණ පොත පත ගවේෂණය කරනවා. ඒ ගැන තොරතුරු සොයනවා .කියවනවා. ඒ වගේම ස්ථානීය ගවේෂණය කරනවා. මේ දේවල් කිරීමේදී විධිමත් ගවේෂණ ක්‍රමයක් තියෙනවා. විද්‍යාත්මක ක්‍රමයක් තිබෙනවා. දවසින් දෙකින් මේ දේවල් සොයා ඉවර කරන්න බැහැ. කාලයක් ගතවෙනවා. අපේ අතීතයේ තිබුණ බලි තොවිල් යාතු කර්ම වල තරමක් දුරට සාධනීය ලක්ෂණ තියෙනවා මෙවැනි ගවේෂණ කරමින් තොරතුරු සොයා යමින් ඒවා නැවත නැවත විශ්ලේෂණය කරමින් පොත පත ලියන්නේ; ලිපි ලියන්නේ වැරදි මතවලින් ජනතාව මුදවා ගැනීමටයි. නමුත් බිම්මලක් මතුවන විට එහි මුදුනේ පස් ටිකක් තියෙනවා වගේ තමයි, වැඩි කොටසක් අය ඉපදෙන කොටම ඒ අයගේ ගුප්ත විශ්වාස තියෙනවා. මේවා ඉවත් කිරීම පහසු නැහැ. එකල මේ දේවලින් කෙරුණේ මනස සුවපත් කිරීමක්. නමුත් අද වන විට මේ දේවල් වලින් කෙරෙන්නේ මිනිසුන් සූරා කෑමක්. අද මේ සියල්ල ජාවාරම් බවට පත් වෙලා.

• අවුරුදු ගණන් වෙහෙස වෙමින් තොරතුරු සොයමින් ඔබ ලියන මේ පොත පතට අද සමාජයේ තිබෙන්නේ මොන වගේ තැනක් ද?

මම ලියන දේ කියවන පාඨක පිරිසක් ඉන්නවා. නිතර මේ ගැන විමසිලිමත් වෙන තොරතුරු සොයන පිරිසක් ඉන්නවා. නමුත් වෙනත් රටවල මෙවැනි කෘති වෙනම සාහිත්‍යයක්. නමුත් අපේ රටේ එහෙම එකක් නැහැ. අඩුම තරමේ මේ පොත් සඳහා වෙනම රාක්කයක්වත් නැහැ. මෙවැනි පොත් කොහේ හෝ අස්සක තිබෙන්නේ. සමාජ විද්‍යාව කියන එක පුළුල් මාතෘකාවක්. අප මේ ලියන පොතපත වෙනම සාහිත්‍යයක් නමුත් අපේ රට තුළ එයට විශේෂත්වයක් නොතිබීම කනගාටුවක්.

• ඔබ නැකැත් පිළිගන්නේ නැහැ. ඔබ යන්ත්‍ර මන්ත්‍ර පිළි ගන්නේ නැහැ. මේ පිළිබඳ තොරතුරු සොයමින් මෙහි ඇති මිථ්‍යාව ගැනයි හැම විටම ලියන්නේ. ඔබ හේතුවාදියෙක් ද?

හේතුවාදය කියන එකේ තේරුම එන්නේ යමක් කරුණු කාරණා අනුව විමසා බැලීම. නමුත් අද හේතුවාදියා කියන්නේ ආගම් විරෝධීන්ට. මම මේ විදිහට කියන්නම්; බුදු දහමට මුල් අවධියේ කිසිදු ආගමික ලක්ෂණයක් තිබුණේ නැහැ. අනේපිඬු සිටුතුමා ජෛන ආගමටත් අනුග්‍රහ දැක්වූ කෙනෙක්. අශෝක රජතුමා සියලු ආගම්වල උතුම් ලක්ෂණ පිළිගත යුතුයි කියූ කෙනෙක්. ඒ තුළින් තමයි ඔහු බෞද්ධයකු වෙන්නේ. මම නිදහස් චින්තනය අගය කරන්නෙක්. අද අපි මේ රටේ සංවර්ධනය ගැන කතා කරනවා. නමුත් අපි හැමදාමත් එක තැන. මිනිසුන් ආකල්පවලින් සංවර්ධනය විය යුතුයි. උදේ පටන් ගත්ත වෙලේ සිට විද්‍යුත් මාධ්‍යයෙන් රටට ම මොනවද කියන්නේ. මේ වෙලාවල් වලට වැඩ කරන්න එපා කියලා. ගුප්ත, මිථ්‍යා මතවලින් අප මිදෙන්න ඕන. එහෙම නැති වුණොත් අප හැමදාම එක තැන. මෙන්න මේ දේවල් කතා කිරීම නිවැරදි දේ පෙන්වා දීම පමණයි මා කරන්නේ.

• දශක හතරකට ආසන්න කාලයක් මාධ්‍ය කේෂත්‍රයේ රැ‍ෙඳමින් මිථ්‍යාව, පිළිබඳ තොරතුරු සොයමින් ගවේෂණය කරමින් කළ කාර්යයේ දී සමාජය තුළ ඔබ දකින ප්‍රගතියක් තියෙනවද ?

අපට එකපාරටම මිනිසුන් වෙනස් කරන්න බැහැ. බලෙන් වෙනස් කරන්නත් බැහැ. නමුත් මම ලියූ පොත පත කියවීමෙන් ඒ සම්බන්ධව කතා කරන පාඨකයන් දක්වන ප්‍රතිචාරවලින් මට දැනෙනවා යම් මෙහෙයක් මේ සමාජයට කරන්නට මට පුළුවන් වුණ බව. අවුරුදු ගණන් කාලය වැය කරමින් තොරතුරු සොයමින් පොතක් ලිවීමෙන් පසුව ලබන සතුට ‍මෙපමණයි කියන්නට බැහැ. මම මේ කරන කර්තව්‍යයේ සාර්ථක අසාර්ථක බව තීරණය කරන්නේ පාඨකයෝ.

Comments