
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය උදාවීමට තවදින කිහිපයයි තිබෙන්නේ. ඒත් දැනටමත් මුළු රටම උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් හමාරයි. බක්මාසය එළඹෙනවාත් සමඟම මුළු රටම පාහේ අලුත් අවුරුද්ද සඳහා සූදානම් වන අයුරු අපිට දිස් වේ. අලුත් අවුරුදු උත්සවය කියන්නේ අපේ රටේ ඉතා ඉහළින්ම සමරන උත්සවයක්. බාල මහලු සියලුම දෙනා සතුටින් මේ දින කිහිපයේදී කාලය ගත කරනවා. පසුගිය වසරේ අලුත් අවුරුද්දේ ලෝකයේ තිබෙන තරමක් වෙනස් වූ උත්සවයන් කිහිපයක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන ආවා. ඒ ලෙසින්ම අදත් මෙම පිටුව මඟින් ලෝකයේ තිබෙන අසාමාන්‍ය සාම්ප්‍රදායික උත්සව කිහිපයක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එනවා.
වඳුරන්ගේ බුෆේ එක
අපි වෙසක් දිනයේදී දන්සල් දෙනවා වගේ උත්සවයක් තායිලන්තයේ තිබෙනවා. හැබැයි මෙම උත්සවයේ විශේෂත්වය වන්නේ මෙහි ආහාර ගැනීමට හැකියාව තිබෙන්නේ වඳුරන්ට පමණක් වීමයි. වඳුරන් හට බුෆේ ක්‍රමයට ඇතිවන තුරු ආහාර ලබාදෙන ලෝකයේ එකම උත්සවය වන්නේ මෙම උත්සවයයි. සෑම වසරකම නොවැම්බර් මස 25 වැනිදා මෙම උත්සවට පවත්වනු ලබයි. පළමුවතාවට 1989 වසරේදී ආරම්භ කර තිබෙන මෙම උත්සවය එතැන් පටන් මේ වනතුරු නොකඩවා පවත්වනු ලබනවා. වඳුරන් විසින් සෞභාග්‍යය ලබා දෙන බව තායිලන්ත වැසියන් විශ්වාස කිරීම නිසා මෙම උත්සවය සෑම වසරකම ඉතා ඉහළින් සැමරීමට හැකියාව ලැබී තිබෙනවා. එදිනට කිලෝග්‍රෑම් 4000 කට අධික ආහාර ප්‍රමාණයක් වඳුරන් වෙත ලබා දෙන අතර සමහර කුඩා දරුවන් එදිනට වඳුරන් මෙන් ඇඳුම්වලින් සැරසී සිටින අයුරුද දක්නට ලැබෙනවා. දසවැනි සියවසෙහි පැරැණි හින්දු දේවස්ථානයක් වන ‘Lop Buri’ නම් ස්ථානය තමයි දස දහසක් පමණ වූ මෙම වඳුරු රංචුව සඳහා නවාතැන වන්නේ.
භයානකම උත්සවය ඔන්බශිරා
ඔන්බශිරා (Onbashira) උත්සවය යනු ජපානයේ තිබෙන පැරණිතම උත්සව වලින් එකක්. සෑම වසර 6කට වරක් නගානෝ ප්‍රදේශයේ සුවා විල අසළ පැවැත්වෙන මෙම උත්සවය පිළිබඳව තොරතුරු වසර 1200ක් පමණ ඈත අතීතයක සිට සඳහන් වනවා. සුවා ප්‍රධාන දේවස්ථානයේ තිබෙන දේවස්ථාන 4ක් නැවත ගොඩනැගීම සංෙක්තවත් කිරීමට විශාල දේවදාර ගස් 16ක් කපා ඒවා එකින් එක ටැඹක් මෙන් සාදා (එවිට මෙම විශාල දැව කණු වලට ගෞරවයට ලක්වූ ටැඹ හෙවත් ඔන්බශිරා නමින් හඳුන්වනු ලබනවා) කන්ද මුදුනේ සිට පාමුලට රැගෙන එනු ලබනවා. ඉන්පසුව මේවා දේවස්ථානයේ සතර කොනේ සවිකර ඔසවා තබනවා. මෙම විශාල දැව කොටන් කන්දේ පහළට රැගෙන එන විට එය උඩට නැගී කන්ද පාමුලට මිනිසුන් පැමිණීම මෙම උත්සවයේ විශේෂ අංගයක්. මේ නිසාම විශාල පිරිසක් තුවාල ලබන අතර ඔන්බශිරා උත්සවය ජපානයේ තිබෙන භයානකම උත්සවය වන්නෙත් මේ හේතුව නිසාමයි.
ස්පාඤ්ඤයේ කැස්කැමොරා
ස්පාඤ්ඤයේ පැවැත්වෙන ‘Cascamorra’ උත්සවය සෑම වසරකම 20000ක් පමණ වූ දෙනාගේ සහභාගිත්වය මැද සැප්තැම්බර් මසදී Baza හා Gaudix යන නගර දෙකෙහිදී පවත්වනු ලබනවා. මධ්‍යතන යුගයේදී කම්කරුවකුට පොළවේ තිබී හමුවූ මරිය මාතාවගේ පිළිමයක් නිසා මෙම නගර දෙකෙහි වැසියන් විරසක වී ඇති අතර අවසානයේ දී එම පිළිමය Baza හි දේවස්ථානයක් සාදා එහි තැන්පත් කර තිබෙනවා. එම සිදුවීම සංකේතවත් කිරීමට මෙම උත්සවය සෑම වසරකම සැප්තැම්බරයේ 6 වැනි දින බාසා නගරයේ හා 9 වැනි දින ගෝඩික්ස් නගරයේදී පැවැත්වෙනවා. මෙම උත්සවය සමරන ආකාරය නම් හරිම අපූරුයි. Cascamorra නමින් හඳුන්වනු ලබන්නේ විශේෂ ඇඳුම් වලින් සැරසුණු පුද්ගලයෙක්, මොහු විසින් බාසා නගරයේ වීදි පුරා දුවන්නේ අර පිළිමය ලබාගෙන නැවතත් ඔහුගේ නගරය වන ගෝඩික්ස් වෙත යාමටයි. නමුත් මෙහි එක කොන්දේසියක් තිබෙනවා ඒ තමයි පිළිමය වෙත එම පුද්ගලයා ළඟා විය යුත්තේ නොකිළිටිවයි. එනම් කුණු දූවිලි වලින් තොරව පිරිසිදු ලෙසයි. මෙය සිදුවීම වැළැක්වීමට බාසා නගරයේ වැසියන් කළු පැහැති ඔලිව් තෙල් වලින් මුළු ශරීරයම නහවාගෙන සිටින්නේ cascamorra හෝ ඔහුව ආරක්ෂා කරන්නට පැමිණ සිටින පුද්ගලයන්ගේ ශරීරයේ ඇතිල්ලීමටයි.
එලෙස ඔවුන්ව කළු පැහැ ඔලිව් තෙල් හා තීන්ත වලින් නහවා ඔවුන්ව අපිරිසුදු කරන්නේ ඔවුනට පිළිමය ලබා ගැනීමට නොහැකි ලෙසයි. පිළිමය නොමැතිව සැප්තැම්බර් 9 දින ගෝඩික්ස් වෙත ළඟා වන Cascamorra ඇතුළු පිරිසට හා පැමිණෙන ඕනෑම අයකුව තීන්ත වලින් නැහැවීමට බාසා වැසියන් සිටියාක් මෙන් ගෝඩික්ස් වැසියන්ද ඔලිව් තෙල් හා තීන්ත වලින් සැරසී සිටිනවා. මෙම උත්සවය පැවැත්වෙන අතරතුර විවිධ ස්ථාන වලදී විශාල ජල පහරවල් එල්ල වන අතර මෙය සඳහා සහභාගි නොවූ නගර වැසියන්ද වතුර බාල්දි වලින් තමා අසළින් දිව යන තීන්ත වලින් වැසුණු පුද්ගලයින්ට සංග්‍රහ කරන අයුරු දක්නට ලැබෙනවා. මෙසේ නගරය පුරා දිව යාම සැප්තැම්බර් 9 වැනි දින රාත්‍රි 9ට එම නගරයේ දේවස්ථානය ඉදිරිපිටදී අවසන් වනවා.