‍ඩොලර් මිලි­යන ගණන් කැන්දන ගෘහස්ථ මල් ව­ගාව | Page 2 | සිළුමිණ

‍ඩොලර් මිලි­යන ගණන් කැන්දන ගෘහස්ථ මල් ව­ගාව

 

ග්‍රාමීය කෘෂි කාර්මික සංවර්ධනයේ උදෙසා මල් වගාවෙන් සිදුවන්නේ ඉමහත් දායකත්වයකි. මේ නිසා අද බොහෝ කාන්තාවෝ අතමිට සරු කරගනීම උදෙසා මල් වගා කරති. එමෙන්ම ආර්ථික වශයෙන් වැඩි ඵලදායීතාවක් ලබාගෑනීම උදෙසා මල් අපනයනය කිරීමට ද දායක වී ඇත. මේ නිසාම අද මල් වගාව විදේශ විනිමය ඉපයීමේ වාණිජමය කර්මාන්තයක් බවට පරිවර්තනය වී තිබේ. එබැවින් රැකියා උත්පාදන සහ ආදායම් ඉපයීමේ මාර්ගයක් ලෙස මෙම අංශය තව දුරටත් ලංකාව තුළ සංවර්ධනය කළ යුතුව ඇත.

‍ශ්‍රී ලංකාවේ මල් වගා කර්මාන්තය පිළිබඳව වසර 40කට අධික කාලයක් පුරා කැප වී කටයුතු කරන ලද්දේ ජාතික උද්භිත උද්‍යානයයි.

1970 දශකයේ බටහිර ජර්මන් රජයේ අනුග්‍රහය යටතේ මල් වගා ව්‍යාපාරයට වාණිජමය පදනමක් සැපයිණි. 1980 දශකය පමණ වන විට පැමිණි විවෘත ආර්ථිකයේ උණුසුමත් සමඟ මල් වගාව හා ඒ ආශ්‍රිත නිෂ්පාදන රට තුළට ගලා ඒමත් ඒ ආශ්‍රිත රට පුරා ස්වයං රැකියාවල වර්ධනයත් මෙන්ම විදේශ විනිමය ඉපයීමේ උපාය මාර්ගයක් ලෙසට ද මල් වගාව සංවර්ධනය වන්නට විය.

මෑත කාලීනව ලොව පුරා මල් වගා කර්මාන්තය වාර්ෂිකව සියයට හයක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි. මල් වගාකරුවන් අතර ප්‍රබලතම රටවල් යුරෝපා රටවල් වන අතර වන අතර ඔවුහු ඩොලර් බිලියන 10 ක පමණ අගයකින් සමලංකෘත වූ ලොව විශාලතම මල් නිෂ්පාදකයා සහ අලෙවිකරුවා විය. අප්‍රිකානු මහාද්වීපය තුළ වුව ද ප්‍රශස්ත පාරිසරික තත්ත්වයන් නොමැති අවධානම් සහගත තත්ත්වයක වුවද පැහැදිලි වර්ධනයක් සහිතව මල් වගා කරති.

ලෝක වෙ‍ෙළඳාමෙන් 50% ක දායකත්වයක් කැපූ මල් වලින් සපයන අතර මල් පැළ 41% ප්‍රතිශතමය

දායකත්වයක් සපයයි. මීට අමතරව බල්බ සඳහා 9%ක්ද විසිතුරු පැළ සඳහා 9% ක්ද දායකත්වයක් සපයනු ලැ‍බේ. මේවා ආනයනය කරනු ලබන රටවල් ලෙස ජර්මනිය (22%), ඇමරිකා එක්සත් ජනපදය (15%), ප්‍රංසය (10%) එක්සත් රාජධ­ානිය (10%) නෙදර්ලන්තය (9%) හඳුන්වාදිය හැකි අතර අද වන විට නෙදර්ලන්තය 50% ක බලයක් අත්පත් කරගෙන තිබේ. නෙදර්ලන්තය තම රටේ පමණක් නොව අන් රටවල් වල මල් වර්ග විසිතුරු පැළ වර්ග ආනයනය කොට නැවත ඒවා ප්‍රති අපනයනය කරනු ලබයි.

එහෙත් ලංකාවේ මෙම තත්ත්වය හාත්පසින්ම උඩු යටිකුරු ස්වරූපයක් ගනී. ලංකාවේ මල් අපනයනය මේ වන විට 1% ටත් වඩා අඩු මට්ටමක පවතී. නමුත් ලෝකයේ ඕනෑම රටක වවන මල් වර්ග ලංකාවේ දේශගුණික තත්ත්වයන් යටතේ වගා කළ හැකි බව අද වන විට සොයා ගෙන ඇති බව ඇමති දයා ගමගේ මහතා පසුගියදා මල් වගා හා විසිතුරු පැළ ආර්ථිකයක් උදෙසා පැවති වැඩමුළුවකදී ප්‍රකාශ කළේය.

ලෝකයේ ඕනෑම මල් වර්ගයක් වගා කිරීමට තරම් සරු පසක් ලංකාවේ පැවතියදී පෙම්වතුන්ගේ දිනය, මව්වරුන්ගේ දිනය වැනි අවස්ථාවන්ට අවශ්‍ය රෝස වැනි විසිතුරු මල් වර්ග වැඩි වශයෙන් ආනයනය කරනු ලබයි. නෙදර්ලන්තයට වඩා සශ්‍රීක ඉහළ භූමි ප්‍රමාණයක් පවතින රටක තම රටට අවශ්‍ය මල් ප්‍රමාණය පවා ආනයනය කිරීමට සිදු වීම කණගාටුවට කරුණකි.

එවන් වට පිටාවක් තුළ යුරෝපයට අවශ්‍ය මල් වලින් බහුතරයක මල් ඉල්ලුමක් සැපයීමට තරම් ප්‍රමාණවත් වන රටක් තවත් නැති තරම්ය. තත්ත්වය ඒ ආකාරයෙන් පැවතිය යුතු නම් කළ යුත්තේ ලංකාවේ දැනට සිටින මල් වගා කරුවන් දිරිමත් කරමිනුත්, අදාළ ක්ෂේත්‍රය පිළිබඳව ඇල්මක් පවතින්නන්ට අත හිත දීමත්ය. එමෙන්ම දියුණුවන ලෝකයේ උසස්ම තාක්ෂණය පවතින ඊශ්‍රායලය වැනි රටවල තාක්ෂණය අප රටටද ඈඳා ගත යුතුය.

හරිතාගාර තාක්ෂණ ලංකාවට හඳුන්වා දීමෙනුත් අඩු ශ්‍රමිකයන් ප්‍රමාණයකින් ඵලදායී ප්‍රතිඵල නෙළීමට තරම් උපාය මාර්ග යොදා ගැනීම ඉතා කඩිනමින් සිදු කළ යුතුය. එහිදී මල් පැළ, විසිතුරු පැළ, මල් බෝ කර ගැනීම සඳහා මෙන්ම පැළ බෝ කර ගැනීම සඳහා ජල සැපයුම ආදී සියල්ල කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

මේ වන විට මල් නිෂ්පාදන භාවිතයේ වර්ධනයක් අප රට තුළ ඇතිවී ඇති බව පසුගිය වසර කිහිපය තුළ ආනයනය කරන ලද මල් පිළිබඳව සැලකීමේදී අනාවරණය වේ.

ආනයනය වැඩි වීම යනු රටේ දේශීය වෙ‍ෙළඳපළ තුළ පෙන්වන සුභදායී වර්ධනයක් වන අතර මල් වගාකරුවන් සැක කළ යුතු නොවේ. මන්ද දේශීය වෙළඳපොළ තුළ ද මල් සඳහා සැපයුම ඉක්මවා යන ඉල්ලුමක් මේ වන විට පැවතීම ඊට හේතුවයි. එමෙන්ම මල් වගාව පිළිබඳව ඉගනීමට බහුතරයක් තුළ ඇති උද්යෝගය නව මල් වගාකරුවන් ආරම්භවීමට පෙර ලකුණු පෙන්වයි. මෙම ප්‍රවණතාව මල් ආශ්‍රත නිෂ්පාදන ඉහළ යාම පෙන්නුම් කෙරෙන අතර ක්‍ෂේත්‍රයේ පැතිරී යෑමක් ද පෙන්නුම් කෙරේ.

එබැවින් මේ මොහොතේ වඩාත් වැදගත් කාර්යයක් වන්නේ මල් නිෂ්පාදනය සඳහා වන වත්මන් දේශීය ඉල්ලුම සපුරාලනු පිණිස මෙන්ම පවතින ජාත්‍යන්තර වෙළඳ පංගුව වැඩි කර ගැනීම සඳහා අනාගත සැලසුම් සැකසීම සහ නව ප්‍රවේශයක් ලබා ගැනීම තුළින් රටට අවශ්‍ය විදේශ විනිමය වැඩි කර ගැනීමයි.

ඒ සඳහා අවශ්‍ය උපරිම සහය ලබා දෙන බවට පසුගියදා සුහුරුපායේදී පැවති උත්සවයකදී ඇමති දයා ගමගේ මහතා පොරොන්දු වීම ද මල් වගාවට හොඳ කලක් ගත වීම පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් ලෙස සලකමි. 

 

Comments

පිටු