උප­න්දින තෑග්ගට කිඹු­ලන් සමඟ පිහිනූ ක්‍රිස් | සිළුමිණ

උප­න්දින තෑග්ගට කිඹු­ලන් සමඟ පිහිනූ ක්‍රිස්

අලුත් අවුරුද්දේ නෑගම් ගිහින් තෑගි බෝග එහෙම ගොඩක් ලැබිලා සතුටින් ඉන්න අයට කියවන්න අපූරු තෑග්ගක් ගැන පුවතක් අද අරගෙන ආවා. උපන්දිනයකට හෝ කුමක් හෝ විශේෂ අවස්ථාවකදී තෑගි බෝග ලබාදීමට අපි හුරු වී තිබෙනවා. වර්තමානයේ නම් දරුවන්ගේ උපන්දින වලට ඔවුනට දෙමව්පියන් විසින් තෑගි දෙන්නේ ස්මාර්ට් දුරකතන හා ලැප්ටොප් පරිගණක වැනි දේවල්. ඒත් 14 හැවිරිදි ක්‍රිස් හැමිල්ටන් ඔහුගේ පියාගෙන් ඉල්ලා තිබෙන්නේ අරුම පුදුම තෑග්ගක්.

ඒ තමයි ඔහුගේ උපන්දිනයට කිඹුලන් සමඟ පිහිනීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි. ඒ අනුව ඔහුගේ ආශාව ඉටු කිරීමට ලන්ඩනයේ සිට කියුබාව වෙත ගමන් කර තිබෙන අතර කියුබාවේ Jardines de La Reina නම් ප්‍රදේශයේ කඩොලාන සහිත ලවණ ජලයෙන් යටවී තිබෙන අලංකාර පෙදෙසක මෙම ත්‍රාසජනක අත්දැකීමට මුහුණදී තිබේ.

ක්‍රිස් කිඹුලන් සමඟ මුහුණට මුහුණ පිහිනා තිබෙන අතර මෙම ක්‍රියාවෙහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ක්‍රිස්ගේ පියා වන පිලිප් හැමිල්ටන් වෙතයි. ලන්ඩනයේ ජීවත්වන 49 හැවිරිදි පිලිප් වෘත්තීයෙන් දිය යට ඡායාරූප ශිල්පියකු හා පරිසරවේදියකු වනවා.

පිලිප් පවසන ආකාරයට කිඹුලන් සමඟ පිහිනීමට ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි සෑම විටම කිඹුලන්ට මුහුණලා පිහිනීම හා සෑම විටම ඔවුන්ගේ චලනයන් හා ක්‍රියාවන් වෙත අවධානයෙන් සිටීම.

ක්‍රිස්ට පෙර ඔහුගේ පියා වන පිලිප් දියට බැස තිබෙන අතර එවිටම අවට ජලය බොර පැහැ වී තිබේ. නමුත් වාසනාවට කිඹුලන් ඔහුට පහරදීමට උත්සාහ දරා නොමැති අතර ක්‍රම ක්‍රමයෙන් ජලය නැවතත් පැහැදිලි වන විට පිලිප් හට කිඹුලන් දෙදෙනකු දිස් වී තිබේ. එතැන් පටන් ඔහුට හා පුත්‍රයාට කිඹුලන් සමඟ විනෝදයෙන් පිහිනීමට හැකියාව ලැබී තිබේ.

පැය භාගයක් පමණ මෙසේ පිහිනන විට එම ස්ථානයට තවත් කිඹුලන් කිහිප දෙනකු පැමිණ ඇති අතර ඒ අතර සිටි සමහර කිඹුලන් අඩි 14කටත් වඩා දිගින් වැඩි බව පිලිප් පවසනවා.

කිඹුලන් ගණන වැඩි වූ විට ඔවුන් වෙත ඇස ගසාගෙන සිටීමට අපහසු නිසා පිලිප් හා ක්‍රිස් ඔවුන්ගේ වික්‍රමය එතැනින් නතර කිරීමට තීරණය කර තිබෙනවා. පිලිප් වැඩිදුරටත් පවසා සිටින්නේ ජලයේ සිටින පුද්ගලයන් කරදරයක සිටින මෙන් හෝ අපරික්ෂාකාරී ලෙසින් සිටින විට කිඹුලන් ඔවුන් වෙත පහර දෙන බවයි.

ක්‍රිස් පවසා සිටින්නේ කිඹුලන් සමඟ පිහිනීම ඔහුගේ ජීවිතයේ ලද හොඳම අත්දැකීම බවයි. ඒත් ඔහුගේ ඊළඟ උපන්දිනයට බිහිසුණු දැවැන්ත සුදු මෝරුන් සමඟ හෝ හිම වලසුන් සමඟ පිහීනමට ආශා බව ඔහු තව දුරටත් සඳහන් කර තිබෙනවා. ඔහුගේ පියා එම අත්දැකීම ක්‍රිස් වෙත ලබා දීමට සූදානම් නිසා නැවතත් ලබන වසරේදී මොවුන් දෙපලගේ තවත් ත්‍රාසජනක අත්දැකීමක් ඔබ වෙත ගෙන ඒමට රසඳුනත් සූදානමින් සිටිනවා. 

 

Comments