තරු තොරතුරු | Page 2 | සිළුමිණ

තරු තොරතුරු

 'පහ සමත්' වෙන්නට සුදානම් සිවා

නවතම ආරක ළමා චිත්‍රපටයකින් ප්‍රවීණ අධ්‍යක්ෂක ජයප්‍රකාශ් සිවගුරුනාදන් සිනමා ප්‍රේක්ෂකයන් අතරට එන්නට සූදානම් වෙනවා. මේ චිත්‍රපටය නම් කර තිබෙන්නේ '5 සමත්' යනුවෙන් . පසුගියදා මෙයට දායක වන සියල්ලන්ගේම සහභාගීත්වයෙන් චිත්‍රපටයේ සමාරම්භක උළෙල පැවැත් වුණා. මෙම චිත්‍රපටයේ කතාව හා දෙබස් තිර රචනයෙන් රසිකසුරවීරආරච්චි, කැමරාකරණයෙන් තුසිත අනුරාධ,සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේ, කලා අධ්‍යක්ෂණයෙන් මනෝජ් වික්‍රමසිංහ, වේශ නිරූපණයෙන් රුචිර සංජීව,නිෂ්පාදන කළමණාකරණයෙන් ශ්‍රී ලාල් වික්‍රමසිංහ ද එක්වෙනවා. එලෙසම මෙයට අයිරාංගනී සේරසිංහ, දිල්හානි අශෝක මාලා,ගිරිරාජ් කෞෂල්‍ය, ප්‍රියන්ත සෙනෙවිරත්න, ශාම් ප්‍රනාන්දු, සේමිණී ඉද්දමල්ගොඩ වැනි ප්‍රවීණයින් රැසක් රංගනයෙන් දායක වෙනවා.

 


ශිහාන්ට දැන් සුවයි

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පීයකු වූ ශිහාන් මිහිරංගට ඩෙංගු උණ වැළැදී වත්තල පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව අපිට දැන ගන්නට ලැබුණා. එය ඔහුට ආදරය කරන රසිකයනට බොහොම දුක්මුසු පුවතක් වුණා. මේ නිසාම දෝ මේ ගැන බොහෝ දෙනෙක් විමසන්නට වුණා. කොහොම වුණත් ශිහාන් ගේ තොරතුරු සොයා බලන්නට අපි ඔහුගේ ආදරණීය බිරිය ගෙෂ්නිට කතා කළා.

' නොහිතපු විදිහට ශිහාන්ට උණ රෝගය හට ගත්තා. එය අඩු නොවූ නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා. මුල දී සැක කළේ වෛරස් උණක් කියලා. නමුත් වෛද්‍ය පරීක්ෂණවලින් ඩෙංගු බව දැන ගන්නට ලැබුණා. මුල් දින කිහිපයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවත් දැන්නම් ශිහාන්ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතිනවා. බොහෝ විට අද හෙටම ඔහුට රෝහලෙන් පිටවිය හැකි වේවි. ඒ වගේම මේ ගෙවී යන අවුරුදු කාලයේ වැඩි වශයෙන් ප්‍රසංගවලට ආරාධනා ලැබුණා. නමුත් ඒවා බොහොමයක් ‍ශෙහාන්ට උණ ගැනීමත් සමඟ අවලංගු කරන්න සිදුවුණා. එනිසා තමයි ශිහාන්ට ඩෙංගු කියලා රටේ අස්සක් මුල්ලක් නෑරම පැතිරී ගියේ. ශිහාන්ට තව දුරටත් විවේකය අවශ්‍යයි. වෙහෙසෙන්න හොඳ නැහැ. එනිසා ඒ කටයුතු වෙනුවෙන් තමයි මුලිකත්වය දෙන්නේ. හොඳටම සුව වූ පසු සුපුරුදු ලෙස ඔහු නැවතත් රසිකයන් අතරට පැමිණේවි.


සංගීත්ගෙන් සංගීතයට නවතාවයක්

සංගීත් වික්‍රමසිංහ කිව්වම කවුරුත් ඔහුව හොඳින්ම හඳුනනවා. ලංකාවේ සිටින ප්‍රවීණ සංගීතඥයෙක් තමයි ඔහු. සංගීත්ගේ පුතා සනුක වික්‍රමසිංහත් දැන් කලා ලොවේ ජනප්‍රියම තරුවක්. මේ පිය පුතු දෙදෙනා ගැන මේ දවස්වල කවුරුත් කතා කරන්නේ සියපත් අරම ටෙලි නාට්‍යය නිසයි. මේ විශේෂත්වය ගැන සංගීත්ගෙන්ම අපි විමසා බැලුවා. ' අජිත් ජයවර්ධන අධ්‍යක්ෂණය කරන සියපත් අරම ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය මගේ. මෙහි තේමා ගීතය ගායනා කරන්නේ නන්දා මාලිනිය සමඟ මගේ පුත් සනුක වික්‍රමසිංහ.මේ ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය විශේෂ දෙයක් වුණා. මොකද මෙයට අපි යොදා ගත්තේ චිත්‍රපට සංගිතය උදෙසා නව්‍ය තාක්ෂණය ඔස්සේ භාවිතා කරන නවතම සංගීත භාණ්ඩ.ඒ වගේම චිත්‍රපට සඳහාත් නවතම සංගීත තාක්ෂණය ලබා දෙන්න අපි සූදානම්. මේ සඳහා ලංකාවේ සිටින ප්‍රවීණ කීබෝඩ් වාදන ශිල්පියෙක් වන සුගත් අසංකත් මා සමඟ එකතු වෙනවා. ප්‍රවීණ අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකුගේම නිර්මාණවලට මේ දිනවල අපි දායක වෙනවා.


කැමරාවෙන් ගායනයට

කැමරා අධ්‍යක්ෂණයෙන් ඉදිරියටම ගිය මහේෂ් කරුණාරත්න ගායකයෙක් විදිහටත් රසිකයන් අතර කතාබහට ලක් වෙන්නට වාසනාවන්ත වූ තරුවක් බවට පත්වෙලා කියලා අපිට දැන ගන්නට ලැබුණා. චිත්‍රපට කිහිපයකම කැමරා අධ්‍යක්ෂණය සිදු කළ මේ යොවුන් ශිල්පියා හා හා පුරා කියලා ගායකයෙක් විදිහට කරලියට ආ පුවත ගැන අපිත් එක්ක කතා බහ කළා.

'මාව ක්ෂේත්‍රයේ හුඟ දෙනෙක් හඳුනන්නේ කැමරා අධ්‍යක්ෂවරයෙක් විදිහට. ආර්.එස් වීඩියෝ ආයතනයේකැමරාකරණය පිළිබඳව වසර 10 ක පමණ අත්දැකිම් මත තමයි කලා කටයුතුවලට දායක වන්නේ. පළමුව උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළා. එය සාර්ථක වුණා. ඉන්පසුව පෝරිසාදයා, ෆේස් ටු ෆේස් චිත්‍රපටවලටත් මම දායක වුණා. මේ වන විට රීලෝඩ් නවතම චිත්‍රපටයටත් කැමරා අධයක්ෂණයෙන් දායක වෙනවා. ඒ අතර මම පුංචි කාළෙ ඉඳලම ගීත කලාවට හරි ආසයි. එනිසාම මීට වසර කිහිපයකට ප්‍රථම මා විසින්ම පදරචනය කරලා සංගීතය මුසු කරලා මා විසින්ම ගායනා කරලා නිර්මාණය කරපු ගීතයක් සඳහා රූපරචනා කරලා රසිකයන් අතට පත් කළා. ඒ තමයි 'හිනාවෙන්න රත්තරනේ හීන පුරෝගෙන ඇවිදින්... මගෙ හීනේ හැමදාමත් රැදෙන්නෙ ඔබෙ රුව පමණයි...මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රූපවාහිනී නාලිකා ගණනාවකම ප්‍රචාරය වුණා. දැන් මට ගීත ප්‍රසංගවලට පවා ආරාධනා ලැබෙනවා. හරි සතුටක් දැනෙවා.


නිරූපිකාවට නිළිවරම්

ටීනා ෂැනෙල් ගැන මේ දවස්වල කවුරුත් කතා කරනවා. ඒ නිරූපිකාවක් ලෙස කරලියට ආ යොවුන් තරුවක් නිසා. පසු ගිය දවස්වල කා අතරත් ජනප්‍රිය වූ 'ඩොප්පි නකින්' ගීතයේ රූප රචනා සඳහා රංගනයෙන් දායක වුණේ ටීනායි. ටීනා නිරූපිකාවක ලෙස ජනප්‍රිය වුවත් ඈ චිත්‍රපට නිළියක ලෙසින් චිත්‍රපට රංගනයට අවතීර්ණ වන්නට සූදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. මේ ගැන ඇගෙන්ම විමසා බැලුවා.

'මගේ ජීවිතයේ බලාපොරොත්තු වූ පැතුමක් තමයි මේ විදිහට ඉටු කරගත්තේ. ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටය 'දේදුණු ආකාසේ' චිත්‍රපටයට මම දායක වෙනවා. නිරූපණ දිවයෙන් සිනමා රංගනයට පිවිසෙන්නට හැකි වීම මට සැබෑම සතුටක්. ඉදිරියේදී රංගනයෙන් මගේප්‍රේක්ෂකයන් වෙත නැවුම් රංගන අත්දැකීම් සමීප කරවන්නට මම සූදානම්.

Comments